මහජනතාවගේ මැසිවිලි සහ විරෝධතා මධ්‍යයේ ඔක්තෝබර් 21 වැනිදා සිට විදුලි බිල 18%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට පසුගිය 19දා අනුමැතිය දුන් බව වාර්තා විය. මෙම වසරේ සැප්තැම්බර් 4 හා 26 යන දිනවල විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 22 කින් ඉහළ නැංවීමට අවසර දෙන ලෙසය. කෙසේ නමුත් කොමිසම, මණ්ඩලය තමන්ට එවූ දත්ත පිළිබඳ ගැටලු ඇති බව පැහැදිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මණ්ඩලය තුන්වැනි වතාවට ගාස්තු සියයට 18කින් පමණක් ඉහළ නැංවීම ප්‍රමාණවත් බව පවසා තිබුණි.
විදුලිබල පනත අනුව මණ්ඩලය විදුලි ගාස්තු ප්‍රතිශෝධනය පිළිබඳ මහජනතාවගෙන් ලිඛිතව සහ වාචිකව අදහස් විමසූ අතර වාචික අදහස් ඉදිරිපත් කිරීමට පසුගිය 18දා අවස්ථාව ලබාදී තිබුණි. එදින දවස පුරා මහජන සංවිධාන සහ පුද්ගලයන් කරුණු ඉදිරිපත් කළ අතර ඒවායින් සියයට 95කට වැඩි ප්‍රමාණයක් ඉල්ලා තිබුණේ විදුලි ගාස්තු මේසා ප්‍රමාණයකින් ඉහළ නැංවීම පාරිභෝගිකයාට දරාගත නොහැකි වන නිසා ඒ ගැන යළි සලකා බලන ලෙසටය. මහජන උපයෝගිතා කොමිසම එම අදහස්වලට සවන් දුන් බවට රඟපෑමක යෙදී ඊට පසුදිනට කිසිදු කපා කෙටීමකින් තොරව මණ්ඩලය ඉල්ලූ සියයට 18ම අනුමත කර තිබිණ. ලිඛිතව සහ වාචිකව ඉල්ලූ කරුණු රුසක් පිළිබඳ සමාලෝචනය කිරීමට කොමිසමේ නිලධාරීන්ට සෑහෙන දින ගණනාවක් ගතවිය යුතුව තිබුණද ගහෙන් ගෙඩි එන්නා මෙන් කරන ලද අනුමත කිරීම ප්‍රශ්න සහගත බව විදුලි ගාස්තු පිළිබඳ විශ්ලේෂකයෝ පවසති. කොමිසම කර ඇත්තේ පනතේ ප්‍රතිපාදනවලින් බේරෙන්නට ව්‍යාජ මවාපෑමක් වන අතර ජනතා අදහස් උදහස් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා මණ්ඩලයේ රබර් ''සීල්'' එකක් බවට පත්වී ඇති බවට ජනතාව දරන මතය සාධාරණ බව පෙනේ.
2022 වසරේ අගෝස්තු 10දා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට 157කින් වැඩිකර ඇත. අගෝස්තු 10 දින සියයට 75කින්, 2023 පෙබරවාරි 15දා, 66.2කින් සහ ඔක්තෝබර් 20 දින සියයට 18කින් ආදී වශයෙන් තෙවතාවක් වැඩිකර ඇත. කෙසේ වෙතත් ජනතාවගේ බලපෑම් නිසා 2023 පෙබරවාරි 15දා වැඩිකළ ප්‍රතිශතය 14.12කින් පහළ දැමීමට කටයුතු කෙරිණි. ඒ අනුව මාස 14 තුළ සියයට 157කින් වැඩිකර ඇත.
විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ විදුලිබල පනතේ 5 හා 30 වගන්ති අනුව ගාස්තු සංශෝධනය කළ හැක්කේ වසරකට දෙවතාවක් වන නමුත් තුන්වරක් ඉහළ නැංවීම ව්‍යවස්ථා විරෝධී බවය. මිල වැඩිකරන සෑම අවස්ථාවකදීම යළිත් වැඩි නොකරන බවට ජනතාවට පොරොන්දු වෙමින් මණ්ඩලය පවසන්නේ පුනර්ජනනීය බල ශක්තියෙන් සියයට 70ක් ලබාගැනීමට කටයුතු කරන අතර මාෆියාව නැතිකරන බවකි. එහෙත් එය ප්‍රලාපයක් පමණි.
