2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ව්‍යාපාරික ලොව දිග්විජය කළ ලලිත් කොතලාවල

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 178

මෙරට සිටි කීර්තිමත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය දේශබන්දු ජීවක ලලිත් භූපේන්ද්‍ර කොතලාවල මහතා පසුගියදා තම දිවිසැරිය අවසන් කළේය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා වූ ඔහු කෙටි කලක් ‍රෝගාතුරව සිටි අතර කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වනවිට 84 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා ආර්ථිකයට අගනා දායකත්වයක් ලබාදුන් ඔහු සෙනෙට් සභික ජස්ටින් කොතලාවල මහතාගේ සහ ලංකාවේ දේශපාලඥයකු, ව්‍යාපාරිකයකු සහ ප්‍රමුඛ ශල්‍ය වෛද්‍යවරයකු වූ ශ්‍රීමත් ආතර් ද සිල්වාගේ දියණිය වන මිලිසන්ට් කොතලාවල මහත්මියගේ පුත්‍රයෙකි. සොහොයුරියන් දෙදෙනකුගේ බාල සොහොයුරා ලෙස 1938 ඔක්තෝබර් 29 දින උපත ලද ලලිත් කොතලාවල කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර වරලත් ගණකාධිකරණය හැදෑරුවේ එක්සත් රාජධානියේය. මෙරට තුන්වැනි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ඔහුගේ මහප්පාය. ප්‍රකට ලේඛිකාවක වූ පුණ්‍යකාන්ති විජේනායක ඔහුගේ එක් සොහොයුරියකි.

විශාල වතු හිමිකරුවකු වූ ජස්ටින් කොතලාවල 1960 ගණන්වල මියගියේ එංගලන්තයේ කුඩා කාමරයකය. ඔහුගේ සියලු දේපළ වතුපිටි එවක පැවැති රජය විසින් ජනසතු කර තිබිණි. ඔවුන්ගේ රක්ෂණ සමාගමද ජනසතු විය. ජස්ටින් කොතලාවලට දිළින්දෙක් ලෙස මියයන්නට සිදුවූයේ ඒ හේතුවෙනි. පසුගියදා ලලිත් කොතලාවල මහතාද මියගියේ තම ව්‍යාපාර සියල්ල අහිමි වූ  පුද්ගලයකු ලෙසිනි.

පියාගේ මරණින් පසු ඔහුගේ Ceylinco Consolidated සමාගමේ හිමිකම ලබාගත් ලලිත් කොතලාවල බැංකුකරණය, බැංකු නොවන මූල්‍ය, ආයෝජන බැංකුකරණය, නිවාස හා දේපල සංවර්ධනය, සංචාරක, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු නව ක්ෂේත්‍ර ගණනාවක් කරා සෙලින්කෝ සමූහ ව්‍යාපාරය ව්‍යාප්ත කළ අතර 45,000කට අධික පිරිසක් එහි සේවය කළහ. ඔවුනට ඉතා ඉහළ වැටුපක්ද හිමි විය. ඔහුගේ පාලනය යටතේ පැවැති ආයතන සංඛ්‍යාව 483ක් පමණ වූ බව ඔහුම සඳහන් කර තිබේ. ඔහුගේ ආයතනවල ආබාධිත පුද්ගලයන් සඳහා දොරටු විවර විය. බොහෝ තැන්වල දොරටු වැසෙන එවැනි පුද්ගලයන්ට ජීවනෝපාය මාර්ගයක් සකසා දීමට ඔහු කටයුතු කළේය.

‘සෙලින්කෝ ජීවිත රක්‍ෂණ කේන්ද්‍රය’ ආරම්භ කළ ඔහු 2007 වසරේ මෙරට අංක එකේ ධනවතා බවට පත්ව සිටියේය. බංග්ලාදේශයේ නොබෙල් සම්මානයට පාත්‍ර මහාචාර්ය යූනුස් මහතාගේ සංකල්පය අධ්‍යයනය කොට ලංකාවට ගැලපෙන පරිදි සෙලි‍න්කෝ ග්‍රාමීන් වැඩසටහන ආරම්භ ‍කරමින් පවුල් රුසකට ආර්ථික ශක්තිය ලබාදීමට කටයුතු කළ ලලිත් කොතලාවල දිළිඳු ජනතාවට සේවය සැලසීම සඳහා සෙලින්කෝ සමූහයේ සියලු සේවකයන් සිය කැමැත්තෙන් සෑම මසකම තම වැටුපෙන් පරිත්‍යාග කළ මුදලින්  සරණ පදනම නිර්මාණය කළේය. දිළිඳු ජනයා සඳහා එම පදනම මගින් වසරකට මිලියන 25ක මුදලක් ලබාදීමට ඔහුට හැකි වූයේ එබැවිනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අනතුරට පත්වූ වෛද්‍ය ශිෂ්‍යාවට ප්‍රතිකාර සඳහා ඔහු මිලියන 30ක් පරිත්‍යාග කළේය. 

කොළඹ මහ බැංකුවට එල්ල කෙරුණු එල්ටීටීඊ ප්‍රහාරයේදී ඒ අසල තිබූ සෙලින්කෝ ගොඩනැගිල්ලටද ප්‍රහාර එල්ල වීම හේතුවෙන් කොතලාවල මහතාද තුවාල ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ඔහුට හිමිවූයේ ඔහුගේ සේවය අගය කිරීමක් ලෙසිනි. ශ්‍රී ලංකා රජය ඔහුට දේශමාන්‍ය ගෞරව නාමය පිළිගන්වන ලදී. විශ්ව ප්‍රසාදිනි සම්මානයද ඔහුට හිමිවිය. බැංකු ක්ෂේත්‍රය පිළිබඳ මහාචාර්ය පදවියක්ද ලැබිණි. කලක් ඔහු සිංගප්පූරුවේ කොන්සල් ජනරල්වරයාද විය. 2015 වසරේ ඔහු ස්වාධීන රෑපවාහිනියේ සම්මුඛ සාච්ඡාවකට එක් විය. එය මෙහෙයවනු ලැබුවේ උපුල් ශාන්ත සන්නස්ගලය. එහිදී සන්නස්ගල නැගූ පැනයකට පිළිතුරු දෙමින් ලලිත් කොතලාවල සඳහන් කළේ &මේ සම්මාන සේරම මට ලැබුණේ මා කළ සේවය අගැයීමටයි. ඒත් මම අපොස සාමාන්‍ය පෙළ ෆේල්. දෙවැනි වතාවෙ තමයි පාස් වුණේ* යැයි ඔහු එහිදී කියා සිටියේ මහ හඬින් සිනාසෙමිනි.

සිය සමාගම් ජාලය 2009 වසරේදී දැවැන්ත බිඳවැටීමකට මුහුණ පෑ අතර ඔහුට අයත්ව තිබූ ව්‍යාපාර රාශියක් විවිධ අය විසින් සිය ග්‍රහණයට නතුකර ගනු ලැබීය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් බිලියන 26ක් (එවකට ඩොලර් මිලියන 230ක්) සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට 2009දී ඔහුගේ ප්‍රතිරෑපයට හානි සිදුවිය. පසුව ඔහු දිවයිනේ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුට කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නටද සිදුවිය. අවසානයේ රුපියල් මිලියන 18ක දඩයක් සහ වන්දියක් ගෙවීමට ලලිත් කොතලාවල, ඔහුගේ බිරිඳ සිසිලියා කොතලාවල ඇතුළු ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය නියෝග කළේය. තතු දන්නෝ පැවසුවේ එම මූල්‍ය වංචා කිසිවක් ලලිත් කොතලාවල මහතාගේ අනුදැනුම මත සිදු වූ ඒවා නොවන බවයි. මෙරට වැඩිම ආදායම් බදු ගෙවූ පුද්ගලයා වූයේ ලලිත් කොතලාවලය. අවසානයේ ඔහුගේ බිලියන එකහමාරක සියලු වත්කම් මහබැංකුවට පවරා ගත් බව ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ. ඒ ඔහු වසර පනහක පමණ කාලයක් ගොඩනගා ගත් දේය.

මාස නවයක පමණ කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටි ලලිත් කොතලාවල මහතා සිරෙන් නිදහස් වූ පසු දඩ ගෙවා ගත නොහැකිව සිර දඬුවම් විඳින සිරකරුවන් 5000ක් පමණ නිදහස් කර ගැනීමට කටයුතු කළේය.

ඇතැම් දේශපාලනඥයන් ලලිත් කොතලාවල මහතා රුවටූ බවට විවිධ ප්‍රචාර පසුගිය කාලයේ අසන්නට ලැබිණි. එක්තරා ක්‍රීඩාංගණයක් දේශමාන්‍ය ලලිත් කොතලාවල නමින් ඉදිකරන බවට පොරොන්දු වෙමින් ඔහුගෙන් මිලියන 100ක් ලබාගත් ප්‍රබල දේශපාලනඥයෙක් අවසානයේ එයට ඔහුගේ නම යොදාගත් බව ලලිත් කොතලාවල මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි.

බෞද්ධයකු ලෙස උපත ලද ලලිත් කොතලාවල පසුව කතෝලික ආගම වැළඳගත් අතර අවසානයේ ඔහු මියගියේ කැරිස්මැටික් ක්‍රිස්ටියන් හෙවත් බෝන් එගේන් නිකායේ සාමාජිකයකු ලෙසිනි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා