2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

දිනෙන් දින අහස උසට යන බිල් ගෙවන මිනිසුන්ගේ විලාපය

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 117

වඳින්නට ගිය දේවාලය හිසමත කඩාවැටී පත්තු බැඳ සුවවන්නට මත්තෙන් සාගිනි ඉවසාගනු බැරිව යමක් කඩා කෑමට නැගි ගහෙන්ද වැටුණේ නැති බැරි එකාය. දැන් කොහේදෝ යන ගොන් නාම්බෙක් ගහෙන් වැටුණ එකාට අනින්ටද සැරසී සිටී. අහෝ දුකකි! මේ කතාව ගාස්තු නම් තෙල් සාත්තුවෙන් හෝන්දු මාන්දු වී සිටින ශ්‍රී ලාංකීය ජනයා මනයා පිළිබඳවය.

සකල සිරින් පිරි සිරි ලංකාවේ පිට පිටම තෙවැනිවරටත් සිදුවන විදුලි ගාස්තු සංශෝධනයට ඉකුත් ඔක්තෝබර් විසිවැනිදා අනුමැතිය ලැබී තිබුණි. ගාස්තු සංශෝධනය පිළිබඳ කලක් ඩෙඟා නැටූ මහජන උපයෝගීතා කොමිසම, මෙවර උපෝසථය සමාදන් වූ පරිද්දෙන් එම අවසරය ලබා දුන්නේය.

ඔවුහු මෙම  සංශෝධනයට පෙරාතුව ප්‍රතිභා පූර්ණ රංග කාර්යයක නියුතුව සිටියෝ වූහ. ඒ අතරින් ගාස්තු සංශෝධනය පිළිබඳ ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා සිදුකරනු ලැබූ මහජන අදහස් විමසීම අපූරුතම ජවනිකාවක් විය. දී කිරට බළල්ලුත් සාක්කි දුන්නේදැයි අප නොදන්නා නමුත්, කුඩා කර්මාන්තකරුවෝ ඇතුළු සංගම් කිහිපයක්ම මෙම අදහස් විමසීම විනිවිදභාවයකින් යුතුව සිදුනොවූ බව කීවෝය.

කවරක් වෙතත් දැන් සියයට 18%කින් ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිව තිබේ. විදුලි ගාස්තු සංශෝධනය සමඟ එළඹෙන රාත්‍රී පන්දම් පාලියද දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක දායකත්වය ඉකුත් සතියේදී අපි දැක ගතිමු. කවරක් වෙතත් හුදී මහජනතාවගේ දෙලොව රත්වන්නේ මෙම මස අවසානයේ දෝතට පත්වන විදුලි බිලත් සමඟයි. දැන් විදුලි බිලද QR හරහා ලැබෙන නිසා සැබෑ ජන විරෝධය ඔන්ලයින්ම බලාපොරොත්තු විය හැකිය.

විදුලි ගාස්තු වැඩිවීමත් සමඟම එළඹෙන මාසයේ තවත් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ගණන් නිශ්චිත වශයෙන්ම ඉහළ යනු ඇත. විශේෂයෙන්ම ආහාර පාන මිල ගණන් ඉහළ යනු ඇතැයි කියැවේ. එසේම අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු සේවාවන් පවත්වා ගෙන යාමද ගැටලුකාරී වනු ඇත. ජීවන තත්ත්වය මඳකුදු ඉහළ ගොස් නොමැති වටපිටාවක රට තුළ නිර්මාණය වෙමින් පවතින්නේ ඛේදවාචකයකි.

ජල ගාස්තු සම්බන්ධ ගැටලුව මීට සමානම ඛේදවාචකයෙකි. රටපුරා දහස් ගණනක් පවුල් ජල බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද දැනටමත් කරුණු වාර්තා වෙමින් තිබේ. ඉකුත් අගෝස්තු 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි යළිත් වරක් ජල ගාස්තුව ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේය. ඔවුන් එදා කීවේ 2023 පෙබරවාරියේ විදුලි ගාස්තුව ඉහළ යෑම නිසා ජල සම්පාදන ක්‍රියාවලිය සඳහා වන පිරිවැය 65%කින් පමණ වැඩි වී ඇති බවක්ය. දැන් තත්ත්වය ඊටත් වඩා භයානක විය හැකි බව ඒ හරහා පැහැදිලි වේ.

ජල ගාස්තු වැඩි වීමෙන් වඩාත් පීඩාවට පත්වී සිටින්නේ නාගරික දිළිඳු ප්‍රජාවයි. සියල්ල නළ ජලය මත පදනම්ව සිදුවන ඔවුනට ආණ්ඩුව කියන පරිද්දෙන් පරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් නොවේ. නෑමෙන්, කෑමෙන්, බීමෙන් වැළකී සිටීම සැබැවින්ම කිසිවකුට සිදුකළ නොහැකිය.