දීර්ඝකාලයක සිට මණ්ඩලයට විවිධ පුද්ගලයන් හා ආයතන රුපියල් බිලියන 39 පමණ හිඟ හිටුවා ඇති අතර ඒවා ලබා ගන්නේ නම් ජනතාව කර පිට බර පැටවීම අවශ්‍ය නොවන බව විදුලි පාරිභෝගිලක සංගම් පෙන්වා දෙයි. 2023 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මණ්ඩලය රුපියල් මිලියන 603736 ආදායමක් අපේක්ෂා කළද වියදම මිලියන 622478 වී ඇති නිසා 18742ක හිඟයක් පවතී. එසේම ඉදිරි මාසවල බලාපොරොත්තු වන ආදායම් ඉලක්කවලට යාමට මණ්ඩලය අපොහොසත් වන අතර එයට හේතුව ජනතාව විදුලි පාරිභෝජනය හැකි තරම් දුරට අවම කර තිබීම සහ බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට සිදුවීමය. විදුලිය විසන්ධි කළ විට බොහෝ පාරිභෝගිකයන් යළි ලබා ගැනීමට උත්සාහ නොකරන්නේ ඒ සඳහා සැබැවින්ම ඔවුන්ට වත්කමක් නොමැති වීම නිසාය. ඒ අතර නැවත සම්බන්ධ කිරීමේ ගාස්තු ලෙස රුපියල් 3000 ගෙවන්නට සිදුව තිබීම නිසාද තත්ත්වය තවත් බැරූරුම් වී ඇත.
විදුලිබිල සියයට 18 පමණ වැඩිකර ඇති අතර එයින් අඩු වශයෙන් විදුලිය පාවිච්චි කරන්නන්ට එතරම් බලපෑමක් ඇති නොවන බවට මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ නිලධාරීන් මාධ්‍ය හමු පවත්වමින් පැවසුවද, බලශක්ති විශේෂඥයන් පවසන්නේ මෙයින් විශාල ලෙස අපහසුතාවට පත්ව ඇත්තේ අඩු ආදායම්ලාභීන් බවය. පසුගිය මාස 14 ඇතුළත විදුලි බිල සියයට 400කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර විදුලි ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන අඩු ආදායම්ලාභීන්ගේ බිල 2022 අගෝස්තු 10 වනදා සිට සියයට 200කට වැඩියෙන් ඉහළ නංවා ඇති බව ඔවුහු කියති. ඔවුන් ගණන් බලා ඇති පරිදි 10දා සිට බිල ඉහළ ගොස් ඇත්තේ මේ ආකාරයටය.
• ඒකක 0-30 දක්වා අඩුවෙන්ම විදුලිය පාවිච්චිකරන අයගේ සියයට 261.11ක්.
• ඒකක 30-60 දක්වා පහළ පාරිභෝගිකයන්ගෙන් සියයට 228.41
• ඒකක 60-90 දක්වා පාවිච්චි කරන අයගෙන් සියයට 146.11
මේ අනුව අපට පෙනී යන්නේ වැඩිපුර හිරිහැරයට පාත්‍ර වී ඇත්තේ අඩුවෙන්ම පාවිච්චි කරන දිළිඳු ජනතාව බවයි.
තත්ත්වය මෙසේ වුවද මණ්ඩලය උපයෝගිතා කොමිසමට ව්‍යාජ දත්ත ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ 2022 අගෝස්තු 10දා සිට ගාස්තු සියයට 77කින් 2023 පෙබරවාරි 15දා සියයට 66.2කින් 2023 ඔක්තෝබර් 20 දින 18කින් ගාස්තු වැඩිකළ බවයි. මෙය සත්‍ය තත්ත්වය විකෘති කර දක්වා බිල වැඩිකිරීමට ගත් උත්සාහයක් බවට චෝදනා කෙරේ. එසේම මහජන උපයෝගිතා කොමිසමට බලපෑම් කර හොදින් හෝ නරකින් තමන්ට අවශ්‍ය දෙය කිරීමට මණ්ඩලය කටයුතු කරන බවද පෙනී යයි. මහජන උපයෝගිතා කොමිසම මහජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඔවුන් පෙනී සිටිනුයේ ඇමැති සහ මණ්ඩලය වෙනුවෙන් බවටද චෝදනා එල්ල වේ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගම් පවසන්නේ මෙම අසාධාරණයට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග සහ උද්ඝෝෂණ දියත් කරන බවය.
මෙවර විදුලි බිල ඉහළ නැංවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අනුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා ප්‍රථමවතාවට මාධ්‍ය හමුවේ පැවසීය. මෙවර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව විදුලි ගාස්තු වැඩිකළද ඉදිරියේදී මාස 3කට වරක් බිල සංශෝධනය කරන බව කියයි. මෙවර සියයට 18කින් සංශෝධනය කළද ඉදිරියේදී මෙම ප්‍රතිශතය පිරිවැය අනුව අඩු හෝ වැඩි විය හැකි බව ඔහු කියයි.
''ගාස්තු සංශෝධනය කළ හැක්කේ වසරකට දෙවතාවක් යැයි කියන කතාව පිළිගන්න බැහැ. හදිසි අවස්ථාවල එයට වැඩි වාර ගණනක් සංශෝධනය කළ හැකියි. විශේෂ කාරණයක් ලෙස සලකා කටයුතු කළ හැකියි. මෙවර ගාස්තු සංශෝධනය කළේ ඒ අනුවයි. දැනට නොයෙක් පළාත්වලට වර්ෂාව ලැබුණත්, විදුලිය නිෂ්පාදනය කරන සමනළවැව, රන්දෙණිගල හා වික්ටෝරියා ආදී ජලාශ ප්‍රදේශවල ජල මට්ටම වර්ෂාව නිසා ඉහළ ගිහින් නැහැ. ජලාශවල ධාරිතාවෙන් සියයට 65.81ක් පමණයි භාවිත කළ හැක්කේ. ඔක්තෝබර් 22 දා වනවිට ධාරිතාවෙන් 84.41ක් පාවිච්චි කරලා තිබුණා. මෙහි සියයට 20ක පරතරයක් තිබුණ. මුළු ජල ධාරිතාව ප්‍රයෝජනයට ගත හැකිනම් සැපයුම තවත් වැඩිකරන්න පුළුවන්.''
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ:
ජනතාවට විදුලි බිල එක්වර ගෙවීමට නොහැකි නිසා ඒ සඳහා කොටස් වශයෙන් ගෙවීම් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙන්ම ගෙවීමට මාස තුනක කාලයක් ලබාදෙන ලෙසටද ඉල්ලයි.
''විදුලිබිල තුන් ගුණයකින් ඉහළ ගිහින්. පාරිභෝගිකයාට දරාගන්න බැහැ. බිල ගෙවීමට සාමාන්‍යයෙන් දෙන්නේ දින 40ක කාලයක් වුණත් මෙම විශාල මුදල් ජනතාවට දින 40ක් තුළ ගෙවීමට නොහැකියි. ඒ නිසා ඒ සඳහා මාස තුනක් කාලය දෙන ලෙසද බිල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව දෙන හැටියටද මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.
මුළු පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 68යි. 2022 වසරේදී ඒකක 180ක් පාරිභෝජනය කරන අයෙකුට ගෙවන්න වුණේ රුපියල් 3755ක් පමණයි. ඒත් ඒ මුදල අද රුපියල් 10,500ක් වෙලා තියෙනවා. මෙය සාමාන්‍ය ජනතාවගේ මාසික වැටුපෙන් භාගයක් පමණ වෙනවා. 2022 ජනවාරිවල බිල් නොගෙවූ පාරිභෝගිකයන් 2,53,465කට රතු නිවේදන යවා තියෙනවා. ඒ අනුව මේ වනවිට රතු නිවේදන නිකුත් කිරීම සියයට 60කින් පමණ වැඩිවෙලා. මෙලෙස සිදුව ඇත්තේ පාරිභෝගිකයන්ට බිල ගෙවීමට නොහැකි වීමෙන්. විදුලි බිල කිහිපවරක් ඉහළ නැංවූවද බිල ගෙවන්න දුන්න කාලය කවදාවත් වැඩිකර නැහැ. ඒ නිසා දැනට ඇති දින 40ක කාලය වැඩිකරන ලෙසද බිල කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන ලෙසද ඉල්ලා සිටිනවා. පාරිභෝගිකයන්ගේ ආදායම අනුව එකවර බිල් ගෙවතොත් ඔවුන්ට කුසගින්නේ සිටින්නයි වෙන්නේ.''
මේ වනවිට විදුලි බිල මණ්ඩලයේ වියදම ඉහළ යාමට හේතුව සේවක අතිරික්තයයි. 23,000කට අධික ස්ථීර සේවකයන්ට අමතරව විදුලි සම්බන්ධතා දීම ආදී රාජකාරිවලදී බාහිරව සේවකයන් යොදා ගැනීම සිදුවෙයි. සම්බන්ධතා දීම සහ නඩත්තු කටයුතු ආදිය මණ්ඩලයේ ස්ථීර සේවකයන් යොදවා කරගත හැකිව තිබියදී එම රාජකාරි ඔවුන්ගෙන් මුදවාගෙන වෙනත් පාර්ශ්වයන්ට දීම නිසා විශාල මුදලක් නාස්ති වෙයි. එසේම 2022 ජනවාරි මස සිට මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම නවතා ඔවුන්ටම තම ආදායම කළමනාකරණය කර ගැනීමට උපදෙස් දී තිබියදී අනවශ්‍ය ලෙස මුදල් නාස්තිකර එම බර අසරණ පාරිභෝගිකයා මත පැටවීම කොතරම් අසාධාරණද යන්න පෙන්වා දිය යුතුය. මණ්ඩලයේ වංචාව, දූෂණය හා නාස්තිය දුරලා යන ගමන්මඟ වෙනස් කළ හැකිනම් මණ්ඩලය ලබන ආදායම සියලු කටයුතු සඳහා ප්‍රමාණවත් වන බව විශ්ලේෂකයන්ගේ මතය වෙයි. එහෙත් අවාසනාව වන්නේ වර්තමාන ඇමැති සහ උසස් නිලධාරීන් නිතරම අලාභය පියවා ගැනීම සඳහා විදුලිගාස්තු ඉහළ නැංවීමට යොමුව තිබීම බව මැදහත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
I යසවර්ධන රුද්රිගු