පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ‍්‍රායලයට එල්ල කරන ලද රොකට් ප‍්‍රහාර මාලාව බිහිසුණු යුද්ධයක් නිර්මාණය කර තිබේ. හමාස් සංවිධානය පමණක් මෙම විනාශයට වගකිවයුතු නැත. ගැටුම පිටුපස සිටින බලවත් රටවල් මෙම විපතෙහි කොටස්කරුවෝ වෙති. හමාස් සංවිධානයටත්, ඊශ‍්‍රායලයටත් ඍජුව හා වක‍්‍රව අනුබල දෙන සියලු රටවල් අහිමිවන ජීවිතවලට වගකිව යුතුය. අවි ආයුධ පමණක් නොව තොරතුරු ද යුද්ධයේ මෙවලම් බවට පත්ව තිබේ. ගූගල් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන අටක් විපතට පත්වූවන් වෙනුවෙන් ප‍්‍රදානය කර ඇත. මෙම ධනය උපයන්නේ යුද්ධයෙන්ය. ගාසා තීරයේ විත්ති අන්තර්ජාල මාධ්‍යයෙන් කියවන ජනයා එම සමාගම්වලට ගෙවන අතර ජනතාව සතු ධනයෙන් කොටසක් යුද තොරතුරු දැනගැනීමේදී වියදම් වීම සාමාන්‍ය ආදායමට බලපාන කරුණක් බවට පත්ව ඇති බව සඳහන් කළ යුතුව ඇත.
ගාසා තීරයේ ගැටුම තොරතුරු පරිභෝජනයේදී පමණක් නොව එදිනෙදා භාණ්ඩ හා සේවාවලටද එකතු වෙමින් තිබේ. අලුත්ම වාර්තා අනුව ගාසා තීරය අවටින් ගමන් කරන නෞකා සඳහා අය කරන රක්ෂණ ගාස්තු වැඩි කරන තීරණයක් ගෙන ඇත. ප‍්‍රධාන රක්ෂණ සමාගම් අනුගමනය කරන ක‍්‍රමවේද අනුව අනතුරුදායක කලාපවලින් ගමන් කිරීමේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි අවදානම සලකා මෙම ගාස්තු සංශෝධනය වන බව දැක්වේ. නැව් ගාස්තු, රක්ෂණය, වැටුප් වියදම් හා ගැටුම් සිදුවන ප‍්‍රදේශ මගහැර ගමන් කිරීමේදී සිදුවන ප‍්‍රමාද නැව්වලට පටවා ඇති භාණ්ඩවලට එකතු කරන්නට සිදුවන බව නොරහසකි.
අශ්ඩොඩ් වරායට ඇතුළු වීම සීමා විය හැකි ලකුණු
ලෝකයේ ප‍්‍රධාන නැව් සමාගම් දිනපතා ගමන් කරන මාර්ග ඇත. ඒවායේ මෙහෙයුම් සංකීර්ණ ස්වභාවයක් ගනී. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට නැව්ගත කළ යුතු කන්ටේනරයක් කෙළින්ම කොළඹ සිට ඇමෙරිකාවට ළඟා වෙන්නේ නැත. බහාලුම් නැව් කිහිපයක් ඒවා ඩුබායි, සිංගප්පූරුව හෝ වෙනත් ප‍්‍රධාන වරාය ගණනාවකට වරින් වර යොමු කරන අතර අවසානයේදී ඇමෙරිකාව ඔස්සේ ගමන් කරන නැවක් එම කන්ටේනරය ප‍්‍රවාහනය කරයි. ඉන්දියාවට ප‍්‍රවාහනය කරන නැව් භාණ්ඩ තවත් උදාහරණයකි. ලෝකයේ ප‍්‍රධාන නැව් සමාගම් කොළඹ වරායට ගෙන එන බහාලුම් ඉන්දියාවට ප‍්‍රතිනැව්ගත කෙරේ. ශ‍්‍රී ලංකාවට එම ප‍්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය කොපමණ වැදගත්ද යත් කොළඹ වරායේ බහාලුම් අපනයනයෙන් සියයට අසූවක් ඉන්දියාවටට ප‍්‍රතිඅපනයනය කරන කන්ටේනර්ය. මේ අනුව වරායක වැදගත්කම හෝ නැව් මාර්ගයක ප‍්‍රයෝජනය රටක් තුළ කරන වෙළෙඳාම පමණක් නොවේ. කලාපයේ හෝ ලෝකයේ ඕනෑම තැනක මෙහෙයුමක් හා සම්බන්ධිතය.
