2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

හොර බෙහෙත් අහිංසක ජන ජීවිත බිලිගනී

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 142

දිනෙන් දින ශෝකාන්තයක් කරා යන මෙරට සුවසේවා නාටකයේ වඩාත්ම අද්භුත පරිච්ඡේදය දිගහැරුණේ ඉකුත් සතියේය. හොර නිල මුද්‍රාවන්, අයිතිකරු නොදන්නා අස්සන්, මුහුණක් නැති ගනුදෙනුකරුවන්, “අවතාර” සමාගම්, මදිවාට ඔලුවක් නැති පිළිතුරු බැඳීම් සහ හේතුවක් නැති ස්ථාන මාරු ගැන කතාබහ මැද තොග පිටින් මෙරට රෝහල් තුළට වැදී ගබඩා වූ මාරාන්තික ප්‍රතිඵල සහතික කෙරෙන ව්‍යාජ බෙහෙත් ගැන වූ ත්‍රාසජනක හෙළිදරව්වක් ද සමඟිනි.  

පසුගිය සමයේ රට තුළ හටගත් ආර්ථික අලකංචිය හේතුවෙන් රටට අත්‍යවශ්‍ය ඖෂධ හදිසියේ ලබාගැනීම උදෙසා ක්‍රියාත්මක කළ දීර්ඝ ප්‍රසම්පාදන පිළිවෙත් සහ සුපරීක්ෂාවන් මඟහැරිය හැකි ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නමැති උපක්‍රමශිලී ක්‍රමවේදය භාවිත කරමින් සිදුවූ ඖෂධ මගඩියක් ගැන රටට කරුණු හෙළිදරව් වීමත් සමඟ රට පුරා හොර බෙහෙත් සහ බාල බෙහෙත් පැතිර ඇතැයි යන භීතිකාව දැන් දැඩිව පැතිර ගොස් තිබේ. 

මානව ප්‍රතිදේහ ජනක /ඉමියුනොග්ලොබියුලින් නමැති ඖෂධය හේතුවෙන් රට තුළ හටගත් කැළඹීම මෙයට මුල්විය. රජයේ රෝහල්වලට බෙදාහරින ලද ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) නමැති ඖෂධය හේතුවෙන් හටගත් අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා මාතලේ දිස්ත්‍රික් රෝහල සහ ජාතික රෝහල වෙතින් වාර්තා විය. මාතලේ DGH හි රෝගීන් දෙදෙනකු තුළ මෙම IVIG එන්නත් කිරීමෙන් පසු ඇනෆිලැක්සිස් (ජීවිත තර්ජනාත්මක අසාත්මිකතා ප්‍රතික්‍රියාවක්) තත්ත්වය වර්ධනය වී ඇත. ඉන්පසු මේ බෙහෙතේ අහිතකර බලපෑම පිළිබඳ ආන්දෝලනය රට තුළ පැතිර යද්දී මෙම ඖෂධය රට තුළට ගෙන්වා බෙදා හැර ඇති ආකාරය පිළිබඳ බරපතළ චෝදනා රැසක් කරළියට ආවේය. අල්ලස දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් මේ බෙහෙත ව්‍යාජ නිල මුද්‍රා යොදා සැකසූ කූඨ ලිපි ලේඛන භාවිත කර ගෙන්වා ඇති බවත් ඒ සඳහා පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පැමිණිලි කර තිබුණි. පසුව වෛද්‍ය සංගම් වෙතින්ද මේ පැමිණිල්ල ඉදිරිපත් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒ චෝදනාවම කරමින් පරීක්ෂණයක් ඉල්ලා සිටීමෙන් පසු මහා වංචාවක සුල මුල දැන් හෙළිදරව් වී තිබේ.

මෙබඳු ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වගකීම දරන රජයේ අධිකාරිය ලත් ආයතනය වන NMRA වෙතින්ද මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණි. ඒ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණුම යොදාගනිමින් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම අනෙකුත් වෛද්‍ය සේවා සහ සිවිල් සංවිධාන රැසක්ද මේ ගනුදෙනුව තුළ ඇති සැක සහිත කරුණු රැසක් මතුකර ඇති අතර ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ මෙහෙයුමක් මගින් දැන් මේ පිළිබඳ වගකිව යුතු දේශීය සමාගම සහ වගකිව යුතු අය අධිකරණයට කැඳවන ලෙස නියෝගයක්ද නිකුත්ව තිබේ.

රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ ගනුදෙනුවේ නිරීක්ෂණය කර ඇති සැක සහිත කරුණු අතර මේ සම්බන්ධයෙන් NMRA හි සභාපතිවරයා විසින් මෑතකදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත්තේ මෙම අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා වූ, IVIG බෙහෙත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරියා විසින් නිකුත් කරන ලද ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකයක් යටතේ ලබාගෙන ඇති බවය.  

