2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

සී.අයි.ඩී.යට එරෙහි ’’ඩූ ඕ ඩයි’’ මෙහෙයුම

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

පොලීසියට පහරදී සැකකරුවන් බේරගෙන යන කතා අපි ඉතිහාසයේ අසා දැක තිබුණේ 88/89 කාලයේය. ජවිපෙ සන්නද්ධ කණ්ඩායම විසින් පොලීසියට පහරදී ආයුද ගෙන යන්නත්, සැකකරුවන් බේරාගෙන යන්නත් උත්සාහ කළ අවස්ථා එම යුගයේ අනන්ත අප්‍රමාණව තිබුණි.

එහෙත් මොළේ ඇති එකෙක් පොලීසියට පහර දී වෙන එකෙක් බේරාගෙන යන නාට්‍ය ජවනිකා ඇත්ත ජීවිතේ පෙනෙන්නේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ මොහොතේ හෝ වෙනයම් ඕනෑම මොහොතක පොලීසියෙන්ම මැරුම් කන්නට වෙන නිසාය. අදට අනුව නම් එක්කෝ ආයුධ පෙන්නන්නට ගොස්ය. නැතහොත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අත්බෝම්බයෙන් පහර දෙන්නට ගොස්ය. ඒ නිසා පොලීසිය එක්ක සෙල්ලම් දාන එකට කවුරු කවුරුත් බයය.

පුදුමය නම් මෑතක සිට පොලීසියෙන් අහන්න ලැබෙන කතා එක්ක සමහරුන් පොලීසිය සිල්ලර කාසි ගාණට දමා තිබීමය. අපරාධකරුවන් පොලීසිය ගණන් ගන්නේ නැති තැනකට පත්වෙමින් ඇත. ඊට හේතුව පොලීසියමය. ප්‍රභූවරුන්ට වෙනම නීතියකුත් පොඩි එකාට වෙනම නීතියකුත් ඇතිවන සේ කටයුතු කිරීමෙන් සතයකට ගණන් නොගන්නා තැනට පොලීසිය පත්වෙන එක ගැන අමුතුවෙන් ලියන්නට අවශ්‍ය නැත. ඒ නිසා මේ දිග හැරෙන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ පොලීසියේ ඉහළම ආයතනය ලෙස සැලකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු නොවුණු කතාවකි.

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ලෝක ඒජන්තයන් දෙදෙනකු වූ නඳුන් චින්තක හෙවත් හරක් කටාත්, සලිඳු හෙවත් කුඩු සලිඳුත් මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට ගෙන්වා දැනට රඳවා සිටින්නේ රහස් පොලීසිය හෙවත් හතරවැනි තට්ටුවේය. එකී රඳවා සිටින ඒ දෙදෙනාම එතැනින් පැනයාමට පසුගිය කාලයේ මොන ආකාරයේ සැලසුමක් තිබුණේද යන්න හෙළිවිණි.

ආරක්ෂාවට සිටි රහස් පොලීසියේම පොලිස් නිලධාරියෙකුගේ සහායෙන් රහස් පොලිසියේ නිලධාරීන්ට මත් පෙති ඇතුළු කුඩු දමා කිරිටොපි කවන්නට ගියේ ඒ පළමු මෙහෙයුමේ වැඩක් ලෙසය. එහෙත් අවසානයේ එය වැරදී ගියේය. සියල්ල අනාවරණය වුවත් වැඩේට සහය වුණු පොලිස් නිලධාරියා තවම හොයාගන්නට නැත. මේ සියල්ල එසේ සිදුවන විට පසුගියදා රහස් පොලීසිය තකහනියේ පැමිණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රහස් වාර්තාවක් ලබාදුන්නේය. ඒ හරක් කටා සහ කුඩු සලිඳු බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුමක් ගැනය.

මේ මෙහෙයුම ''Do or Die'' යනුවෙන් හඳුන්වා දී තිබුණේය. මෙය සම්පූර්ණයෙන් යුද හමුදා කොමාන්ඩෝ බලකායේ මෙහෙයුමක් හා සමාන විය. මේ වැඩේට සම්බන්ධ වී සිටියේද එම බලකායේම හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකි. මේ දෙදෙනාට කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණේ පළමු මෙහෙයුමේම පුද්ගලයාය. ඒ වෙනින් කවුරුත් නොව හරක් කටාගේ ළඟම ගෝලයා වූ ප්‍රභාත් මදුසංක හෙවත් මිදිගම චූටිය. චූටි මේ මෙහෙයුම ලබාදී තිබුණේ කෝටි 100කට ආසන්න කොන්ත්‍රාත්තුවකට බවද කියති.

