ආර්ථික අර්බුදය තුරන් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට සැලැස්මක් ඉදිරිපත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි පළමු තාක්ෂණික ඇගයීමට පසු අලුත් තත්ත්වය වාර්තා කර තිබේ. ආදායම හා වියදම ගලපා ගන්නා ආකාරය ගැන තද අනතුරු ඇඟවීමක් කර ඇත. දූෂණ මැඩලීම අරමුණු කරගෙන ආණ්ඩුව අනුගමනය කළ යුතු පිළිවෙළ ද අවධානයට පත්ව ඇති කරුණකි. ආර්ථිකය තුළ පවතින කළු සල්ලි ජාවාරම් පාලනය සඳහා ආණ්ඩුව පියවර ගත යුතු බවද සඳහන් කර තිබේ. උද්ධමනය පාලනය කරන අතර එම කාර්යය සඳහා අනුගමනය කළ පියවර පළමු තාක්ෂණික නියෝජිත පිරිසගේ පැසසුමට ලක්ව ඇති කරුණකි. රජයට අයත් ආයතනවල විශේෂයෙන් විදුලිය හා ඛනිජ තෙල් අලෙවි කිරීමේදී පිරිවැය ආවරණය කර ගැනීම කෙරෙහි තවදුරටත් ක‍්‍රියාශීලී විය යුතු බව අඟවයි.
දැනට පවතින අර්බුදය තුළ අනුගමනය කළ ක‍්‍රියාමාර්ග ඔස්සේ ආර්ථිකය ස්ථාවර කරගන්නට සමත්ව ඇති නමුත් වර්ධනය සඳහා පියවර ගණනාවක් අවශ්‍යය. ආයෝජනය එහිලා වැදගත් වේ. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම එහි පළමු කාර්යභාරයකි. පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව මෙහෙයවන ලද ආකාරය අනුව මූල්‍ය ක්ෂේත‍්‍රයේ හා දේශපාලන අංශයේ පවතින ගැටලු සම්පූර්ණයෙන්ම ආවරණය වී නැති බව පැහැදිලිව පෙනෙන කරුණකි.
► දූෂණය ගැන මූල්‍ය අරමුදල කියන දේ
දූෂණ විරෝධී පනත සම්මත කරගෙන ඇති අතර පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පරිසරය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගන්නට සමත්ව ඇති නමුත් වැඩිදියුණු කරන ලද නීතිමය රාමුවේ පූර්ණ ප‍්‍රතිලාභ ලබාගැනීම වෙනුවෙන් විනිවිදභාවයක් නිර්මාණය කිරීම මත අනාගතය රඳා පවතින බව මූල්‍ය අරමුදල නිවේදනය කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තෝරාගැනීම සඳහා පරීක්ෂාකාරී විය යුතු අතර එදිනෙදා මෙහෙයුම්වලදී ඔවුන්ගේ කාර්යභාරය වේගවත් කරන්නට අවශ්‍ය වේ. වත්කම් ප‍්‍රකාශ කළ යුතු නිලධාරීන් හා මහජන නියෝජිතයන් පිළිබඳ නවීන නීතියක් කෙටුම්පත් කිරීම සහ බලාත්මක කිරීම මගින් මෙහි අඩුපාඩු සම්පූර්ණ කිරීම අවශ්‍ය අතර ක‍්‍රියාත්මක කිරීම හා සම්බන්ධ තීරණ ගැනීම දූෂණ අවදානම් අවසන් කිරීමට ඳීම සඳහා ඉතා වැදගත් වනු ඇති බවද දක්වයි. මෙහිදී වත්කම් ප‍්‍රකාශ ලබාගැනීම, ප‍්‍රකාශ කිරීම සහ සමාලෝචනය කිරීම සඳහා ක‍්‍රියාකාරී පද්ධතියක් නොමැතිකම පෙන්වා දී ඇති අතර දූෂණ සිද්ධීන් විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ කාර්ය පටිපාටිය සහ එහි නිපුණතා ගැටලු පවතින බව දක්වා ඇත.
