2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

දොළොස් වසරකට පසු කැදැල්ල පිරුනා ඒත් හිත බරයි!

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 123

ඔවුන්ගේ ජීවිතවල කප්පරක් බලාපොරොත්තු පොදි බැඳ තිබුණි. තමන්ගේම දරුවන් ගැන සිහිනයක් මධුකාටත්, ඇගේ සැමියාටත් තිබුණි. තමන්ගේ කුසින් දරුවකු පිළිසිඳ ගෙන ඒ දරුවා හරි පරිස්සමින් කුසින් මෙලොවට බිහි කරන සිහිනය මධුකාගේ සිතේ තිබුණි. 

විවාහ වී වසර 11 ක් ගත වුවද ඔවුන්ගේ ඒ සිහිනය සැබෑ වන ලකුණු තිබුණේ නැත. ඔවුහු නොපෙනෙන දෙවියන් යැද්දාහ. පන්සල්, කෝවිල්, පල්ලි ගියහ. වෛද්‍යවරුන්ගේ පිහිට පැතූහ. බටහිර වෛද්‍යවරුන්ගේ පමණක් නොව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පිහිට පැතූ මධුකා ඔවුන්ගෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තාය. නමුත් ඒ සියල්ලෙන්ම නිශ්චිත විසඳුමක් ඔවුන්ට ලැබුණේ නැත.

මේ සිහිනය සැබෑකර ගන්නට ඔවුන්ට තිබූ ඊළඟ විසඳුම වූයේ නළ දරු උපතකට යොමුවීමටය. ඒ අනුව ඔවුහු කළල තැන්පත් කොට දරුවකු ලබාගැනීමේ නවීන වෛද්‍ය තාක්ෂණයේ පිහිට පැතූහ. කල්ගත වෙත්ම ඔවුන්ගේ සිහිනය සැබෑ වන ලකුණු පහළ විය. මධුකාත් ඇගේ සැමියාත් තමන්ගේ කැදැල්ලට එක්වන්නට සිටින පුංචි දරුවා බාරගන්නට සූදානම් වූහ. ඔවුහු නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත්හ. සායනවලටද සහභාගි වූහ. ඒ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙනි. කරන ලද ස්කෑන් පරීක්ෂණයකදී වෛද්‍යවරු එක්තරා නිගමනයකට පැමිණියහ. එනම් මධුකාගේ කුස තුළ දරුවන් පස්දෙනකු වැඩෙන බවකි. මේ හේතුවෙන් ඇය ඉතාමත් ප්‍රවේශම් විය යුතු බවත්, වෙනදාටත් වඩා පෝෂ්‍යදායී ආහාර ලබාගත යුතු බවටත් වෛද්‍යවරු තීරණය කළහ. ඇය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නට නිරන්තරයෙන්ම වෛද්‍යවරු උත්සුක වූහ.

වේයන්ගොඩ පත්තලගෙදර පදිංචි මධුකා ලක්ෂිකා අවුරුදු 37 ක් වයසැති ගෘහණියකි. පෞද්ගලික ආයතනයක සේවය කරන සැමියාගේ රුකියාවේ වැටුපෙන් ඔවුහු ජීවත් වෙති. විවාහ වී වසර 12 ක් ගත වුවද තවමත් ඔවුන් ජීවත් වන්නේ කුලී නිවෙසකය. මඳසරුභාවය හේතුවෙන් කළල තැන්පත් කිරීමකට යොමුවීම හේතුවෙන් වෛද්‍යවරුන් පළමුව තීරණය කර ඇත්තේ මධුකා දරුවන් පස්දෙනකු බිහි කිරීමට සූදානම් වන බවකි. දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් කොළඹ කාසල් වීදිය මධුකාගේ ගැබ් ගෙලෙහි කුඩා සැත්කමක් කර තිබුණි. එය මවගේ කුසට සති විසි හය පිරෙන විට ඉවත් කිරීමට නියමිතව තිබුණි. මධුකා පසුගියදා රෝහලට පැමිණියේ එම සැත්කම සිදු කිරීමේ අදිටනිණි. ඒ වෛද්‍ය උපදෙස්වලට අනුවය.
''මෙම කුඩා සැත්කම සති විසි හය වෙද්දි අයින් කරනවා. ඒ අවස්ථාවට තමයි මේ මවත් රෝහලට පැමිණියේ. එහිදී දරුවන් ප්‍රසූතියට ඉතා ආසන්න බව වෛද්‍යවරුන් තීරණය කළා. ඒ අනුව තමයි මේ මව සිසේරියන් සැත්කමකින් සති විසි හයේදී දරුවන් බිහි කළේ.'' යැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දොළොස් දෙනකුගේ සහභාගිත්වයෙන් මධුකාගේ සිසේරියන් සැත්කම සිදු කෙරිණි. පළමුව දරුවන් පස්දෙනකු කුස තුළ සිටින බවට තීරණය කළද අවසානයේදී දරුවන් හය දෙනකු මධුකා බිහි කළාය. ඒ දරුවන් හය දෙනාම අඩු බර උපත් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව ඒ දරුවෝ ග්‍රෑම් 400ත් ග්‍රෑම් 700ත් අතර අඩු බර උපත්වලින් යුක්ත වූහ. සාමාන්‍යයෙන් දරුවකුගේ උපත සති 38 කින් විය යුතු වුවද මෙම සය නිවුන් දරුවන් උපත ලැබුවේ සති 26 කිනි. ඒ නිසාම දරුවන් ඉතා අවදානම් තත්ත්වයක පසුවන බවට වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