එම මෙහෙයුමට දැනට හමුදා සේවයේ ඉන්නා කොමාන්ඩෝ සෙබළුන් සිව් දෙනෙක්ද සම්බන්ධ කරගන්නට සැලසුමේ තිබුණේය. සැලසුමට අනුව මේ හයදෙනාම පොලිස් ඇඳුමෙන් සැරසී රහස් පොලීසියට ඇතුළු වන අතර ඉන්පසුව රහස් පොලීසියේ නිලධාරීන්ට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබී ඇත. එම මෙහෙයුමෙන් පසුව හරක් කටා සහ සලිඳු රුගෙන මුහුදු මාර්ගය ඔස්සේ පැනයාමට සැලසුම අනුව තිබී ඇත. එහෙත් මෙම යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනාගේ රහස් සාකච්ඡා හරහා සියල්ල හෙළිවිය. ඔවුන් අත්අඩංගුවට පත්වූවා පමණක් නොව ඔවුන් අතර සිදුවූ දුරකථන සංවාද තුළද ඒ සියල්ල හෙළිවී තිබුණි.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම මේ ආකාරයෙන් සැලසුම් කළේ කුමන හයියකටදැයි තවමත් සැකය. රහස් පොලීසිය වැනි අධි ආරක්ෂිත කලාපයක ඇතුළු වී මෙවැනි මෙහෙයුමක් සිදුකිරීම ලේසි පහසු නැත. එවැනි දෙයක් කිරීමට කාගෙන් හෝ සහායක් නියත වශයෙන්ම අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නැත. මේ මෙහෙයුම පිටුපස රහස් පොලිසියේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබීම අවශ්‍යමය. එසේ නොමැතිව මේ ආකාරයෙන් පැමිණ සංවිධානාත්මක මෙහෙයුමක් කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා මෙම මෙහෙයුම්වල මහ මොළකරුවකු නියත වශයෙන්ම සිටිය යුතුය.

ඊටත් වඩා ඇති ගැටලුව වන්නේ මෙවැනි මෙහෙයුමක් සිදුකිරීමට තරම් මොවුන් දෙදෙනාට ඇති බලය ගැනය. ඊටත් වඩා ඒ වෙනුවෙන් කැපවීමට පාතාලයන් සිටීම ගැනය. මෙවැනි තත්ත්වයක් මත මේ රටේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පවා ජීවිතය ඇත්තේ අවදානම් තත්ත්වයකය. ඊට හොඳම උදාහරණය වන්නේ පසුගිය දිනක හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර වෙඩි තබා පාතාලයෙන් ඝාතනය කිරීමයි. බාලේන්ද්‍ර යනු පාතාලයට එරෙහිව විශාල වශයෙන් වැඩකළ කෙනෙකි. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව එවැනි නිලධාරීන් ආරක්ෂා කරන්න කිසිවක් සිදුකළේ නැත. අවසානයේ බාලේන්ද්‍රගේ මුහුණ කුඩු වෙන්නම වෙඩි තබනු ලැබීය.

එසේම ඒ ආකාරයෙන් පාතාලය වෙනුවෙන් වැඩ කළ දෙදෙනෙක් සිටිති. එක් අයකු දැන් රට අත්හැරදා ගොස්ය. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාය. අනෙකා දැනටත් පොලිස් සේවයේ සිටින පොලිස් පරීක්ෂක කැලුම් සංගීත්ය. මේ අයට තවමත් ජීවිත තර්ජන ඇත. ඒ කුඩු පාතාලයෙන්ය. ඔවුන් ජීවත් වෙන්නේද කොයි මොහොතක හෝ වෙඩි කන්නට සිදුවෙතැයි සැකයෙනි. ඒ නිසා හරක් කටාලා, කුඩු සලිඳුලාගේ මෙවැනි ගේම් ලෙහෙසි පහසු නැත. ඒ නිසා මේ ආකාරයේ සැලසුම් නිකම් අහක දැමිය නොහැක.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02