දැනට පවතින ක‍්‍රමවේදය සලකා බැලීමෙන් පසු මූල්‍ය අරමුදලේ නිර්දේශ අලුත් ඒවා නොවන බව පැහැදිලිය. වත්කම් හෙළි කළ යුතු සෑහෙන කොටසක් එයින් වැළකී සිට ඇත. වත්කම් උපයාගත් අන්දම පැහැදිලි කිරීමට නොහැකි වූ පසු අධිකරණය නියම කරන දඩ මුදල රුපියල් දහසක් පමණ වන බව දැකගත හැකි විය. විපක්ෂයේ සිටියදී නඩු පවරන අතර ආණ්ඩුවට පැමිණි පසු නඩු ඉල්ලා අස්කර ගන්නා සහ අධිකරණයේ පවරන ලද නඩුවල පවතින තාක්ෂණික ගැටලු හේතු කොටගෙන තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි අවස්ථා සෑහෙන ප‍්‍රමාණයක් වාර්තා විය. සාමාන්‍ය පුද්ගලයකුගේ සුළු වරදකට ඉවසිය නොහැකි දඬුවම් නියම කරන අතර විශාල වැරදි කරන දේශපාලන බලවත් පුද්ගලයන්ට අධිකරණයේදී ලැබෙන තීන්දු ද මහජනතාවට ඉවසිය නොහැකි වෛරයක් ඇතිකර තිබේ. මෙවැනි පසුබිමක් මත සමාජ සාධාරණත්වය හා ආර්ථිකය විනාශ කරන දූෂණය මැඩ පවත්වන්නේ කෙසේද?
► දූෂිත මුදල් රටට එන ක‍්‍රම පාලනය
එක්සත් ජාතීන්ගේ දත්ත අනුව එක් වසරක් තුළ ලෝකයේ මුදල් විශුද්ධිකරණය කරන ප‍්‍රමාණය ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 - 5 ක් අතර විය හැකි අතර එය වර්තමාන ඇමෙරිකානු ඩොලර්වලින් ඩොලර් බිලියන 800 ක් හෝ ඩොලර් ට්‍රිලියන 2 ක් වන බව දැක්වේ. ශ‍්‍රී ලංකාව ද තද දුඹුරු පැහැයෙන් දක්වා ඇති මුදල් විශුද්ධිකරණයට ඉඩ දෙන රටක් වශයෙන් දක්වා ඇත. මෙම ප‍්‍රතිශත අනුව පැහැදිලිවම බැංකු වංචා සහ දරුණු ලෙස ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ අනාවරණය කරයි. පසුගිය කාලයේ ඇතැම් බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන් තැන්පත් කරන ලද අති විශාල මුදල් ගැන කිසිම අවධානයක නොසිටි බව පළවීමෙන් මෙය හෙළි වේ.
මත්ද්‍රව්‍ය, ආයුධ, ඖෂධ, මිනිස් ජාවාරම් හා සිනමාව ඇතුළු අංශ ගණනාවක් අති විශාල වශයෙන් කළු සල්ලි උපයන අංශ බව දැක්වේ. මෙම මුදල් උපයන පිරිස් විවිධ උපාය මාර්ග ඔස්සේ ඒවා සාමාන්‍ය සංසරණයට නිකුත් කරමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ මැතිවරණයකදී විසි කරන අධික මුදල් ප‍්‍රමාණය නීතිවිරෝධී මුදල් ගැන අදහසක් හෙළි කරයි. ඕනෑම ක‍්‍රමයකින් මුදල් ආර්ථිකයකට එකතුවීම සුදුසු නමුත් සාමාන්‍ය ජනතාවට පනවන බදු හා නියෝග නොසලකා කළු සල්ලි පරිහරණයට එක්වීම වරදකි. අපරාධකරුවන් හෝ වංචාකරුවන් තමන් විසින්ම හෝ අතරමැදියකු භාවිත කරමින් නීතිවිරෝධී අරමුදල් ස්ථර කිරීමට ගන්නා උත්සාහ වැළැක්වීමේ රෙගුලාසි මඟහරින රටවල් මුදල් විශුද්ධිකරණයට ඉඩ දෙන රටවල් වශයෙන් ජාත්‍යන්තරයට අනාවරණය වේ. ශ‍්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පසුවන අතර මුදල් විශුද්ධිකරණයේ නිරත තැනක් වශයෙන් සටහන් වන විට එය යුක්තිසහගත ආර්ථිකයකට බාධාවකි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා ප‍්‍රයත්නයන්, රෙගුලාසි, ප‍්‍රතිපත්ති හඳුන්වා දී ඇත, පසුගිය වසර පහ තුළ අවස්ථා දෙකකදී හෙළි නොකරන ලද මුදල් ප‍්‍රශ්න කිරීමකින් තොරව බැංකුවල තැන්පත් කරන්නට ඉඩ දුන් අතර පසුව තද නීති පනවන බව ප‍්‍රකාශ වූ නමුත් එවැනි පියවරක් නැත. මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මගට ගැනීමේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ද අවශ්‍යම පියවරක් වශයෙන් සලකයි.