පසුගිය මාසයක කාලය තුළ සිදු වූ ගෑස් සහ ඉන්ධන මිල වැඩි වීමද අපට අමතක කර දැමිය නොහැක. එම සංශෝධනයෙන් කනේ පාරක් ගැසීමට පෙර කන අතගා බැලීම සාමාන්‍යය. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ රුපියල් 145කිනි. එහෙත් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළ ගෑස් මිල අනුව මෙරට ගෑස් මිලද ඉහළ යා හැකි බවට බලධාරීහු අනාවැකි පළ කරති.

ඉකුත් ඔක්තෝබර් පළමු වැනිදා ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 4 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 3 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් 62 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. පසුගිය සමයේ සිදු වූ අඩු වැඩිවීම්වලට සාපේක්ෂව මෙය එතරම් වැඩිවීමක් නොවුණත් නමුත් තරමක අනතුරු හැඟවීමක් වූ බව අමතක කළ නොහැකිය.

ලෝක දේශපාලනයේ තත්ත්වය එතරම් යහපත් නොමැති නිසාවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන ගෑස් මිල ඉහළ යාමක් අපේක්ෂා කරන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙමින් සිටිති. සැබවින්ම මේවා පසුව ආ ආරංචි නොවේ. අනෙක් පසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමා වාරණයන්ට යටත් ආණ්ඩුව සුභසාධනය කප්පාදු කරමින් සිටින බව සිහිපත් කළ යුතුය.

හෙනහුරා හඬන්නේ හිඟන්නාගේ පාත්තරයම උදුරා ගන්නට බව ගෙවෙනා හැම මොහොතකදීම අපට අවබෝධ වෙමින් තිබේ. එහෙත් ආණ්ඩුවේ මැති ඇමැති වියදම් ඇතුළු අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමක් පිළිබඳව සැබෑවට සංවාදයක් නොවේ. ආර්ථික අර්බුදයකින් රට පීඩාවට පත්වී සිටින බවත්, මිල වැඩිකිරීම් සිදු කිරීමට සිදුවම බවත් අප උපේක්ෂාවෙන් යුතුව පිළිගමු. එහෙත් මහජනයාගේ රීරි මස වීමට පෙර, ඉහළ තැන්වල සිටින උත්තමයන් සිය පරිවාර සම්පත්තියෙන් අතහැර දැමිය යුතුය.

විදුලි බිල දරාගන්න බැහැ රංජිත් විතානගේ 

සභාපති - පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

මේ අවස්ථාවේ ආදායම් අඩුවෙලා භාණ්ඩ මිල අඩුවෙලා තියන්නෙ. මේ වගේ තත්ත්වයක් යටතේ ගාස්තු වැඩිවීම දරාගන්න අමාරුයි පාරිභෝගිකයන්ට. මේ අධික ගාස්තු නිසා දරුවන්ගේ අධ්‍යාපනයට පවුලේ පෝෂණයට තියෙන මුදල් පාරිභෝගිකයන්ට අහිමි වෙනවා.

විදුලිය, ජලය, ඉන්ධන ආදී මිල ඉහළ යාම් එක්ක පාරිභෝගිකයන් ණයකාරයන් බවට පත්වෙනවා. රජය කියන විදිහට සීමා කිරීම් කරනවා නම් ජලය, විදුලිය පාවිච්චි නොකර ඉන්න තමා පාරිභෝගිකයන්ට සිද්ධ වෙන්නෙ. 
පාරිභෝගිකයන්ට පනවන ගාස්තු ඒ අයගේ ආර්ථික තත්ත්වය අනුව සාධාරණ වෙන්න ඕනෑ. මිල වැඩි කරනවා නම් මේ සේවා ප්‍රමිතිය වැඩි වෙන්න ඕනෑ. මේ කිසි දෙයක් වෙලා නැහැ. මෙහෙම කටයුතු කරනවා නම් පාලකයන්ගෙන් ඇති වැඩක් නෑ.

මෙහෙම ගියොත් බේකරි වහන්න වේවි
එන්.කේ. ජයවර්ධන - සභාපති - සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

මේ විදුලි බිල දරාගෙන මේ කර්මාන්තය කරන්න බෑ කීයටවත්. විදුලි බිලක් එන්නෙ නැති බේකරියක් නෑ. බේකරි සීයට අසූවක විතර මොන යම් හෝ විදුලි උපකරණයක් පාවිච්චි වෙනවා. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක කරන බේකරි සීයට විස්සක් විතර තියෙනවා. දැන් ඒ බේකරි සම්පූර්ණයෙන්ම වහන්න වෙනවා.