මෙම උපත ලැබූ දරුවන් හයදෙනාගෙන් පස්දෙනෙක් කාසල් වීදියේ කාන්තා රෝහලේ නව ළදරු ජන්ම ඒකකයේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. තවත් දරුවකු බොරුල්ල රිජ්වේ ආර්යා රෝහලේ නව ළදරු ජන්ම ඒකකයට ඇතුළත් කළද ඉපදී දින දෙකකින් එම දරුවා මරණයට පත්විය. මෙම මියගිය දරුවාගේ උපන් බර වූයේ ග්‍රෑම්  620 කි. මෙම රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට ළදරුවන් බලාගැනීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔවුහු ප්‍රතිකාර ලබමින් පසුවූහ. නමුත් පෙනහලුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් මෙම දරුවා මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. එම දරුවා ඉතාමත් බර අඩු, නොමේරෑ දරුවෙකි. ඒ හේතුවෙන් මෙවැනි දරුවකුට ඇතිවිය හැකි සංකූලතා ඉතාමත් වැඩි බව වෛද්‍යවරු පවසති. දරුවා බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් කොතරම් උත්සාහ දැරුවද ඒ උත්සාහය අවසානයේදී අසාර්ථක විය.

මේ වන විට මෙම දරුවන් පස්දෙනාටම ඉන්කියුබිලේටර්වල තබා කෘත්‍රිම ශ්වසනය ලබා දෙන අතර දරුවන් කාසල් වීදියේ කාන්තා රෝහලේ නව ළදරු ජන්ම ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. මධුකා ලක්ශානිගේ මෙලොව එළිය දුටු දරුවන් හය දෙනාම පිරිමි දරුවෝ වෙති.

දරුවන් ප්‍රසූත කිරීමෙන් පසුව මධුකා දිනක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය. දිනකට පසුව ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම හේතුවෙන් ඇයව කාසල් වීදියේ කාන්තා රෝහලේ වාට්ටුවකට මාරු කෙරිණි. සිසේරියන් සැත්කම සිදු කරන විට ඒ සඳහා අවශ්‍ය ඖෂධ හා උපකරණ රෝහල තුළ පැවැති බව රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට වැඩිදුරටත් පැවසීය.

''පුතාලා හය දෙනෙක් ලැබුණු එක ගැන සතුටුයි. එක පුතෙක් අපිට නැතිවුණා. අපිට අවුරුදු දොළහක්ම දරුවෝ හිටියේ නැහැ. අපි ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් කළා. විවාහ වෙලා අවුරුදු දොළහකට පස්සේ තමයි අපිට දරුවෝ හය දෙනෙක් ලැබුණේ. පළවෙනි ස්කෑන් පරීක්ෂණයෙන් වෝටර් බෑග් හතරක බබාලා පස්දෙනෙක් ඉන්නවා කියලා ඩොක්ටර්ලා  කිව්වා. සම නිවුන් දෙන්නෙක් එක වෝටර් බෑග් එකකත්, අනිත් තුන්දෙනා වෝටර් බෑග් තුනකත් හිටියා. අන්තිමට තමයි පුතාලා හය දෙනෙක් කියලා අපි දැනගත්තෙ. ඇත්තටම මට මොනවද කරන්නෙ කියලා තාමත් හිතාගන්න බැහැ. කොහොමටත් අපේ දරුවෝ අපි කොහොම හරි හදාගන්නවා. තාමත් අපි කුලී ගෙදරක තමයි ඉන්නෙ. මට මේ තියෙන තත්ත්වයත් එක්ක ඉස්සරහට ගෙයක්වත් හදාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. මම රුපියල් පනස්දාහක් පමණ වැටුපක් ගන්න පොඩි රස්සාවක් කරන කෙනෙක්. හැබැයි අපි කොහොම හරි මේ පුතාලව හදාගන්නවා.'' යැයි නිවුන් දරුවන්ගේ පියා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

කෙසේ වෙතත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ දරුවන් පස්දෙනකු රුකබලා ගැනීම, පෝෂණය ලබා දීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටු කිරීම එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. වර්තමානයේදී දරුවන් පස්දෙනකුට මව්කිරි පමණක් ලබා දීම එතරම් සාර්ථක නැත. ඒ වෙනුවෙන් දරුවන්ට නිසි පිටි වර්ගයක් ලබා දිය යුතුය. එහිද මිල ඉතා අධිකය. එපමණක් නොව වර්තමානය වන විට සියල්ලෙහිම මිල ඉතා අධිකය. එනිසාම මධුකාටත් ඇගේ සැමියාටත් තම දරුවන් උස් මහත් කිරීමට අන් අයගේ පිහිට ලැබිය යුතුමය.

''දරුවන් හය දෙනාම ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ දරුවන් පස්දෙනාටම කෘත්‍රිම ශ්වසනය ලබා දෙනවා. ඔවුන් ජීවත් කරවීම ලොකු අභියෝගයක්. මේ දරුවන් හය දෙනාම අඩු බර උපත්. කෘත්‍රිම දරු උපත් සිදු කරද්දී ලෝකයේ නියාමනයක් තියෙනවා. මේ වගේ දරුවන් හය දෙනෙක් එකවර ජීවත් කරවීම රෝහලටත්, අපේ ඒකකයටත්, රටටත්, ඒ පවුලටත් ලොකු අභියෝගයක් සහ බරක්. කෘත්‍රිම දරු උපතක් සිදු කරද්දී එක කළලයක් හෝ අඩුම වශයෙන් කළල දෙකක් තමයි තැන්පත් කරන්නේ. නමුත් ඒ නියාමනය අපේ රටේ සිදුවන්නේ නැහැ. ඒ නිසා කළල කිහිපයක් තැන්පත් කරනවා. එයින් තමයි මේ විදිහට එකවර දරුවන් විශාල සංඛ්‍යාවක් බිහිවෙන්නෙ. ඒ නිසා මේ නියාමනයන් ගැන සමාජය වගේම අපි හැමෝම දැනුවත් විය යුතුයි. දරුවන් හයදෙනෙක්ගෙම ජීවිත මේ වෙද්දි අවදානම් මට්ටමේ තියෙන්නෙ. ඒ නිසා මේ සම්බන්ධව මීට වඩා සැලකිලිමත් විය යුතුයි.'' යැයි ළදරු රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා පැවසීය.

පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙසින් සේවය කරන සය දරුවන්ගේ පියාගේ හිතේ දරුවන් කෙරෙහි ඇත්තේ විශාල සතුටකි. විවාහ වී වසර දොළහකට පසුව තම කැදැල්ලට එකතු වූ මේ දරුවන් කෙරෙහි ඔහු තුළ ඇත්තේ අසීමිත ආදරයකි. නමුත් ඔහුට විශාල අභියෝගයක් ඇත. කුලී නිවෙසක ජීවත් වන ඔවුන්ට එම වැටුපෙන් සියලු කටයුතු කිරීම එතරම් ලෙහෙසි වන්නේ නැත.

''මුලදී දරුවන් පස්දෙනෙක් තමයි පෙන්නුම් කළේ. අවසානයේදි අපිට දරුවන් හය දෙනෙක් ලැබුණා. දින දෙකකට පස්සෙ එක පුතෙක් නැතිවුණා. මම පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙක් විදිහට සේවය කරනවා. ආර්ථික අඩුපාඩු මැද තමයි අපි ජීවත් වෙන්නෙ. ඉදිරියේදි කරන්න ඕනෙ දේවල් ගැන තාමත් මට කිසිම අදහසක් නැහැ. සාමාන්‍යයෙන් දරුවන් හය දෙනාට දවසකට කිරිපිටි කිලෝ දෙකක් විතර යනවා. ඒ කිරිපිටි කිලෝවක් රුපියල් තුන්දාහක් විතර වෙනවා. මාසයකට කිරිපිටිවලට විතරක් විශාල මුදලක් යනවා. ඊට අමතරව හය දෙනාටම පැම්පස් අන්දවන්න ඕනෙ. ඒවාටත් සෑහෙන මුදලක් යනවා. ඒ අතරේ ගෙවල් කුලියක් ගෙවන්න ඕනෙ. ඇත්තටම ආර්ථික ගැටලු බොහොමයක් තියෙන අපිට දරුවන් හයදෙනා ලොකු අභියෝගයක්. හැබැයි මම කොහොම හරි මේ දරුවන්ව හදාගන්නවා.'' යැයි සය දරුවන්ගේ පියා අවසාන වශයෙන් පැවසීය.

මධුකා අද වාසනාවන්ත මවකි. වසර දොළහක් දරුවන් නොමැති වූ ඔවුන්ගේ කැදැල්ලට තම කුසින් පුතුන් හයදෙනකු බිහි කළ මවකි. එයින් එක් පුතකු ඔවුන් හැර ගොස්ය. ඒ දුක ඇගේ හදවතේ ඇත. එමෙන්ම අනෙක් දරුවන් ගැන කප්පරක් බලාපොරොත්තු ද ඇගේ හිතේ ඇත.

''අපි හිතුවෙ නැති සම්පතක් අපිට ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මොන තරම් ආර්ථික අපහසුතා තිබුණත් අපි කොහොම හරි අපේ දරුවන්ව හදාගන්නවා.'' මධුකා පැවසුවේ එලෙසිනි.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02