2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

වසර 25ක ගැටලුව විසඳගන්න පාරට බැස්ස ගුරු විදුහල්පතිවරු

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 126

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව වසර 25ක පමණ කාලයක් මුළුල්ලේ ඇදෙන්නකි. 2021 වසරේ ගුරු විදුහල්පතිවරුන් තම වැටුප් විෂමතාව ඉවත් කරන ලෙසට ඉල්ලමින් කරන ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඉන් තුනෙක් එකක් ලබාදීමට එම අවස්ථාවේ ආණ්ඩුව එකඟ විය. එහෙත් ඉතිරි වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් පසුගිය ඔක්තෝබර් 24 වැනිදා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සංධානය බත්තරමුල්ලේ පැලවත්ත ප්‍රදේශයේදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණි. ඔවුන් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය දෙසට සාමකාමී පාගමනක යෙදී සිටි අතර එහිදී ආරක්ෂක අංශ එය වැළැක්වීමට උත්සාහ කළේය. එම අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.  එහිදී එම විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. මෙම ප්‍රහාරයෙන් ගුරු විදුහල්පතිවරුන් කිහිපදෙනකුම තුවාල ලැබූ අතර එම ප්‍රහාරය බොහෝ දෙනකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. වෘත්තීය සමිති නායකයන් චෝදනා කළේ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පමණක් නොව රබර් උණ්ඩවලින්ද පහර දුන් බවටය. 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් තම විරෝධතාව සම්බන්ධයෙන් කියා සිටියේ 2021 වසරේ දින 120ක් පුරා සිදුකළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස වැටුපෙන් තුනෙන් එකක් ලබාදුන් අතර මෙම උද්ඝෝෂණය තම වැටුප් විෂමතාව ඉවත් කරන ලෙසට කරන ඉල්ලීමක් බවයි. ''අපි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට කියා සිටියා එළඹෙන අයවැයෙන් අපේ වැටුප් විෂමතාව ඉවත් කරන්න මුදල් වෙන් කරන ලෙසට. දැනට පවතින විසර්ජන පනතේ එම වෙන්කිරීම අපිට පැහැදිලි නැහැ. ඒ නිසා මෙවර අයවැයෙන් අනිවාර්යයෙන්ම වැටුප් විෂමතාව ඉවත් කිරීමට මුදල් වෙන් කළ යුතුයි. එසේ නොවුණහොත් නොවැම්බර් 13න් පස්සේ අපි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා'' යනුවෙනි.

ගුරු විදුහල්පති විරෝධතාවට පහරදීමට විරෝධය පළකිරීමක් ලෙස පසුගිය 28දා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගුරු විදුහල්පතිවරු පාසල් වේලාවෙන් පසු පාසල් ඉදිරිපිට විරෝධතාවල නිරත වූහ. ඇතැම් ගුරුවරු අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ කළු පටි පැළඳගෙනය. ඒ අතර වෘත්තීය සමිති සංධානය මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබේ.

ගුරු - විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිණි. විරෝධතාවය අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරන බව එම නිවේදනයේ සඳහන් විය. ගුරු - විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බව ද එම නිවේදනයේ සඳහන් විය.

ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙලෙස සඳහන් කළේය. ''ඉදිරියේ එන අයවැයට ගුරු විදුහල්පතිවරුන්ගේ පමණක් නොවෙයි සෙසු සේවාවන්වලත් ඇතිවී තිබෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් යම් ප්‍රතිපාදනයක් වෙන්කොට ලබන වසරේ සිට එම ගැටලුවට විසඳුම් සොයන ආකාරය පිළිබඳව අපි යෝජනා කර තිබෙනවා. මෙම විරෝධතාව ඒ පිළිබඳව දැනුවත් වීමකින් තොරව සිදුකරන්නට ඇතැයි සිතනවා. රටේ පවතින ආර්ථිකයත් සමඟ භාණ්ඩාගාරය ඒ පිළිබඳව අවධානය යොමු කරාවි. මම රටේ සිටියා නම් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන්න තිබුණා. අවාසනාවකට මෙය සිදුවුණේ මම රටේ නොසිටිය අවස්ථාවකයි. ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කළා. කෙසේ වුවත් ලබන සතියේ මම වෘත්තීය සමිති නායකයන් හමුවෙනවා. ගැටලු කළමනාකරණය කිරීමේදී හැමතැනටම යොදන ක්‍රමවේදයන් හැමෝටම යෙදීම සම්බන්ධයෙන් මම එකඟ වෙන්නේ නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුරු සේවය 1995 ජනවාරි පළමුවැනිදා ස්ථාපනය කෙරුණු අතර. ශ්‍රී ලංකා විදුහල්පති සේවය 1997 වසරේ ජනවාරි පළමුවැනිදා ස්ථාපනය කෙරිණි. ඉන් ඉහත උපාධිධාරී ගුරුවරු, පුහුණුවන ගුරුවරු, ශිෂ්‍ය ගුරුවරු ආදී වශයෙන් ශ්‍රේණි 36කට බෙදා සිටි ගුරුවරුන්ට, මෙහිදී ගැසට් මඟින් සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දී, දීප ව්‍යාප්ත වැටුප් තලයක් ඇතිකොට ක්‍රමානුකූලව ගුරු සේවයේ පිහිටුවනු ලැබීය. 1997 වසරේදී සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා බී.සී. පෙරේරා වැටුප් කොමිෂන් සභාව පත් කළේය. එහි නිර්දේශ මත නිකුත් කෙරුණු 2/97 (iii) රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛයට අනුව අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප 60%ක් දක්වා වන ප්‍රතිශතයකින් ඉහළ ගියේය.

එහෙත් ගුරු සේවයේ වැටුප් සම්බන්ධයෙන් එහි සඳහන් වූයේ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය යන සේවාවන්ට අදාළ වැටුප් පරිමාණ පසුව දන්වනු ලබන බවටය. එහෙත් එය සිදුවූයේ නැත. 1994දී ගුරු සේවයේ පළමු ශ්‍රේණියටත්, විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියටත් හිමිවුණේ, දීප ව්‍යාප්ත සේවාවන් වන අධ්‍යාපන පරිපාලන සේවය, ඉංජිනේරු සේවය වැනි සේවාවන්ගේ පළමු ශ්‍රේණියට හිමිවූ වැටුපය. ගුරු සහ විදුහල්පති සේවාවන්ගේ පහළ ශ්‍රේණිවලට හිමිවුණේද දීප ව්‍යාප්ත සේවාවන්ගේ ඒ ඒ ශ්‍රේණි සඳහා ලබාදුන් වැටුපය. 1997 දී බී.සී. පෙරේරා වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව සැකසුනු 2/97 වැටුප් චක්‍රලේඛයට අනුව අනෙකුත් දීප ව්‍යාප්ත සේවාවන්ගේ එක් එක් ශ්‍රේණිවලට අදාළ වැටුප් ඉහළ ගියද, ගුරු සහ විදුහල්පති සේවයන්ගේ වැටුප් ඒ ඒ ශ්‍රේණිවලට අනුකූලව ඉහළ නොදැමුණි. එබැවින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව නිර්මාණය විය.

1997 වර්ෂයේ සිට ගතවූ වසර 25 තුළ රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛ සතරක් නිකුත්කොට පොදුවේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකළ නමුදු, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් නොකෙරිණි. 2021 ඔක්තෝබරයේ ගුරු විදුහල්පතිවරුන් කළ අරගලයේදී ඔවුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් ලබා දීමට ආණ්ඩුව පියවර ගත්තද ඉතිරි තුනෙන් දෙක ලබාදීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබිණි. ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීම සඳහා 2021 ජනවාරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිරේක ලේකම්වරියක වූ පී. කේ. එස්. සුබෝධිනී මහත්මියගේ  සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළ අතරබී. සී. පෙරේරා වැටුප් කොමිසමෙන් ඇතිවූ වැටුප් විෂමතාව ඉවත්කිරීමට යෝජනා විය. ගුරු විදුහල්පතිවරු 2021 විරෝධතා ව්‍යාපාරයක නිරත වූයේ එම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.

පසුගිය 24දා  ගුරු විදුහල්පතිවරුන් විරෝධතා පැවැත්වූයේ ඉල්ලීම් 6ක් මුල්කරගෙනය. ඉන් පළමුවැන්න වසර ගණනක් මුළුල්ලේ පවතින වැටුප් විෂමතාව නිවැරදිකර තමන්ට ලැබිය යුතු ඉතිරි තුනෙන් දෙක ලබාදෙන ලෙසය. අනිකුත් ඉල්ලීම් අතර අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම, පාසල් උපකරණ පොත්පත්, සපත්තු ආදිය සහන මිලට ලබාදීම, ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීම සඳහා 2021 වසරේ ඇමැති අනුකමිටුව මගින් ඉදිරිපත් කළ විසඳුම් යෝජනා ක්‍රියාත්මක කිරීම, විදුහල්පතිවරුන්ට රාජකාරි කටයුතු සඳහා දරන්නට වන ගමන් වියදම් සහ දුරකතන වියදම් සඳහා දීමනාවක් ලබාදීම සහ ආණ්ඩුව විසින් ගෙන එනු ලබන මර්දනකාරී අණපනත් හකුලා ගැනීම එම ඉල්ලීම් අතර වේ.

මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙලෙස සඳහන් කළේය. 

''අපේ වැටුප් විෂමතාව මේ වන විට වසර 26 තිස්සේ නිවැරදි කරලා නැහැ. 2021 අපි අරගල කරලා තුනෙක් එකක් ලබාගත්තා. තවත් තුනෙක් දෙකක් අපට ලැබිය යුතුයි.  අපේ ප්‍රධාන ඉල්ලීම් 6ට අමතරව ගුරුවරුන්ගේ උසස්වීම් සහ නිවාඩු සම්බන්ධයෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ගුරුසේවයේ උසස් වීම් ලබාදීම සඳහා මොඩියුල 20 කළ යුතුයි. එහෙත් අධ්‍යාපන අමාත්‍යංශය මෙම මොඩියුල ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු වැඩිපිළිවෙළක් සිදුකර නැහැ. උසස්වීම් ලබා ගැනීම සඳහා මෙම මොඩියුල අත්‍යවශ්‍ය බවට පසුගියදා චක්‍රලේඛයක් ඇවිත් තිබෙනවා. අපි මොඩියුලවලට විරුද්ධ නැහැ. වැඩපිළිවෙළක් නොමැතිව මෙවැනි චක්‍රලේඛයක් ගෙන ඒම වැරදියි. උසස් වීම් සඳහා වෘත්තීය සමාලෝචනයක්ද සිදු කරනවා. ඒ සම්බන්ධයෙන්ද කිසිදු වැඩපිළිවෙළක් හදන්නේ නැතිව ඒ සඳහාද චක්‍රලේඛයක් ඉදිරිපත් කර තිබෙනවා. මොඩියුල සහ වෘත්තීය සමාලෝචනය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න නොවෙයි ඒවා ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් - එනම් මේ වසර අවසන් වන තෙක් කාලය ලබා දෙන ලෙසට අපි ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති නව චක්‍රලේඛය මගින් ගුරුවරු තවදුරටත් පීඩාවට පත් කර තිබෙනවා. එම චක්‍රලේඛය අහෝසි කරන ලෙස අපි ඉල්ලීම් කර තිබෙනවා.'' යනුවෙන් සඳහන් කළේය.

ආණ්ඩුව ලබන 13දා ඉදිරිපත් කරන අයවැයේදී තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු කරනු ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති අපේක්ෂාවෙන් සිටියි. එසේ නොවුණහොත් නොවැම්බර් 13 වැනිදායින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ඔවුහු ප්‍රකාශ කරති. ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 13 වැනිදායින් පසු නිවේදනය කරන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02