ඔවුන්ට අනුව එහි සඳහන් කරන ලද නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ   Livealth Bio Pharma Pvt Limited ය. දේශීය නියෝජිතයා Isolez Biotech Pharma AG නමැති සමාගමකි. මෙම නිෂ්පාදකයාගෙන් IVIG බෝතල් 22,000ක් ඇණවුම් කර ඇති බවත්, බෝතල් 8000ක් පමණ පැමිණ ඇති බවත්, ඒ අනුව මේ වන විටත් රෝගීන් සෑහෙන සංඛ්‍යාවකට මෙය එන්නත් කර ඇති බවත් සංගමය පෙන්වා දෙයි. 

නමුත් මේ ඖෂධයේ අහිතකර ප්‍රතික්‍රියාවලට හේතු සෙවීමට පරීක්‍ෂණයක්‌ කරන විට 2023/10/03 දිනැති මෙම මාධ්‍ය නිවේදනයට අනුව පහත සඳහන් ඇදහිය නොහැකි  කරුණු අනාවරණය වන බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

1. මෙහි නිෂ්පාදකයා ලෙස සඳහන්ව ඇත්තේ ඉන්දියාවේ ගුජරාට්හි, Livealth Bio Pharma Pvt Limited, Khambhat, Dist ය. නමුත් ඔවුන් IVIG නිෂ්පාදනය නොකරන බව NMRA වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
2. ඒ අනුව, මෙම IVIG ආනයනය කර ඇත්තේ ව්‍යාජ ලියාපදිංචි අත්හැරීමේ (WOR) සහතිකයක් භාවිත කරමිනි.
3. NMRA සහ අමාත්‍යාංශය MOH ඉහත කරුණු සොයාගත්තේ රජයේ රෝහල්වල රෝගීන් කිහිප දෙනකුට මෙම ඖෂධය භාවිත කිරීමෙන් මරණය ඇතුළු අහිතකර ප්‍රතික්‍රියා ඇතිවූ පසුවය.
4. NMRA දේශීය නියෝජිතයා ගැන දන්නා අතර ව්‍යාජ WOR සහතිකය භාවිත කරමින් කළ එම වංචනික ආනයනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඇත.

දැන් මේ ප්‍රකාශය තුළින්ම මතුව ඇති ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරුන් සුව සේවාවේ යහපැවැත්ම උදෙසා බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියි.

එනම්, 1 මෙම සමාගමෙන් IVIG මිලදී ගැනීමට නියෝග කළේ කවුද? හදිසි මිලදී ගැනීමක් සඳහා යාමට අවශ්‍ය වූයේද?

2. ප්‍රසම්පාදනයේදී Livealth Bio Pharma Pvt Ltd වෙත NMRA විසින් නිකුත් කරන ලද WOR සහතිකයේ සත්‍යතාව පරීක්ෂා කළේ කුමන නිලධාරීන්ද සහ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන පැතිකඩ product profile ගැන නිසි ලෙස සොයා බැලීමට කිසියම් විශ්වසනීය සෙවීමක් සිදු කළේද?
3. දැනටමත් ලබාගෙන ඇති IVIG සඳහා MoH විසින් දේශීය සමාගමක් වන Isolez Biotech Pharma AG වෙත කොපමණ මුදලක් ගෙවා තිබේද?
4. ඖෂධය ඇණවුම් කරන විට ශ්‍රී ලංකාවේ IVIG හි හිඟයක් තිබුණේද?

මේ සමහර ප්‍රශ්න සඳහා තවම පිළිතුරු ලැබී නැත.

විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ IVIG යනු බරපතළ ලෙස රෝගාතුර වූ, ප්‍රතිශක්තිය අඩු, රෝගීන්ට පවා ලබා දෙන සහ ජීවිතාරක්ෂක විය හැකි මිල අධික ඖෂධයක් බවය. එය සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න පරිත්‍යාගශීලීන් 1000-10,000 කින් ලබාගත් ප්ලාස්මා භාවිතයෙනි. නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි තත්ත්ව පාලන ක්‍රම භාවිත කරනු ලබන්නේ, HIV, හෙපටයිටිස් B සහ C වැනි ඇතැම් සැඟව පවතින ආසාදන ඇති පුද්ගලයන් අවසාන නිෂ්පාදනයට දායක වීම වැළැක්වීම සඳහාය. 1990 ගණන්වල IVIG සකස් කිරීමත් සමඟ යුරෝපයේ හෙපටයිටිස් C හි කුඩා ව්‍යාප්තියක් සිදුවිය. පසුව, ජල පෝෂක තටාකය පරීක්ෂා කිරීම, අණුක ශිල්පීය ක්‍රම භාවිත කරමින් වෛරස් ආසාදන සඳහා පරිත්‍යාගශීලීන් සහ නිෂ්පාදන තවදුරටත් පරීක්ෂා කිරීම සහ වඩාත් පුළුල් වෛරස් අක්‍රිය කිරීමේ පියවර මගින් නැවත එවැන්නක්  ඇතිවීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලදී. 

