2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

අතිකාල නැතුව පැය 12ක් වැඩ: අලුත් කම්කරු නීති එයි

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 351

අපේ රටේ කම්කරු නීතිය යනු වසර 100 කට වඩා පැරැණි නීතියකි. ඉන්දියානු කම්කරුවන් වෙනුවෙන් නීති අණ පනත් 18 කින් ඇරුඹී ඇති ලංකාවේ කම්කරු නීතිය මේ වන විට අණ පනත් ගොන්නකින් සමන්විත වී ඇත. 80-90 දශකවල සැකසී ඇති මෙම කම්කරු නීතිය වර්තමානයට උචිත පරිදි සංශෝධනය විය යුතු යැයි මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.

එදා මෙදා තුර කම්කරුවන් වෙනුවෙන් පැවති ප්‍රධාන නීති අණ පනත් 13 ක සංශෝධිත කරුණු ඇතුළත් කරමින් රජයේ සහ පෞද්ගලික සේවකයන් වෙනුවෙන් නව සේවා නියුක්ති පනතක් හඳුන්වා දීමට කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මුලපුරා තිබේ. කම්කරු අමාත්‍යංශය මේ වන විට ඒ සඳහා හාම්පුතුන්ගේ සංගමයෙන් සහ  වෘත්තීය සමිති නායකයන් ඇතුළු අදාළ පාර්ශ්වවලින් යෝජනා කැඳවා ඇත. මෙම නව සේවා නියුක්ති පනත් කෙටුම්පත සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද නොබෝදා හිමිවිය.

එහිදී 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත, 1941 අංක 27 දරන පඩි පාලක සභා ආඥා පනත, 1956 අංක 47 දරන ළමයින් කාන්තාවන් සහ තරුණයන් සේවයේ යෙදවීම පිළිබඳ පනත, 1939 අංක 32 දරන මාතෘ ප්‍රතිලාභ ආඥා පනත, 1950 අංක 43 දරන කාර්මික හා ආරවුල් පනත, 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනත, 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත, 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත, 1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත, 2005 අංක 36 දරන අයවැය සහන දීමනා පනත, 2016 අංක 03 දරන ජාතික අවම වේතන පනත, 2016 අංක 04 දරන අයවැය සහන දීමනා පනත, 2021 අංක 28 දරන විශ්‍රාම ගැනීමේ අවම වයස පනත යන පනත් 13 එක් නව කම්කරු පනතක් යටතට ගෙන ඒමට මෙයින් කටයුතු කර ඇත. 

නව සේවා නියුක්ති පනත මගින් සේවා ස්ථානය ඇතුළත වෙනස්කොට සැලකීම වැළැක්වීමත්, පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කර සැමට සමානව සලකන ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමත් සිදුවෙයි.  එසේම සේවා ස්ථානයේ හිරිහැරවලට ලක්වීම වැළැක්වීම සහ සියලුම ආකාරයේ ලිංගික හිංසන වැළැක්වීමත්, සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් සහ නම්‍යශීලී වැඩ කරන කාලයක් හඳුන්වා දීමත් යෝජිතය. පාරිතෝෂික ගෙවීමේදී දින 180 ක් සේවය කරන සෑම සේවකයකුටම මාස 6 ක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවටද යෝජනා කර තිබේ. එසේම වසර 5 ක අවම සේවා කාලසීමාවද නව සංකල්ප පත්‍රිකාව මගින් ඉවත් කර ඇත. අර්ධකාලීන රුකියා කිරීමට අවස්ථාව ලබාදීමේ නීතිමය ප්‍රතිපාදන සලසා දීම, කොන්දේසිවලට යටත්ව සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම, පීතෘ නිවාඩුවලට නීතිමය ප්‍රතිපාදන ලබාදීම, අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතියක් හඳුන්වා දීමටද යෝජිතය. එසේම නිවෙසේ සිට වැඩ කිරීමේ විධිමත් ක්‍රමයක් හඳුන්වා දීම, විදේශීය සේවකයන් ලංකාවේ සේවය කිරීමේදී එය විධිමත් කිරීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන ලබා දීම නියාමනයට නීති සැකසීම, පුහුණුවන ආධුනිකයන්ට අනන්‍ය නීති ප්‍රතිපාදන ලබා දීම, ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දීම සහ ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමද මෙම යෝජනාවලියට ඇතුළත්ය.

සේවකයන් විසින් සිදු කරන විෂමාචාර ක්‍රියාවලට අදාළ විනය කටයුතු සඳහා නිශ්චිත කාලයකදී අවසන් කිරීමට සේව්‍ය පාර්ශ්වය වගකියන ක්‍රමවේදයක් හඳුන්වා දීම, සේවකයන් සේවා ස්ථානයේදී සුරක්ෂිත බව සහ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන ලබා දීම, දුර්වල කාර්යසාධන මත ව්‍යාපාර ප්‍රතිසංවිධාන කරන විට සේවය අහිමිවන සේවකයන්ට වන්දි ලබා දීම සඳහා වේගවත් සරල ක්‍රමවේදයක් හඳුන්වා දීම, සේව්‍යයන් ස්වෙච්ඡාවෙන් සේවය හැර යාමේදී මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කළ යුතු බවට ප්‍රතිපාදන හඳුන්වා දීම, සේවා යෝජකයා සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් පිළිගන්නා ආකාරයට වෘත්තීය සමිති මගින් සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත්ද, වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිතිවලට යැවීම සඳහා සේවායෝජකයන්ට අනිවාර්ය කිරීම, සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ සේවක සෞඛ්‍ය සහ විරුකියාවකදී වන්දි ලබා දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සැකසීමට යෝජනා වී තිබේ. 
එසේම ඇණවුම්, අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර නොමැතිවීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතු මත කෙටිකාලීනව සේවය නතර කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම ආදිය එම යෝජිත කොන්දේසි අතර ප්‍රධාන වෙයි. 