ඊශ‍්‍රායලය අපනයනයට ප‍්‍රකට රටක් නොවේ. එහි ඛනිජ තෙල් නැත. කෘෂි භෝග අපනයනය කරන රටක් නොවන බවද දැක්විය යුතුය. ඊශ‍්‍රායලයේ ප‍්‍රධාන විනිමය උත්පාදන අංශය දියමන්ති ආනයනය කර ඒවා කපා ඔපදමා නැවත අපනයනය කරන බව වාර්තා පෙන්වා දෙයි. මේ කෙසේ වෙතත් එරට වරාය ගණනාවක් යුද තත්ත්වය හේතුවෙන් අර්බුදයක පසුවේ. තායිවානයේ නැව් සමාගමක් ඊශ‍්‍රායලයේ අශ්ඩොඩ් වරායට පැමිණීම ප‍්‍රතික්ෂේප කර ඇත. යුද ගැටුම් හෝ ස්වාභාවික විපත්වලින් සිදුවන වගකීම්වලින් සේවාදායක නැව් නිදහස් කරන වගන්තියක් ගිවිසුම්වලට ඇතුළත් නොකිරීම එයට හේතුව වශයෙන් දක්වා ඇත. ටෙල් අවිව් නගරයට නාවික සැතපුම් විසි පහක් නුදුරින් පිහිටි වැදගත් වරායක් නමුත් එහි අනාරක්ෂිතභාවය ඉදිරියේ වෙනත් රටවල විකල්ප අවස්ථා සඳහා පෙළඹී ඇත.
සංචාරක සැලසුම් හබක්
ප‍්‍රධාන නැව් සමාගම් දක්වන පරිදි ඛනිජ තෙල්, පොහොර හා රසායනික ද්‍රව්‍ය බහුලව ප‍්‍රවාහනය කරන වරාය ලෙස දැක්වෙන ඊශ‍්‍රායලයේ අශ්ඩොඩ් සහ අශිකෙලෝන් වරාය දෙක එම කටයුතුවලින් ඉවත්ව ඇත. කෙසේ වෙතත් හනිෆා වරාය තවදුරටත් ආරක්ෂිත බව ප‍්‍රකාශ කර තිබේ. එවර්ග‍්‍රීන් නැව් සේවාව ලෝක ප‍්‍රසිද්ධ සමාගමක් වන අතර ඔවුන් ඊශ‍්‍රායලයේ වරාය තවදුරටත් ආරක්ෂිත නැති බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම ආන්දෝලනයකට හේතු වී ඇත. එම නැව් සමාගමට කන්ටේනර් මිලියන 1.67 ක වාර්ෂික ප‍්‍රවාහන ධාරිතාවක් සහිතය. ලෝකය පුරා රටවල් 101 ක කාර්යාල තුන්සිය පනහක් පවත්වාගෙන යයි. මෙම සමාගම ඇතිකරන කරුණු ජාත්‍යන්තර ප‍්‍රවාහන කටයුතුවල අවිනිශ්චිත තත්ත්වය තවත් තීව්ර කර ඇත.
මෙයට අමතරව ලෝකය පුරා සංචාරයෙහි යෙදෙන මගී නැව් සේවා ද ඊශ‍්‍රායලයේ ප‍්‍රධාන වරාය හතරක් මගහරින්නට තීරණය කර ඇත. මෙම තීරණය සමඟ රටින් රට ගමන් කරන සංචාරකයන් ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණයක් අවිනිශ්චිත තත්ත්වයක පසුවන බව දැක්වේ.
රක්ෂණ පිරිවැය, ප‍්‍රමාද ගාස්තු හා අමතර වියදම් සියල්ල නැව් සමාගම් විසින් ගණන් බලන අතර ඒවා ප‍්‍රවාහනයට භාරගන්නා කන්ටේනර්වලට ඇතුළත් කෙරේ. ඕනෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක මිල මෙම ප‍්‍රවාහන පිරිවැය සමඟ ගණන් බලන්නට සිදුවන බැවින් ඉදිරියේදී තවත් සංකීර්ණ ව්‍යාකූලතා ඇතිවිය හැකි බව දැක්වේ. ගාසා තීරය අවට කලාපය තුළ නැව් හා ගුවන් සේවා සමාගම් රක්ෂණ අධිභාර දෙතුන් ගුණයකින් නංවා ඇත. මෙම තත්ත්වය අනුව ඒවායේ පිරිවැය ගෙවන්නට විදේශ වෙළෙඳාමේ නිරත සමාගම්වලට සිදුවීම සැලකිය යුතු අවහිරයකි. අධිභාරය ගෙවන අතර නැව් ප‍්‍රමාද වීමෙන් පසු සිදුවන අමතර ප‍්‍රමාද කර්මාන්තයේ අයහපතට හේතුවකි.
