2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කුඩු කොටු කළ නාවික මෙහෙයුම්

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 165

කුඩාවැල්ල ධීවර වරායෙන් දියඹට ගිය බහුදින යාත්‍රා දෙක තුනකි. ඒ මීට සති තුන හතරකට ඉහත දිනයකය. පිටත් වූ සෑම යාත්‍රාවකම ධීවරයන් හතර පස්දෙනා බැගින් සිටි අතර මාසයකට පමණ පසුව ඔවුහු නැවත පැමිණෙන අදහසින් පිටත් වූහ. මේ යාත්‍රා ගැන කිසිවකුට විශේෂයක් නොවුණද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුවූයේ අවධානයෙනි.

මෙසේ රහසිගත ක්‍රම හරහා රාජ්‍ය බුද්ධි සේවාව ලබාගත් බුද්ධි තොරතුරු කිහිපයක් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ වෙත ලබා දී තිබුණි. ඒ අනුව ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් අරඹා තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව සහ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව යොදවා දකුණු පළාතේ වෙරළට ඈත මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබුණි. එසේ දින ගණනක් පුරා සිදු කළ වෙහෙසකර මෙහෙයුමේ ආසන්න දින දෙකකදී පිට පිටම මත්කුඩු තොග රැගත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි අංශ සමත් විය.

එකදිගට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 8500ක් හෙවත් කෝටි 850කට අධික බව නාවික හමුදාව පවසයි. මෙම වසරේදී නාවික හමුදාව සිදු කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමද මෙයයි. අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මෙරට කුඩු පාතාලයන් ගණනාවකගේ ඇණවුම් වන්නට ඇති බවට සැක කෙරේ.

රාජ්‍ය බුද්ධි සේවාව හරහා ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව දකුණු වෙරළේ දෙවුන්දරට දකුණු දෙසට වන්නට ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ආවේක්ෂණය කරමින් සිට ඇත. ඒ වන විටත් විජයබාහු නෞකාව වෙරළට මුහුදු සැතපුම් 292ක් හෙවත් කිලෝමීටර් 540ක පමණ දුරකින් මෙහෙයුමේ නිරතව ඇතැයි පැවසේ. එහිදී සැක සහිත බහුදින යාත්‍රාවක් හඳුනාගෙන එය පිරික්සීමට කටයුතු කොට තිබුණි. එම අවස්ථාවේ ධීවර වෙස් ගත් පුද්ගලයන් පස්දෙනකුද යාත්‍රාවේ සිට ඇතැයි කියති. මේ ආකාරයට අදාළ වැටලීම සිදුකර ඇත්තේ පසුගිය 19 රාත්‍රියේය. යාත්‍රාව ගැඹුරු මුහුද මැද පරීක්ෂා කිරීමේදී එහි පුද්ගලයන් පස්දෙනකු රැඳී සිට තිබූ අතර සැක සහිත උර 9ක්ද පරීක්ෂාවට ලක්කොට ඇත. මේවා හෙරොයින් බවට සැක සිතීමෙන් පසුව සැකකරුවන් හා යාත්‍රාව අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන ඒමෙන් පසුව තවදුරටත් පරීක්ෂා කෙරිණි. එහිදී උර 9ක අසුරන ලද පාර්සල් 200ක් තුළ මත්කුඩු අඩංගුව ඇති බවට තහවුරු කර ගැනිණ. මේවායේ ඇසුරුම් සහිත සම්පූර්ණ බර කිලෝ 219යි ග්‍රෑම් 634ක් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම හෙරොයින් තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 4500ක් හෙවත් කෝටි 450කට අධික බව කියැවිණි.

මේ සමඟ අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 30ත් 48ත් අතර පසුවන කුඩාවැල්ල, තිස්සමහාරාම, කෝට්ටගොඩ, මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගැනිණ. මොවුන් සමඟ කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර කෙරුණේ ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහාය. අදාළ යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට රැගෙන ආවේ පසුගිය 24 වැනිදාය. එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පැමිණ මෙහෙයුමට දායක වූ නාවික මුළුව ඇගයීමට ලක් කළේය.