මේ දක්වා සාමාජිකයන් 07 දෙනකුගෙන් නව වෘත්තීය සමිතියක් පිහිටුවීමට තිබූ හැකියාව අවම සාමාජික සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීමට නව පනතින් කටයුතු කර ඇත. 

සේවා නියුක්තිකයන්ට අතිකාල දීමනාවලින් තොරව ආහාර, විවේකය ඇතුළුව දිනකට පැය 12 ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ. අනියම් ස්වභාවයේ සේවයේ නිරත සේවා නියුක්තිකයන් හැර සේවයට බඳවා ගන්නා සියලු දෙනාටම සේවා කොන්දේසි ඇතුළත් පත්වීම් ලිපියක් ලබා දීම මෙයින් අනිවාර්ය කෙරෙයි. එසේම ගෘහ සේවය කම්කරු නීතියට ඇතුළත් කිරීමත්, එයින් ජීනිවාහි යෝජිත සී 189 ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කිරීමත් මෙම යෝජනාවලියේ අන්තර්ගතය.  මෙරට කම්කරු නීතියට නීත්‍යනුකූල හිමිකම් නොලබන සේවක කාණ්ඩ විශාල පිරිසක් මේ රටේ සිටිති. එම පිරිස වෙනුවෙන් මෙරට කම්කරු කොමසාරිස්වරයාට නීත්‍යනුකූලව පෙනී සිටීමට ප්‍රතිපාදන නොමැත. මෙවැනි පරිසරයක මෙරට පොදු සම්මත කම්කරු නීතියක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලි වෙයි. 

1919 වසරේදී ඇමෙරිකානු ආධාරයෙන් මෙරට කම්කරු නීතියක් හඳුන්වා දීමට උත්සාහ කළද එම අවස්ථාවේදී මෙරට සියලු වෘත්තීය සමිති එම කම්කරු පනතට විරෝධය දක්වා ඇත. 1980 දශකයේ සිට කම්කරු උපදේශක සභා සාමාජික ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර පැවසූවේ නවීන වැඩ ලෝකයේ වෙනස්වීමට සමගාමීව කම්කරු නීතිරීති වෙනස් විය යුතු බවත් එකී සාධනීය යෝජනාවලට තමන් ඇතුළු සියලු වෘත්තීය සමිති පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.

“කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට ලංකාවේ කම්කරු නීතිය සංශෝධනය විය යුතු බව කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් සිටින දෙයක්. කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන්න නම් වැඩබිම් හෝ එකී ආයතන ආරක්ෂා වන්නට ඕනෑ. රටේ පොදු නීතියකට කම්කරු නීතිය ගෙනෙන්න ඕනෑ. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන්නේ පෞද්ගලික අංශය පමණයි. හාම්පුතුන්ගේ සංගමයේ නියෝජනයක් තිබුණාට වෘත්තීය සමිති නියෝජනයක් තියෙන්නේ පෞද්ගලික අංශ නියෝජනයක් පමණයි. ජාතික සභාවක් පෞද්ගලික අංශය පමණක් නියෝජනය වෙන්න බෑ. රජයේ නියෝජනයක් තියෙන්න ඕනෑ. මෙය කාලයක ඉඳන් තියෙන  ප්‍රශ්නයක්. එහෙයින් ලංකාවේ කම්කරු නීතිය සංශෝධනය විය යුතුයි. රාජ්‍ය සේවකයකු රුකියාවෙන් පහ කළොත් හෝ යමකුට අනතුරක් වුවහොත් පැමිණිලි කරන්න ස්වාධීන ආයතනයක් නෑ. සෞඛ්‍ය සේවකයකු රුකියාවෙන් පහ කළොත් ඔහුගේ අභියාචනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවන්න තියෙන්නෙත් අස් කරන ලියුමට අත්සන් ගහපු සෞඛ්‍ය ලේකම් හරහාමයි. පෞද්ගලික, අර්ධ රාජ්‍ය අංශයට ආරවුල් බේරුම් කිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා. කම්කරු උසාවි තියෙනවා. කම්කරු කොමසාරිස් ඉන්නවා. රජයේ යාන්ත්‍රණයේ බරපතළ ගැටලුවක් කාලයක ඉඳන් තියෙනවා. මේවා හැදෙන්න ඕනෑ.” යැයිද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙන් රටවල් නැගුණේය. ඒ මිනිසුන්ගේ  මළගම වෙනුවෙන් සුදු කොඩි නැගුණේ මොන රජ මැඳුරේදැයි අපි ප්‍රශ්න කරමු. එසේම  රජ දරුවන්ට සැප විඳින්නට මන්දිර මැවූවන්ගේ දුක දැකගන්නට පැලට ආවේ මොන රජ දරුවාද කියාත් අපි සැමදා ප්‍රශ්න කරමු.  

එහෙව් කාලයක මෙම නව කම්කරු පනත ඇරැඹීමේ උදාර කර්තව්‍ය මෙරට සුවහසක් ජනයාගේ හිතසුව පිණිසම සද්භාවයෙන් බලධාරීන් සිදුකරනවා යැයි අපි තරයේ විශ්වාස කරමු. එසේ වුවහොත් මෙරට බලධාරීන් දුක් විඳින ජනතාව වෙනුවෙන් නැගූ සටනක් ලෙස මෙම ප්‍රයත්නය ඉතිහාසගත වනු නොඅනුමානය. එය මේ පුණ්‍ය භූමිය චිකාගෝවක් නොවන්නට හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

I සසංක චලන ගිම්හාන