2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මැලේසියාවේ අවන්හල් ජාලයක් හැදූ ලාංකික ඉංජිනේවා

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 357

දමිත් සේනානායක මැලේසියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකි. තවමත් වයස අවුරුදු තිස් එකක තරුණයකු වන දමිත් අද මැලේසියාවේ අවන්හල් හිමිකරුවෙකි. ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වන දමිත්ගේ මේ ආ ගමන එතරම් ලෙහෙසි පහසු වූයේ නැත. දමිත් සේනානායක ඕනෑම තරුණ තරුණියකට ඉතා ආදර්ශමත් චරිතයක් යැයි හැඳින්විය හැකිය.

දමිත් කොළඹ පදිංචි, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදෑරුවේය. උසස් පෙළ සමත් වූ දමිත් වැඩිදුර අධ්‍යාපනය සඳහා මැලේසියාවට පැමිණියේය. මුල්ම වතාවට ඔහු මැලේසියාවට ගොස් ඇත්තේ 2010 වසරේදීය. ඒ තමන් ඉගෙනුම ලැබීමට සූදානම් වූ විශ්වවිද්‍යාලය පිළිබඳව සොයා බැලීමටය. සියල්ල සොයාබැලීමෙන් අනතුරුව දමිත් 2011 වසරේදී විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තම අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය. ඒ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහාය.

දමිත් පවුලේ වැඩිමහල් දරුවාය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. මව අධ්‍යාපන උපදේශිකාවකි. දමිත්ගේ එකම නැගණියද වර්තමානය වනවිට වෛද්‍යවරියකි. දමිත් වැඩි කැමැත්ත වූයේ ගුවන්යානා සම්බන්ධ තාක්ෂණ උපාධිය ලබාගැනීමය. නමුත් ඔහු යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහා මැලේසියාවට ආවේය. ඒ වෙද්දී ඔහු දන්නා හඳුනන කිසිවකු මැලේසියාවේ සිටියේ නැත.

''වෙනත් ඇතැම් රටවල අධ්‍යාපනය සඳහා ගියාම අමතර රැකියාවක් කිරීමේ අවස්ථා තිබෙනවා. නමුත් මැලේසියාවේදී අපිට අර්ධකාලීන රැකියා (Part time job) කරන්න අවසර දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඉගෙනීම් කටයුතු පමණක් කළයුතු වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලයට ගිහින් දේශන අවසන් වුණාට පස්සේ අපිට ඕනෑතරම් කාලය ඉතිරි වුණා. ඒ නිසා මම ඇතුළු මගේ යාළුවෝ පිරිස මැලේසියාවේ තැන් තැන්වල ඇවිද්දා. කෑම කෑවා. නිතරම මිතුරන් මුණගැහුණා... ඒ නිසාම ඉතා ඉක්මනින් මම මැලේසියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මුණගැහුණා. ඉස්සර මම මැලේසියාවේ ලස්සන තැන්වලට ගිහින් ඡායාරෑප ගත්තා. මැලේසියාවේ ඇති ගම්වලට මම ගියා. ඔවුන් එක්ක කතාබහ කළා. ඒ හරහා මැලේසියාව ගැන බොහෝ දේවල් මම දැනගත්තා. ඒ අනුව මැලේසියාවත් ලංකාවත් අතර ලොකු වෙනසක් නැහැ කියල මට තේරුණා.'' යැයි දමිත් සේනානායක තමන් විඳි මැලේසියාවේ අත්දැකීම් දේශය පිටු අතරට එක්කරමින් පැවසීය.

ආගන්තුක සත්කාරය අතින් ලංකාව ඇත්තේ බොහෝ සේ ඉදිරියෙනි. ඒ වගේම දමිත් පවසනා පරිදි මැලේසියාවද ආගන්තුක සත්කාරය උපරිමයෙන් ලබාදෙන ජාතියකි. විදෙස් ජාතිකයන් තමන් හා කතාබහ කරනවාට ඔවුන් ඉතා කැමැතිය. ඒ අනුව ඒ පරිසරයට හැඩගැසීම දමිත්ට පහසු විය. මැලේසියාවට උපාධිය ලබාගැනීමට පැමිණි බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒ උපාධිය අවසන් කොට ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලට යාමට බොහෝ උත්සාහ දැරෑහ. ඒ වැඩිදුර අධ්‍යාපනයට හෝ උසස් රැකියාවන් සඳහාය. නමුත් උපාධිය අවසන් කොට මැලේසියාවේම නතරවීම දමිත්ගේ කැමැත්ත විය.