නමුත් ලංකාව තුළ මේ වන විටත් කුප්පි 8000ක් භාවිත කර ඇත්නම් රෝගීන් 1000කට අධික පිරිසකට මෙම නිෂ්පාදනය ලබා දී ඇති බව පෙනේ. මෙම ඖෂධයේ නිෂ්පාදකයාගේ අනන්‍යතාවය තවමත් නොදන්නා බැවින්, නිෂ්පාදිතය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම දැඩි පරීක්ෂණ සහ පරීක්ෂණ ක්‍රියා පටිපාටිවලට භාජනය වී නොතිබීමට ඉඩ ඇති අතර එමඟින් HIV සහ හෙපටයිටිස් B හෝ C වෛරස්වලින් දූෂිත විය හැකිය. එය එසේ නම්, මෙම අවාසනාවන්ත රෝගීන්ට එම වෛරස් ආසාදනය වී භයානක ආසාදනවලින් අතිරේක සෞඛ්‍ය ගැටලුවක් ඇති කළ හැකිය. මෙම අවාසනාවන්ත පුද්ගලයන් තවදුරටත් සෞඛ්‍ය ගැටලු ඇති කරමින් ප්‍රජාවේ අනෙකුත් පුද්ගලයන්ට ද ආසාදන පතුරවන ප්‍රභවයක් බවට පත්විය හැකිය.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රශ්න කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය - MoH විසින් මෙම රෝගීන් හඳුනාගෙන HIV සහ හෙපටයිටිස් B සහ C ආසාදනය විය හැකිදැයි පරීක්ෂා කරනු ලබනවාද? සහ ඒ  අතර මෙම තොගයේ කුප්පිවල අන්තර්ගතය HIV සහ Hepatitis B and C හි වෛරස් සංරචක සඳහා පරීක්ෂා කරනු ලබන්නේද?

මෙම IVIG මගින් රෝගියාට ඔවුන්ගේ පවතින රෝගය අනුව ප්‍රතිලාභ ලැබී තිබේද යන්න සෙවීමට මෙම රෝගීන් ඇගයීමට ලක් කරන්නේද? සහ මෙම IVIG අකාර්යක්ෂම නම්, ඔවුන්ට නිසි ලෙස ලියාපදිංචි මූලාශ්‍රයකින් තවදුරටත් IVIG ලබා දෙන්නේද? යන කාරණා සම්බන්ධවය.

මේ සැකය වාර්තා වීමත් සමඟ අමාත්‍යාංශය ඉතිරි IVIG භාවිතය තහනම් කළ අතර ඒ තුළ විසබීජ පවතීද යන්න ගැන සෙවීමට ලේ බැංකුව, වෛද්‍ය පර් යේෂණාගාරය ඇතුළු සුදුසුකම්ලත් ආයතන 3කට යොමුකර තිබේ.

මේ වනවිට වාර්තා වී ඇති තොරතුරු අනුව මෙබඳු මිලදී ගැනීමක් කළ සමාගමක් හෝ එම නම ඇති සමාගමක් නැත. NMRA ප්‍රධාන විධායකගේ මුද්‍රාවද ව්‍යාජය. ලිපි ගනුදෙනුවද පිළිගත නොහැකිය. නමුත් මේ ව්‍යාජ බෙහෙත කාගේත් ඇස්වලට වැලි ගසා රජයේ රෝහල් ගබඩා වෙත ගොස් හමාරය. ඊට අමතරව දැන් අලුතෙන්ම වාර්තා වී ඇත්තේ ඉහත කී ව්‍යාජ සමාගමෙන්ම තවත් ඖෂධ වර්ග දෙකක් ගෙන්වා රෝහල්වලට බෙදා හැර ඇති බවයි. දැන් විශේෂඥ වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සහ සිවිල් සංවිධාන විමසා සිටින්නේ වංචනික ලේඛන භාවිත කරමින් මෙම "ඖෂධ" ආනයනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්නය.