මෙම වැටලීමට දිනකට පසුව තවත් සාර්ථක මත්කුඩු වැටලීමක් දකුණු වෙරළට ඈත මුහුදේදී සිදුකිරීමට නාවික හමුදාව සමත් විය. මෙහිදී අත්අඩංගුවට ගෙන තිබූ මත්කුඩු තොගය කිලෝග්‍රෑම් 212කට අධික බව නාවික හමුදාව වාර්තා කළේය. එම මත්කුඩු තොගය ද රුපියල් මිලියන 4000ක් හෙවත් කෝටි 400කට අධික බව කියැවිණි. මෙම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂාවේදී හෙරොයින් කිලෝ 180යි ග්‍රෑම් 800ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31යි ග්‍රෑම් 500ක තොගයක් තිබී ඇති බව තහවුරු කරගෙන තිබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ඒකාබද්ධ බුද්ධි තොරතුරක් මත සිදු කළ වැටලීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව මගින් ගාල්ලට බටහිරින් වන්නට නාවික සැතපුම් 91ක් හෙවත් කිලෝමීටර් 158ක් දුර ගැඹුරු මුහුදේ මෙහෙයුම දියත් කොට තිබුණි. එහිදී සැක සහිත බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කොට තිබූ අතර එය මෙරට ධීවර යාත්‍රාවක් බවට හඳුනාගෙන තිබිණි. සැක සහිත යාත්‍රාවේ ධීවරයන් පස්දෙනකු සිට තිබෙන අතර පරීක්ෂාවේදී එය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තහවුරු කරගෙන තිබිණි. ඉකුත් 20 වැනිදා මෙම වැටලීම සිදු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. පසුව දෙවුන්දර ධීවර වරාය වෙත සැක කටයුතු යාත්‍රාව රැගෙන එන අතරතුර සැකකරුවන් දෙදෙනකු මුහුදට පැන ඇති බවත් ඉන් අයකු මහත් පරිශ්‍රමයකින් අල්ලාගත් බවත් නාවික හමුදාව කීය.

මෙසේ අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 26 – 53 අතර පසුවන්නන් වන අතර දෙවුන්දර කෝට්ටේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මෙම මෙහෙයුම් දෙකේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ 2023 වසරේ මේ දක්වා නාවික හමුදාව රුපියල් මිලියන 15,160 කට අධික වීථි වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙකී මත්ද්‍රව්‍ය තොග දෙකම එකම ගැනුම්කරුවන් විසින් මෙරටින් ඇණවුම් කොට ඇති බවය. ඒ අනුව දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලයට සබඳතා ඇති දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන අය හඳුනාගෙන ඇත. ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක මහා පරිමාණ හෙරොයින් ජාවාරම හරහා ඩුබායි රුඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයට ගෙන්වා ඇති බව අනාවරණය කර ගැනිණ. එම මුහුදු තීරය දක්වා විදෙස් නෞකාවක් මගින් ප්‍රවාහනය කළ කුඩු තොග මෙරට බහුදින යාත්‍රා වෙත ලබා දී ඇති බවද කියැවේ. මේ අතර වාර්තා වන්නේ එම කුඩු තොගයේ තවත් කොටසක් වෙනත් බෝට්ටුවකට පටවා ඇති බවට සැකයක් පවතින බවකි. නමුත් ඒ බව වගකිවයුතු ආරක්ෂක අංශ විසින් සනාථ කර නැත. මේ අතර බන්ධනාගාරගතව සිට ජාවාරම මෙහෙයවූ අයගේ වගකීම වී ඇත්තේ ජාත්‍යන්තර මුහුදේ සිට කුඩු තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම බව අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් පිරිසක් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රුඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

මෙම කුඩු තොගය නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ විදේශවලින් මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය. එහිදී ත්‍රිවිධ හමුදා, පොලිසි හා රාජ්‍ය බුද්ධි සේවාව විදෙස් බුද්ධි සේවා හා එක්ව වැටලීම් සිදුකිරීමට හැකිවීම වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් වනු ඇත.

I සමන්ත ප්‍රදීප් විල්තෙර