2015 දෙසැම්බර් මස දමිත් තම උපාධිය අවසන් කළේය. ඒ කාලය පුරාවට දමිත්ට අවශ්‍ය සියලු වියහියදම් දරන ලද්දේ දමිත්ගේ මව්පියන් විසිනි. එය දමිත් පවසනා පරිදි ඉතා විශාල වියදමකි. ඒ නිසාම උපාධිය අවසානයේදී දමිත් රැකියා බොහෝමයට අයැදුම් කළේය. නමුත් ඔහුට රැකියාවක් ලැබුණේ නැත. අඩුම තරමින් ඒ කිසිදු ආයතනයකින් දමිත්ට සම්මුඛ පරීක්ෂණ කැඳවීමකට හෝ අවස්ථාවක් ලබාදී තිබුණේ නැත.

මැලේසියාවේදී දමිත් නිතරම තේ පානය කිරීමට යන අවන්හලක් තිබුණි. එය චීන අවන්හලකි. මැලේසියාවේ උදේ ආහාරවේලට ලබාදෙන්නේ ඉහළ තැනකි. උදේ ආහාර වේල ඉතා වැදගත් වශයෙන් ඔවුහු සලකති. පාන්දර පහමාරේ සිට උදේ ආහාර වේල සඳහා අවන්හල් විවෘතය. දමිත් තේ පානය කිරීමට පැමිණෙන චීන අවන්හලට යාබදව තිබූ කුඩා කොටස ''කුලියට දීමට ඇත'' යනුවෙන් සඳහන්කර තිබෙනු වරක් ඔහු දැක්කේය. ඒ වෙද්දී දමිත්ට භාෂා කිහිපයක්ම කතා කිරීම, තේරුම් ගැනීම, කියවීම, හැකියාව තිබුණි. පැමිණ දින කිහිපයකට ඔහු තේ පානය කරන අතරතුරේදී ඒ කුඩා කොටස දෙස අවධානය යොමු කළේය.

දිනක් දමිත් ඒ දැන්වීම් පුවරුවේ සටහන් වූ දුරකථන අංකයට ඇමතුමක් ලබාදුන්නේය. ඔහු මේ ගැන ඔහුගේ යහළුවන් දෙදෙනකු සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. ''ඔයාට වෙලාව තියෙනව නම් ඔයා  එතන මොකක් හරි කරන්නකෝ'' යහළුවෝ දමිත්ව දිරි ගැන්වූහ. ඒ වෙද්දී දමිත්ට වීසා ලැබී තිබුණේ නැත. ඒ නිසාම මේ සඳහා බලපත්‍රයක් ලබාගැනීමට ආයතනයක් ආරම්භ කළයුතු බව ඔහු තීරණය කළේය. ඒ අනුව එම කුලියට දීමට තිබූ කොටස ඔහු කුලියට ගත්තේය. ඒ සඳහා ඔහු ''Ceylonese'' නමින් ආයතනයක් මැලේසියාවේදී ලියාපදිංචි කළේය. එම ආයතනය හරහා ඔහු ඉතා කුඩා කුටියක් කුලියට ගත් ස්ථානයේ විවෘත කළේය.

''මුලින් මේ ගැන මම ගෙදරටවත් කිව්වේ නැහැ. මම මේ ආයතනය දාන්න ඕන නිසා විශ්වවිද්‍යාලයෙන් පවා අයින් වුණා. අද වෙනකොට ජීවිතේ මම ගත්තු ලොකුම තීරණයත් ඒක. මට මොනවා හරි දෙයක් කරන්න ඕන වුණා. රැකියාවක් නැතිකම නිසා පශ්චාත් උපාධියට ගෙදරින්ම සල්ලි ගෙන්න ගන්න වෙයි කියන බව ඒ වෙද්දී මගේ හිතේ තිබුණා. ඒක මට ලොකු බයක් වුණා. ඒ නිසාම අවදානම් තීරණයක් වුණත් මම එදා ඒ තීරණය ගත්තා.'' යැයි දමිත් සේනානායක වැඩිදුරටත් දේශයට පැවසීය.

