2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

බැංකු පොලිය බැස්සීමෙන් වැඩක් වෙයිද?

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

ශ්‍රී ලංකා මහ බැංකුව තම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව නිත්‍ය තැන්පතු පොලී අනුපාතය 10% දක්වාත් නිත්‍ය ණය පොලී අනුපාතය 11% දක්වාත් පදනම් ඒකක 100 බැගින් පහත හෙළීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ආර්ථික පර්යේෂණ) ජනක එදිරිසිංහ මහතා පොලී අනුපාතික පහත දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රධාන වශයෙන්ම රටේ උද්ධමනය අවම මට්ටමක පැවතීමත්, උද්ධමන අපේක්ෂාවන් යහපත් තත්ත්වයක පැවතීමත් මේ සඳහා බලපෑ බවයි. එතුළින් මධ්‍ය කාලීනව අපේක්ෂා කරන ආර්ථිකයේ විභව නිමැවුම් මට්ටම කරා ළඟාවීමට මෙය සහයක් වන ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව 11%ක්ව පැවැති නිත්‍ය තැන්පතු අනුපාතය 10%ක් දක්වාද, 12%ක්ව පැවැති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 11%ක් දක්වාද පහත දැමීමට මූල්‍ය මණ්ඩලය පියවර ගෙන තිබේ. 

2022 සැප්තැම්බර් මාසයේ පැවැති උද්ධමනය 69.8% ක් වූ අතර 2023 සැප්තැම්බර් වන විට 1.3% දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂිත උද්ධමන ඉලක්කය 5%ක් වූ අතර මේ වන විට එය ඊට වඩා අඩු අගයක පවතී. ඊට හේතු වූයේ පසුගිය මාස තුන මුළුල්ලේ පැවැති ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පහත වැටීමය. එහෙත් ඉදිරියේදී එය යළි 5% උද්ධමන සීමාවට ළඟාවිය හැකි බවද ඔහු සඳහන් කළේය. ප්‍රතිපත්ති පොලී අනුපාත පහත වැටීමේ වාසිය පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දීම සඳහා වෙළෙඳපොළ අනුපාත පහත හෙලීමට වාණිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකුව සඳහන් කර තිබේ. 

ප්‍රතිපත්තිමය පොලී අනුපාතික යනු මහ බැංකුව මගින් ආර්ථික හා මිල ස්ථායිතාවත්, මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවයක් ඇතිකර ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම සඳහා සිදු කරනු ලබන පොලී අනුපාතයන්හි වෙනස්කම්ය. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිමය පොලී අනුපාත හතරක් තිබේ. එනම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සහ මහ බැංකු පොලී අනුපාතයයි. මෙම පොලී අනුපාත රටේ මූල්‍ය ක්‍රමයේ හැසිරීමට ගැලපෙන ආකාරයට මහ බැංකුව විසින් වෙනස් කරනු ලබයි. මෙවර එම වෙනස්කම සිදු කර ඇත්තේ රටේ පැවති උද්ධමනය පහත වැටීම හේතුවෙනි. පසුගිය කාලයේ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දැමීය. 2023 ජූලි 6 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව 14%ක්ව පැවැති නිත්‍ය ණය පොලී අනුපාතය 12% දක්වා ද 13%ක් වූ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය 11% දක්වාද පදනම් අංක 200කින් අඩු කළේය. ඒ අනුව වාණිජ බැංකුවලද ණය පොලී සහ තැන්පතු පොලී අනුපාතික අඩු කළ යුතු බව කියා සිටියේය. මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ එමගින් ණය ලබාගත් අයටත් ණය ලබාගැනීමට සිටින අයටත් සහන ලැබෙන අතර රටේ ආර්ථිකය ප්‍රකෘතියට පත්වනු ඇති බවටය.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීමට සාපේක්ෂව වාණිජ බැංකු සිය ඉතුරුම් පොලි අනුපාත කැපීපෙනෙන ලෙස පහළ දමා ඇතැයි වාර්තා වේ. ඔක්තෝබර්  මුල වන විට වාණිජ බැංකු රුසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලී අනුපාතික  2.5% ත් 3.5% ත් අතර අගයක් දක්වා පහත වැටී තිබිණි. එය පසුගිය අප්‍රේල් මාසයේ පැවතියේ 12%ක් වැනි අගයකය. ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතික ද 9% ත් 12% ත් අතර අගයක පවතී. එය පසුගිය අප්‍රේල් මාසයේ පැවතියේ 30%ක පමණ අගයකය. එහෙත් ණය සඳහා අයකරන පොලී අනුපාත තවමත් පවතින්නේ 20% කට වඩා ඉහළ අගයක යැයි වාර්තා වේ.

ණය පොලී අනුපාතික එකවරම පහත හෙළීමට නොහැකි වීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක හා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එය ක්‍රමයෙන් සිදුවනු ඇති බවයි. ''උද්ධමනය හා පොලී අනුපාතය එකට බැඳී ඇති කරුණක්. උද්ධමන අනුපාතය අඩුවන විට පොලී අනුපාතයද අඩුවිය යුතුයි. වසරකට ඉහත උද්ධමනය 70%ක් පමණ වූ අතර පොලී අනුපාතය 28%ත් 30%ත් අතර අගයක පැවතුණා. රටක් ආර්ථික වශයෙන් ගොඩ එන විට පොලී අනුපාතය තනි ඉලක්කමක අගයක පැවතිය යුතුයි. එනම් 5%ක හෝ ඒ ආසන්න අගයක එය පැවතිය යුතුයි. රටක සංවර්ධන ක්‍රියාවලිය පවත්වාගෙන යා හැකිවන්නේ එවිටයි. ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම සහ ගුණාත්මක ණය පාලන ක්‍රම වශයෙන් ණය පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතු ක්‍රමවේද දෙකක් තිබෙනවා. මහ බැංකුවට පුළුවන් වාණිජ බැංකුවලට පොලිය අඩුකරන්න කියන්න. ඒත් වාණිජ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔවුන් පසුගිය කාලයේ 28% - 30% වැනි පොලී අනුපාත යටතේ තැන්පතු බාරගෙන තිබෙනවා. තැන්පතු සඳහා ලබා දෙන පොලියට වඩා අඩු පොලියට ණය දුන්නොත් බැංකු කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මහ බැංකුවේ නියාමනයන්ට අනුගත වෙමින් ක්‍රමක්‍රමයෙන් පොලී අනුපාත අඩු කරනවා. ඔවුන්ගේ ලාබ අලාබ ගණනය කොට බැංකුවත්, ගනුදෙනුකරුවනුත් ආරක්ෂා වන පරිදි පොලී අනුපාතික පහත දමන්නට කටයුතු කරාවි.'' යනුවෙන් සඳහන් කරයි. 

පොලී අනුපාත අඩු කිරීම කොතෙක් දුරකට ප්‍රායෝගිකද? අප මේ සම්බන්ධයෙන් විමසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගෙනි. ඒ මහතා සඳහන් කළේ එය ප්‍රායෝගික ක්‍රියාවක් බවයි. ''නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය තුළ සිදුවන්නේ වාණිජ බැංකුවලට මුදල් අවශ්‍යතාවක් පවතින විට ඔවුන් මහ බැංකුවෙන් ණය ගැනීමයි. ඒ සඳහා පොලියක් අය කරනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තුළ සිදුවන්නේ වාණිජ බැංකුවල අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පත් කිරීමයි. ඒ සඳහා මහ බැංකුව ඔවුන්ට පොලියක් ගෙවනවා. පොලිය අඩු කිරීමෙන් මහ බැංකුව මෙරට බැංකු පද්ධතියේ පොලී අනුපාතිකය සඳහා යම් බලපෑමක් සිදු කරනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කරන විට වාණිජ බැංකු මහ ජනතාවට ලබා දෙන ණය සඳහා වන පොලී අනුපාතිකයත් අඩු කළ යුතුයි. එය ක්ෂණිකව සිදු නොවුණත් ක්‍රමයෙන් සිදුවනවා.''

මහ බැංකුව පොලී අනුපාත අඩු කළ විගසින් තැන්පතු හිමියන්ට ගෙවන පොලිය කඩිනමින් අඩු කරන්නට වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කළද ණය සඳහා අයකරන පොලී අනුපාතික අඩු කිරීමට කඩිනම් නොවන්නේ මන්දැයි අප ඇසූ පැනයට පිළිතුර දෙමින් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ''ලංකාවේ අර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්ති සහ භෞතික ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතතාව මත  පොලී අනුපාතික අතර ඇති සංවේදීතාව අඩු වී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළත් වාණිජ බැංකු ක්ෂණිකව අඩු කරන්නේ නැහැ. මේ නිසා මහ බැංකුව පොලී අනුපාතික අඩු කරල පැත්තකට වී බලා නොසිට වාණිජ බැංකු හැසිරවීමට පියවර ගත යුතුයි. වාණිජ බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඒවා ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බැලිය යුතුයි. එහෙත් එවැනි තත්ත්වයක් අපට දැකිය නොහැකියි. මහ බැංකුව ඉතුරුම් පොලිය අඩු කළ විට එහි පාඩුව තැන්පතු හිමියන්ටයි. එය ජනතාවට විශාල අවාසියක්. ණය පොලී අනුපාතය අඩු කළ විට ණය ගන්නන් හට පොඩි සහනයක් හිමිවෙනවා.'' යනුවෙන් සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා