වර්ෂ 2001දී ලංකාවට තායිලන්තයෙන් අපූරු ඇත් පැටවුන් දෙදෙනකු ලැබුණු අතර ඉන් එක් පැටවෙක් රජයෙන් ලබාදුන්නේ අලුත්ගම කන්දෙ විහාරයටයි. ඌට මුතුරාජා යන නම ලැබුණි. පසුගිය ජූලි මාසයේ අලංකාර දළ සහිත ඒ ඇතා ආපසු ගුවන් මගින් මව්බිම වන තායිලන්තයට ගෙන ගියේ ලෝකයේම අලි ඇතුන් ගැන කතාබහක් ඇතිකරමිනි. එමෙන්ම අලි ඇතුන්ගේ නිජබිමක් වන බෞද්ධ රටක් වශයෙන් ලංකාවට අපකීර්තියක් අත්කර දෙමිනි. මුතුරාජාට ඌව රැක බලාගත් ඇත්ගොව්වන් විසින් වධ බන්ධනවලට ලක්කර ඇති බවත් උගේ කකුලට පහර දීම නිසා දරුණු ආබාධ හටගෙන ඇති බවත් පරිසරවේදීහු චෝදනා කළහ. තායිලන්තයට මුතුරාජා රැගෙන ගියේ නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටය.
දැන් අපට අන්තර්ජාලයෙන් මුතුරාජා සුවෙන් සිටින වීඩියෝ නිතර දැකගන්නට ලැබේ. මේ අතර රටපුරා සිටින හීලෑ අලි නිසි රැකවරණයක් නොමැතිව දුක් විඳින බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය විය. මේ නිසා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කළේ නිසි සැලසුමක් සහිතව හීලෑ අලි ඇතුන් බලා ගැනීමට ඇත්ගොව්වන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටය. මෙය නිම කිරීමෙන් පසු ජාතික වෘත්තිය සුදුසුකම යටතේ NVQ 4 මට්ටමේ සහතිකයක් පිරිනැමීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අප රටේ හීලෑ අලි ඇතුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් විහාරස්ථාන සහ පෞද්ගලික හිමිකරුවන් විසින් රැක බලාගන්නා අතර එම සතුන්ගේ සුබසාධනය සහ නිසි ප්‍රමිතියකට අනුව රැක බලා ගැනීමට පුහුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව මාධ්‍යවලට අදහස් දක්වන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා:
''මාස 06ක කාලයක් පුරා මෙම පාඨමාලාව පැවැත්වෙන අතර එය සාර්ථකව නිමකරන ඇත්ගොව්වන්ට NVQ 4 මට්ටමේ සහතිකයක් හිමිවනවා. පුහුණු වන්නන්ට න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දැනුමත් ලබාදෙනවා. මෙම පාඨමාලාව පිරිමින්ට පමණක් සීමා වන්නේ නැහැ. කාන්තාවන්ටත් ඉල්ලුම් කළ හැකියි. අධ්‍යාපන සුදුසුකම් සහ වයස සීමාවන් මේ පුහුණුව සඳහා අදාළ වන්නේ නැහැ. තමන් විසින් සකස් කරගන්නා ලද අයදුම් පත්‍රයක් මගින් හෝ පුවත්පත්වල පළවන දැන්වීම් මගින් අයදුම්පත් එවීමට අවස්ථාව හිමිවෙනවා.''
අලි ඇතුන් රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීමත් අලියා හසුරුවන්නාගේ ආරක්ෂාව ගැන අවධානයෙන් උන් රැක ගැනීමත් පිළිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුව මෙම පාඨමාලාවේදී ලබාදීමට නියමිතය.
ඇත් ගොව්වන් ලෙස පුහුණුවීමට බලාපොරොත්තුවෙන් මෙම පාඨමාලාවට එක්වන පිරිසට අලිඇතුන් රැකබලා ගැනීම සහ හැසිරවීම ගැන හස්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලවා පුහුණුවක් ලබාදීම සිදුවේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යවලට අදහස් දක්වමින් පවසා සිටියේ අලි ඇතුන්ට මෘදු ලෙස සැලකීම සහ ඔවුන් හැසිරවීමේ ආරක්ෂිත ක්‍රම ප්‍රවර්ධනය කිරීම මෙම පාඨමාලාවේ අරමුණ බවයි.