ඉංජිනේරුවෙක් ලෙසින් ඉතා උසස් අධ්‍යාපනයත් ලැබූ දමිත් මැලේසියාවේදී නූඩ්ල්ස් විකිණීම ඇරඹුවේ එසේය. ෆ්‍රයිඩ් රයිස්ද ඔහු විකිණුවේය. ඒ වෙද්දී ආහාර පිසීම සම්බන්ධයෙන් ලොකු හැකියාවක් දමිත්ට තිබුණේ නැත. ඔහු තම මිතුරකු සමඟ මැලේසියාවේ රැකියාවක් සොයමින් සිටිනා ආහාර පිසින්නන් පිළිබඳව සොයා බැලුවේය. ඔහු අන්තර්ජාලය හරහා දැන්වීමක් දැම්මේය. ඒ හරහා මැලේ කෝකියකු සොයාගැනීමට දමිත්ට හැකියාව ලැබුණි. ඔහුට වැටුප ලබාදීමටවත් මුදලක් දමිත් අතේ ඒ වෙද්දී තිබුණේ නැත. දමිත් මුලින්ම බිම් කුලිය සහ අවශ්‍යම භාණ්ඩ මිලදී ගනු ලැබුවේද තම මව්පියන් මාසේ වියදමට එවන ලද මුදලිනි. ඒ සියල්ලම ආරම්භ කළාට පසුව දමිත්ගේ බැංකු කාඩ්පතේ ඉතිරිව තිබුණේ ලංකා මුදලින් රුපියල් හාරදහසක් වැනි මුදලකි. ඔහු මෙම කුඩා අවන්හල ආරම්භ කරන ලද්දේ 2016 වසරේදීය. කුඩා අවන්හල ආරම්භ කොට වසරක් යනතුරුම දමිත් මේ සම්බන්ධයෙන් තම මව්පියන්ට පැවසුවේ නැත. ඔවුන් සිතා සිටියේද ඒ වනවිටත් දමිත් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ බවය. තම පුතණුවන් ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුවන බව ඔවුන් කිසිමදාක සිතුවේ නැත.

''ඉංජිනේරුවෙක් විදිහට උපාධිය ලබාගත්තට මට පශ්චාත් උපාධිය ලබාගන්නට පුළුවන් වුණේ නැහැ. අවන්හල ආරම්භ කරපු මුල්ම දවසේ අවන්හලට එහෙම වැඩිය කට්ටිය ආවේ නැහැ. කෑම අපතේ ගියා. මුල් දවස්වල කෝකියාට අත් උදව් දුන්නේ මායි මගේ යාළුවයි. උදෙන්ම මම ආවා. උයන්න හැමදෙයක්ම මම කෝකියා එන්නට කලින් සූදානම් කරලා තිබ්බා. වැඩ ඉවරවෙලා හැම පිඟානක්ම, කෝප්පයක්ම, භාජනයක්ම මම සේදුවා. ඒ දවස්වල ඒ ළඟපාත හෝටල් දෙකක් හැදුවා. ඒ නිසා ඒ වැඩකරන කම්කරුවන් අපේ අවන්හලට ටිකින් ටික එන්න පටන් ගත්තා. එහෙම ටිකින් ටික අපි දවසේ වියදම පියවා ගත්තා. මුල් මාසයේදී කෝකියාට වැටුප දෙන්නවත් මුදලක් ඉතිරි වුණේ නැහැ. ඒත් කොහොම හරි ඒක මම ගෙව්වා. ජීවත් වෙන්න කොයිතරම් අමාරුද කියනවා නම් මාස කිහිපයක්ම අපි බිම් කුලිය ගෙව්වේ සති පතායි. සතියකට එකතුවෙන මුදලින් කොටසක් කුලිය විදිහට ගෙව්වා.'' යැයි දමිත් ඒ දුෂ්කර ජීවිත මතකය දේශය පිටු අතරට එක් කළේය.

අද වනවිට Ceylonese ආයතනය හරහා මැලේසියාවේ ප්‍රධාන අවන්හල ඇතුළුව කුඩා අනු අවන්හල් හයක් ඔහු විවෘත කර තිබේ. Ceylonese මුලින්ම පිසින ලද්දේ නූඩ්ල්ස් සහ ෆ්‍රයිඩ් රයිස් පමණි. පසුව ඔහු තම අවන්හලේ ඉන්දියන් කෑම පිසීම ඇරඹීය. ඔහු ඉන්දියාවට ගොස් මුලින්ම ඉන්දියන් කෝකිවරුන් දෙදෙනකු මැලේසියාවට රැගෙන ආවේය. මැලේ කෑමත්, ඉන්දියන් කෑමත් Ceylonese වෙත පැමිණෙන අය අතරේ ඉතා ජනප්‍රිය විය. අතේ තිබූ මුදල් වියදම් කොට ඔහු පුටු හැටකින් යුත් මේස පහළොවකින් සමන්විත විශාල අවන්හලක් බවට Ceylonese පරිවර්තනය කළේය. නමුත් Ceylonese ආරම්භ කළ මුල්ම කාලයේදී ඒ කුඩා කුටියේ තිබුණේ පුටු අටක් සහිත මේස දෙකක් පමණි.

2019 වෙද්දී මැලේසියාවේ Ceylonese ඉතා ජනප්‍රිය ව්‍යාපාරික නාමයක් බවට පත්විය. 2019 අවසානයේදී ඉන්දියන් ජාතිකයෝ දාහත් දෙනෙක් දමිත් යටතේ මැලේසියාවේ සේවය කරමින් සිටියහ. ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් සහ මැලේ ජාතිකයින් පිරිසක්ද Ceylonese සේවය කළහ. ශ්‍රී ලාංකික සූපවේදීන් සමඟ දමිත් ශ්‍රී ලාංකික ආහාරපානද Ceylonese සඳහා පිසුවේය. ඒ වෙනුවෙන් විශාල ඉල්ලුමක්ද ලැබුණි. ඔහු මැලේසියාවේ තුන්මහල් ගොඩනැගිල්ලක් මිලදී ගත්තේය. එහි ප්‍රධාන මුළුතැන්ගෙය, ප්‍රධාන අවන්හල මෙන්ම නවාතැන් පොළද පිහිටා ඇත. ඔහු යටතේ අද සේවකයෝ 60ක් සේවය කරති. ඔහු කේටරින් සේවයක්ද ආරම්භ කර තිබේ. ඔහුගේ අවන්හල හලාල් සහතිකයද සහිතය. මැලේසියාව වැනි රටකට හලාල් සහතික ලබාගැනීම බොහෝ දුෂ්කරය. නමුත් දමිත් ඒ සහතිකයද ලබාගැනීමට සමත් විය. ඒ අනුව කේටරින් සේවාවට ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි.

''මට දැන් වයස අවුරුදු තිස් එකයි. අද වෙද්දී මට මේ ආපු ගමන ගැන සතුටුයි. අද වෙද්දී ප්‍රධාන අවන්හලට අමතරව අලෙවිසල් පහක් මැලේසියාවේ මට තිබෙනවා. මගේ ප්‍රධාන මුළුතැන්ගෙය පැය විසිහතර පුරාවට විවෘතයි. ඒ තරමට ඉල්ලුමක් අපේ ආහාරවලට ලැබෙනවා. දවසකට අපි මිනිස්සු එක්දාස් පන්සීයකට පමණ ආහාර පිසිනවා. සති අන්තයේදී එය තුන්දහසට වැඩි ප්‍රමාණයක් වෙනවා. මම ඉගෙන ගන්න විෂයයට හාත්පසින් වෙනස් විෂයයකින් ව්‍යාපාරයක් පටන් අරගෙන බොහෝ දෙනකුට රැකියා ලබාදෙමින් අද මම සාර්ථක ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වීම ගැන ඇත්තටම සතුටුයි. පසුගිය කොවිඩ් සමයේදී කිසිම සේවකයකුගේ එක රුපියලක්වත් නොකපා මම ඒ අයගේ වැටුප ඒ අයට ලබාදුන්නා. අද වෙද්දි ශ්‍රී ලාංකිකයන් විසි එක් දෙනෙත් Ceylonese ආයතනයේ සේවය කරනවා. ඒ අයට පුළුවන් උපරිමයෙන් හොඳ වැටුපක් මම ලබලා දෙනවා. මැලේසියාවෙන් Ceylonese සිංගප්පූරුවට ගමන් කරන්නත් මම සූදානම් වෙනවා. මේ දිනවල මගේ ලොකුම සැලැස්ම වෙන්නේ ඒ සිංගප්පූරුවේ ආරම්භ කිරීමට සූදානම් වන අවන්හල් සම්බන්ධවයි...'' යැයි දමිත් සේනානායක දේශයට අවසන් වශයෙන් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න