විදුලි බිල විතරක් නෙවෙයි ජලය, ගෑස්, ඩීසල් සියල්ල මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ. බේකරි නිෂ්පාදනවල මිල තවත් වැඩි කිරීමක් සිදු කරන්න බෑ. දැන් වැඩි කරලා ඉවරයි. මිල වැඩි කරලා විකුණන්න බෑ. තවදුරටත් මිල වැඩි කළොත් පාරිභෝගික ජනතාවට මිලදී ගන්නත් බෑ.

උපයෝගිතා කොමිසම ජනමතයට පයින් ගැහුව
සංජීව ධම්මික - ලේකම් - විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

මේ වෙලාවේ විදුලි පාරිභෝගිකයෝ මුහුණදෙන තත්ත්වය පනතට පවා පටහැනියි. අපේ දේවාලය තමා මහජන උපයෝගීතා කොමිසම. ඒ අය පහුගිය 18 වැනිදා මහජන උපදේශනයට අපිව කැඳෙව්වා. පැය 24ක් යන්න ඉස්සෙල්ලා ඒ මහජන උදේශනයෙන් ලැබුණු අදහස් ක්‍රියත්මක කරන්න ඒ අය සුපිරි පරිගණකයක් වගේ ක්‍රියා කරලා තියෙනවා.

අපි පිළිගත් ඉංජිනේරුවන් සහ වෘත්තිකයන් යොදාගෙන සති දෙකක මහජන උපදේශනයක් සිදු කරන වාර්තාවක් බාර දුන්නා. ඒ සියල්ල කුණු කූඩයට දාලා තමා මේ විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කරලා තියෙන්නෙ. වසරකට විදුලි ගාස්තු දෙපාරයි වැඩි කරන්නේ කියලා ජනවාරි මාසේ ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. දැන් ඒ ප්‍රතිපත්තිමය තීරණය කඩ කරලා තියෙනවා. දැන් විශේෂ අවශ්‍යතා යටතේ හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියලා කියනවා.

අගෝස්තු මාසේ මේ අය කිව්වා බිලියන 54ක් ඕනෑ කියලා. කොමිෂන් සභාව මේක වැරදි දත්ත මත පදනම් වුණු ගාණක් කියලා පෙන්නලා දුන්නම බිලියන 31ට එයාල  ගාණ බැස්සුවා. මේ මාසෙ 15 වැනිදා කොමිසම ආයෙ කිව්ව ඒ තොරතුරුත් වැරදියි කියලා. ඊටපස්සේ මේගොල්ලෝ කිව්වා බිලියන 18 ක හෙවත් සීයට 18 ක වැඩිවීමක් ඇති කියලා. පේමන්ට් එකේ මුදලාලිල වගේ ගණන් අඩු කරන්නෙ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්.

කෝ විකල්ප?
අසේල සම්පත් නායක - පාරිභෝගික පෙරමුණ

අපි මුල ඉඳන්ම කිව්වේ අපේ වහළවල් ටිකට සෝලා හයි කරලා විකල්ප විදුලිය ලබා දෙන්න කියලා. ඒ වෙනුවට දිගින් දිගටම සිදු වුණේ බිල වැඩි කිරීම. රටේ විදුලිය කළමනාකරණය කරන වැඩසටහනක් මේ අය සකස් කළේ නෑ. ජලය වගේම විදුලියත් සැලකිය යුතු විදියට නාස්ති වෙනවා.

ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න කිව්වත් රාජ්‍ය ආයතනවල විදුලිය සැලකිය යුතු ලෙස නාස්ති වෙනවා. අවශ්‍ය විදියට විදුලි බල්බ දල්වල, ෆෑන් දාල, වායුසමීකරණ දාල විදුලිය නාස්ති කරනවා. අවසානයේ දැන් මිල වැඩිවීමත් එක්ක රෝගියකුගෙ බෙහෙත් ටිකවත් ශීතකරණයක දාල තියාගන්න බැරිවෙලා.

මේ රටේ පාරිභෝගිකයා ආරක්ෂා කරන වැඩපිළිවෙළක් හැදෙන්න ඕනෑ. ඉන්ධන, ජලය, ගෑස් වගේ දේවල්වල මිල වැඩිවීමත් එක්ක වෙළෙඳපොළේ භාණ්ඩ ශීඝ්‍රයෙන් ඉහළ යනවා. අනෙක් පැත්තෙන් ප්‍රමිතිය හැම සේවාවකම බාල වෙමින් තිබෙනවා.

I චමිඳු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02