පුරාණයේ පටන් මෑතක් දක්වාම අලි ඇතුන් රැකබලා ගත්තේ පාරම්පරික වෘත්තියක් ලෙසිනි. තාත්තා ඇත්ගොව්වෙක් නම් බාල කාලයේ සිටම පියා ඇසුරෙන් පුතා ඇතුන් රැක බලා ගැනීමේ නිපුණත්වය ලබාගනී. නමුත් වර්තමානයේ දරුවන් එම වෘත්තියට පිවිසීම සීමිත වීම නිසා ඒ ගැන උනන්දුවක් දක්වන අයට පුහුණුවීමට අවස්ථාවක් ලබාදෙමින් ඇත්ගොව්වන්ගේ හිඟයට පිළියමක් සැපයීම මෙහි අරමුණක් වී ඇත. මාස හයක කාලයකින් යුක්ත මෙම පාඨමාලාව පින්නවල සත්වෝද්‍යානයේ පින්නවල සහ අලි අනාථාගාරයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් 0112712751, 0112712752 හෝ 0112712753 යන දුරකතන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
පසුගිය කාලයේ හීලෑ අලින්ට නිසි ලෙස නොසැලකීම සහ වෙනත් හේතු නිසා ඇත්ගොව්වන් කිහිප දෙනෙක්ම මියගිය බවට වාර්තා පළවිය. උඩවලව ඇත් අතුරු සෙවණේ අනියම් සේවක ඇත්ගොව්වකු ලෙස සේවය කළ තරුණයකු ඇතින්නක් පහරදීම හේතුවෙන් මරණයට පත්වූයේ 2022 දීය. ඇත් ගාලක බැඳ දමා තිබූ මෙම ඇතින්න දිය නෑවීම සඳහා වැවට ගෙනයෑමට මෙම සේවකයා විසින් දම්වැල් ලිහා දමා ඇත. ඉන් පසුව ඇතින්න විසින් මෙම අනියම් සේවක ඇත්ගොව්වා වෙත පහරදීම සිදුකර තිබේ. තිස්සමහාරාම විහාරයේ අලියකු පහරදීමෙන්ද ඒ වසරේ ඇත්ගොව්වෙක් මියගොස් තිබේ.
සැබෑ හස්තිපාලකවරයා හෙවත් ඇත්ගොව්වා යනු අතැති හෙණ්ඩුවෙන් හස්තියාට දමාගෙන අනිමින් වද දෙන්නෙක් නොව හෙණ්ඩුව හස්තියාට දී තමන් හිස් අතින් යාමට තරම් විශ්වාසයක්, බැඳීමක් හස්තියා සමඟ ගොඩනඟාගත් තැනැත්තා වේ. අලි බැලීම අවුරුද්දේ දින 365ටම සීමා වූ වෘත්තියකි. ඔහු තම පවුලේ අය සමඟ සිටීමට වඩා ජීවත් වන්නේ අලියා සමඟය. එක එක අලියාට පවතින්නේ එකිනෙකට වෙනස් ගතිගුණය. මේ නිසා අලි බැලීමේදී උගේ ස්වභාවය ගැන ඇත්ගොව්වාට වැටහීමක් තිබිය යුතුය. නමුත් පසුගිය කාලයේ චණ්ඩිකමින් අලි බැලීමට ගොස් වැඩ වරද්දාගත් ඇත්ගොව්වන් ගැනද අසන්නට ලැබුණි.
අලින්ගේ නිල සාස්තරය, අලි මන්තර, අලිවෙදකම ආදී අලි ඇතුන්ට සම්බන්ධ සියලු අංශයන්ගෙන් ඇත්ගොව්වා දැනුමක් සහිත විය යුතු බවට අතීතයේදී සැලකුණි. මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210ක් වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බව වාර්තා වේ.
හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණානායක අප ඇමතුවේ මේ සම්බන්ධ ඔහුගේ අදහස දැන ගැනීමටය.
''මේක හොඳ වැඩක් බව කියන්න ඕනේ. ටික කාලයකට පෙර පින්නවල අලි අනාථාගාරයෙන් ඔය වගේ ඇත්ගොව්වන් පුහුණු කිරීමේ වැඩසටහනක් කළා. අපිත් එයට දායක වුණා. එහිදී විධිමත් විෂය නිර්දේශයක් නම් තිබුණේ නැහැ. එක් එක් දැනුමක් සහිත අය ඇවිත් අලි බැලීමේ විවිධ අංශ ගැන දේශන පැවැත්වූවා. අලි බඳින ක්‍රම, හෙණ්ඩුව භාවිතය, නිල ශාස්ත්‍රය, පාරම්පරික මූලික අලි වෙදකම්, චාරිත්‍ර වාරිත්‍ර ඇත්ගොව්වාගේ විනය වගේ දේවල් එහිදී කියා දුන්නා. නමුත් එහි සාර්ථකත්වය නම් සියයට 50ක් වගේ තමයි.
මෙහි විෂය නිර්දේශය සකස් කිරීමට පාරම්පරික අලි හිමියන්ද සහභාගි කරගත යුතුයි. හීලෑ අලි පාලනය ගැන අත්දැකීම් රාශියක් ඔවුන් සතුයි. අපේ සිටින ප්‍රවීණ ඇත්ගොව්වන් දැන් වයෝවෘද්ධයි. ඔවුන්ගේ අත්දැකීම්ද අප ලබාගත යුතුයි. NVQ ලබාදුන්නාට මේක සුදු කරපටි රැකියාවක් නොවෙයි. අව්ව වැස්ස නොබලා අලියා බලාගන්න ඕනේ. උගේ ලෙඩ ගැන, කුසගින්න ගැන අවබෝධයක් තිබිය යුතුයි. පරණ ඇත්ගොව්වන්ට බයක් නැතිව අලියෙක් බාරදෙන්න පුළුවන්. ඔවුන් දන්නවා අලියෙක් පාලනය කරන විදිහ.
මේ පාඨමාලවේදී හීලෑ අලි සම්බන්ධ කරගෙන ප්‍රායෝගික පුහුණුවක් ලබාදිය යුතුයි. සත්වෝද්‍යානයේ සහ පින්නවල ඉන්නේ අර්ධ හීලෑ අලි. පුහුණුවේදී පූර්ණ හීලෑ අලි යොදාගත යුතු වෙනවා.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව : අන්තර්ජාලයෙන්