► බදු තවත් පැනවීම
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ප‍්‍රසාරණය කරන්නට පියවර ගත යුතුය. ස්ථාවරභාවය ඇතිකිරීමෙන් අනතුරුව වර්ධනය කළ හැකි ප‍්‍රසාරණයකින් පමණකි. ආණ්ඩුවේ සැලැස්ම අනුව ප‍්‍රසාරණයට බාධා තිබේ. ආයෝජකයන් නැත. දේශීය සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සේවා දරුණු පිරිහීමක බව දැක්වේ. පවතින විදුලිය හා ඉන්ධන මිල අනුව ව්‍යාපාර කරගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මහා පරිමාණ ව්‍යවසායකයෝ පවා රජයේ බදු ක‍්‍රමය හා බලශක්ති පිරිවැය ගැන කනස්සල්ලෙන් පසුවෙති. ඇතැම් ව්‍යාපාර ලංකාව හැර වෙනත් රටවලට යන බව පෙනේ. බුද්ධිමත් පිරිස පමණක් නොව ව්‍යාපාර අංශ පවා රට හැර යන තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්නට අලුත්ම රාමුවක් යොජනා කළ යුතු බව මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යය.
ආර්ථිකය ප‍්‍රසාරණය නොවන පසුබිම ඉදිරියේ පවතින ව්‍යුහයෙන් වැඩිම ප‍්‍රමාණයක් ආණ්ඩුවේ අයිතියට ගැනීම හැර විකල්පයක් මූල්‍ය අරමුදල හඳුනාගෙන නැත. පළමු වතාවට පැමිණි අධීක්ෂක කණ්ඩායම රජයේ ආදායම සඳහා තවත් බදු පැනවිය යුතු බව පෙන්වා දී ඇත. රජයේ ආයතනවල දුබලතා මගහැර ආදායම් උපයන තැනට පත් කරගත යුතු බව පෙන්වා දී තිබේ. සහන වශයෙන් කරගෙන යන ව්‍යාපාර අත්හැර දමන තරමට රජයට පීඩනයක් එල්ල කර ඇති අතර ජලය, විදුලිය, ඉන්ධන හා ගෑස් වැනි අංශවල පිරිවැය ආවරණය කරන යෝජනා ක‍්‍රියාවට නැගීම එහි ප‍්‍රතිඵලයකි.
ශ‍්‍රී ලාංකිකයන් සතු ආර්ථිකයට ඔරොත්තු දෙන හැකියාව ගැන සඳහන් කරන මූල්‍ය අරමුදල තවත් ඉක්මනින් ස්ථාවර වීම ගැන සතුට පළ කරයි. සියයට 80 ක ප්රතිශතයක් දක්වා නැග තිබුණු උද්ධමනය සියයට 1 ක ප්රතිශතයක් දක්වා පහත වැටීම ගැන අමන්දානන්දයට පත්ව ඇත. මෙම උද්ධමන පාලනය තුළ ජන ජීවිතය පත්ව ඇති ඉරණම මූල්‍ය අරමුදල වටහාගෙන නොතිබීම කනස්සල්ලට හේතුවකි. පාරිභෝගිකයන්ට විදුලිය බිල දරාගත නොහැක. තුන්වැනි වටයකින් ගාස්තු වැඩි කළ පසු එහි බර සාමාන්‍ය ජනතාවට ඉහළිය නොහැකි වී ඇති අතර ජනතාව මිරිකා තලා පෙලා කරන ආර්ථික ස්ථාවරත්වය අවසානයේ ඇති කරන ඉරණම ගැන නැවත සලකා බැලීම ආණ්ඩුවේ වගකීමකි.
ජාත්‍යන්තර වාර්තා උපුටා දක්වන මූල්‍ය අංශ ශ‍්‍රී ලංකාවේ බදු අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමණ වන අතර එය ලෝකයේ අඩුම අගය බව දක්වයි. මෙම ප‍්‍රතිශතය සියයට 15 ක් දක්වා වැඩි කළ යුතු බව මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ. ජීවත්වීම සඳහා මහත් අරගලයක නිරත ජනතාව දැනට අයකරන බදු ප‍්‍රතිශතය දෙගුණ කළහොත් අසරණ වන බව බලධාරීන් වටහාගත යුතුව තිබේ. මූල්‍ය අරමුදලේ කොන්දේසි මත වසර හතරක් ගත කරන්නට ශ‍්‍රී ලංකාවට සිදුවී ඇත. මෙම කාලය තුළ ජනතාව පත්වන අපහසුතා ගැන නොසලකන හේතු පැහැදිලි කරගත යුතුය.
I සාරා කන්දෙගොඩ