විශේෂඥ වෛද්‍ය සංගමය කියන්නේ බලධාරීන් කුමන හේතු සහ නිදහසට කරුණු ඉදිරිපත් කළද, රජයේ රෝහල්වල බරපතළ රෝගාබාධවලට ප්‍රතිකාර ලබන දුප්පත් රෝගීන්ට සැක සහිත කාර්යක්ෂමතාවයෙන් සහ අතිරේක ආසාදන අවදානමක් ඇති නාඳුනන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ලියාපදිංචි නොකළ ඖෂධයක් ලබා දී ඇති බව සඳහන් කිරීම ඉතා කනගාටුදායක බවය.

අනෙක් අතට මෙම සමස්ත සිද්ධියම රාජ්‍ය රෝහල්වල ඇති ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ සැකයක් ඇති කරන අතර, රෝගී තත්ත්වය තවත් වැඩි කළ හැකි අනවශ්‍ය ප්‍රතික්‍රියාවලට බියෙන් වෛද්‍ය නිලධාරීන් සමාන ඖෂධ නියම කිරීමට මැලි වනු ඇති හෙයින් මෙය පවතින සෞඛ්‍ය ක්‍රමයේ බරපතළ පිරිහීමකට හේතු වන බවය.

එබැවින් නිසි පරිදි ලියාපදිංචි ඖෂධ පමණක් රෝගීන්ට ලබා දෙන ලෙසත් ප්‍රසම්පාදනයේදී තත්ත්ව පරීක්‍ෂණ ක්‍රමවේද ශක්තිමත් කරන ලෙසත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එම ඖෂධය ලබාගත් බොහෝ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් මෙම වංචාවට වගකිව යුතු වැරදිකරුවන් වහාම හඳුනාගත යුතු අතර ඔවුන්ට නිසි දඬුවම් දීම අවශ්‍ය බවද ඔවුහු අමාත්‍යාංශය වෙත අවධාරණය කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ සෞඛ්‍ය පද්ධතියේ සහ ඖෂධ ක්ෂේත්‍රයේ දිගින් දිගටම පැවති වංචා දූෂණ විෂමාචාර මෙම අර්බුදකාරී මොහොතේ දී පෙර නොවූ විරෑ අයුරින් ඉහවහා ගොස් තිබීම බරපතළ ඛේදවාචකයක් බවය. ඖෂධ සම්බන්ධ බරපතළ අර්බුදයක් ඇති වී තිබෙන මොහොතකදී පවා එම විෂමාචාර පාලනය කිරීමට හෝ අවම කර ගැනීමට කිසිදු අවංක උත්සාහයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බව පැහැදිලි බවය.

ඔවුන්ට අනුව මෙය වඩාත් සනාථ වන්නේ පසුගියදා කරළියට පැමිණි රුපියල් බිලියනයකට අධික වටිනාකමක් ඇති මානව ප්‍රතිදේහ ජනක /ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සම්බන්ධ සිදුවීමෙනි. කූඨ ලිපි ලේඛන භාවිත කරමින් මෙරටට ගෙන්වූ අදාළ ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳ කිසිදු සහතිකයක් නොමැත. ඖෂධය රට තුළට පැමිණි ආකාරය හෝ රට තුළ බෙදාහරිනු ලැබූ ආකාරය පිළිබඳව ද තොරතුරු නොමැත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවකු නොදන්නා ස්වරෑපයෙන් හැසිරෙන අතර සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් ද සෑහීමකට පත්විය නොහැක. ඒ අතරතුර එම සමාගම කූඨ ලේඛන ඉදිරිපත් කිරීම හරහා තවත් ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියම තොරතුරු හෙළිදරව් කර ඇති බවය.

ඔවුන්ට අනුව මෙහිදී උද්ගත වී ඇති බරපතළම ගැටලුව වනුයේ, දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව බරපතළ වරදක් වන කූඨ ලේඛන සකස් කිරීමට චෝදනා එල්ල වන එම ඖෂධය ආනයනය කළ දේශීය සමාගම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ වගකිව යුතු ආයතන මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීමයි. අදාළ සමාගම සහ එහි නිලධාරීන් ආරක්ෂා කරන ප්‍රබල අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ දැයි බරපතළ ගැටලුවක් පැන නැගී ඇති බව සංගමය කියයි.
හදිසි මිලදී ගැනීම් ඉහළ යත්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් මෙවන් ගැටලු ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. පසුගිය වසරේදී හදිසි මිලදී ගැනීම් නිසා අහිමි වූ මුදල රුපියල් බිලියන තිහකට වැඩි බව මේ වන විට හෙළිදරව් වී ඇත. මේ සියල්ල හරහා තහවුරු වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසයේ දූෂිතම සහ අසාර්ථකම යුගයට එළැඹ ඇති බව යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. 

I සුගත් පී. කුලතුංග ආරච්චි