මේ අතර ඊශ‍්‍රායල රජයට සම්බන්ධ ඉහළ පෙළේ නියෝජිතයන් ඔවුන්ගේ මුහුදු සීමාව ඇතුළත කිසියම් විපතකට පත්වුවහොත් සත්‍ය පිරිවැය ගෙවන්නට සූදානම් බව ප‍්‍රකාශයට පත් කර ඇත. එය අවදානමක් සහිතව නාවුක ගමනාගමනයට සූදානම් පාර්ශ්ව දිරිගැන්වීමක් බව දැක්වේ.
ඉන්ධන හා ගෑස් මිල
පසුගියදා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කළේය. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මිල අඩු කළ අතර අනෙක් සියලුම ඉන්ධන වර්ග මිල ඉහළ නංවා ඇත. මැදපෙරදිග වාර්තා දක්වන පරිදි බොරතෙල් මිල ඉහළ යා හැකිය. ගාසා තීරයේ ගැටුම් මැදපෙරදිග නිපදවන බොරතෙල් හා බෙදාහරින ඉන්ධනවලටද බලපෑමක් එල්ල කර තිබේ. පසුගිය සඳුදා ලෝක බැංකුව අනතුරු අඟවන ලද පරිදි බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 150 ඉක්මවිය හැකිය. දැනට පවතින රුසියානු හා යුක්රේන ගැටුම පමණක් නොව ගාසා තීරයේ ගැටුම ද දෛනික පිරිපහදුව බැරල් මිලියන හයක් හෝ අටක් අතර ප‍්‍රමාණයකින් අඩුවිය හැකි අවදානමක් පවතී. මෙම තත්ත්වය සමඟ ප‍්‍රවාහන බාධා ඇතිවුවහොත් ගැටලු මතු කරනු ඇත.
යුද තත්ත්වය පමණක් නොව එල්නිනෝ නියඟය ද ප‍්‍රශ්නයක් වන ලකුණු පහළ කර තිබේ. අත්ලාන්තික් හා පැසිපික් සාගර දෙක ළං කරන පැනමා ඇළ විවෘත කර තබන වේලාවල් සීමා කරන්නට සූදානමක් පවතී. කෘතිම ඇළ මාර්ගයට සැපයිය හැකි ජලය සීමා වී ඇති අතර එය හේතු කොටගෙන දිනකට ඇතුළු කරන නැව් ප‍්‍රමාණය හැත්තෑ පහක සිට තිස් එක දක්වා පියවර තුනකින් කපා හැරීමට පසුගිය කාලය තුළ පියවර ගෙන තිබේ. පැනමා ඇළ ගාසා තීරයේ ගැටුම්වලට කෙළින්ම බලපාන්නේ නැති නමුත් පැනමා ඇළ තරණය කිරීම සඳහා දින තුනක පමණ බලාපොරොත්තු කාලයක් ගත කරන්නට සිදුවන බව ප‍්‍රකාශ වේ. දිනපතා ලෝකයේ ප‍්‍රධාන වරාය යා කරන නැව්වල ප‍්‍රමාදයක් මෙම තත්ත්වය අනුව ඇතිවිය හැකි බව පැහැදිලිය.
ඉන්ධන මිල, නැව් ගාස්තු යනාදී ජාත්‍යන්තර සාධක අවසානයේදී සාමාන්‍ය ජනතාවගේ දෛනික ආදායම මත පුපුරා යන බව පෙන්වා දිය යුතුය. දැනටත් සෑහෙන අසීරු තත්ත්ව මැද ජීවිත ගත කරන පාරිභෝගිකයන්ට නැව් ගාස්තු අමතර පිරිවැයක් ලෙස එකතු වුවහොත් විශාල පීඩාවක් අත් කරන බව සැකයක් නැත. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ අගයක සිට ලබන වසරේදී වර්ධනයක් විය හැකි බව අපේක්ෂා කෙරේ. ක‍්‍රමානුකූලව ආර්ථිකය ස්ථාවර වන බව විචාරක මතය බව පෙනේ. කෙසේ නමුත් අනපේක්ෂිතව ඇතිවන බාධක වෙනත් දිසාවකට ශ‍්‍රී ලංකාවේ ගමන් මග වෙනස් කරන්නට ඉඩ ඇත. කාර්යක්ෂම ක‍්‍රමවේද හා ඉතාම ඵලදායී ලෙස කටයුතු නොකළහොත් ගැටලු ඇතිවීම වැළැක්විය නොහැක. පසුගිය මාසයේ ශ‍්‍රී ලංකාවේ අපනයන පහත වැටුණු අතර මාස පහකට පසු අවම අගයක් ගත් බව දැක්වේ. මිල තරගකාරීත්වය එයට හේතු වූ අතර ඉල්ලුම අඩු වී ඇත. මෙම නරක අගයන්ට නැව් ගමනාගමනයෙන් ද බාධක ඇතිවීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි අවදානමකි.
I සාරා කන්දෙගොඩ