2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

මාස 11කට පසු එළියට ආ ෂාෆ්ටර් මරණයේ අබිරහස

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 157

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අමානුෂික ලෙස පහර දී ඇතැයි වාර්තා වූයේ බොරැල්ල කනත්ත තුළ පාළු ස්ථානයකදීය. යම් අයකු හෝ පිරිසක් සැලසුම් සහගතව ඔහුට පහරදී ඝාතනය කරන්නට උත්සාහ දරා ඇති බවට සැක කෙරිණ. පහර කෑමෙන් පසුව අසාධ්‍යව සිටි  ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය. ඒ මීට මාස එකොළහකට ඉහතදීය.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන අරඹා අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ. විමර්ශන කණ්ඩායම් සැකකළේ ෂාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල කනත්ත දක්වා රැගෙන ගොස් පහර දී ඝාතනය කරන්නට උත්සාහ දරා තිබෙන බවකි. ඔහු සිය දිවි නසාගත් බවටද සැකයක් තිබිණි.

මෙම අභිරහස් සිද්ධියෙන් මාස එකොළහකට පසුව ඉකුත් පළමුවැනිදා ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අධිකරණය විසින් ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් නිසා සිදුවී ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. ඒ නිසා මෙම සිද්ධියේදී අපරාධයක් සිදුවී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය. මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ වාර්තාවන් හා ඒ පිළිබඳව සොයාබැලීම සඳහා අධිකරණය විසින් පත් කෙරුණු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාවන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නාය.

අධිකරණය විසින් පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයන්ගේ මතය 4 :1 ලෙස සඳහන්ව තිබූ බවත් එය මෙම තීන්දුව සඳහා පදනම් කරගත් බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය.
ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය. එමෙන්ම නැවත මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 20 වැනිදා කැඳවීමට නියෝග කෙරුණු අතර එදිනට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මේ අතර විමර්ශන කටයුතු සඳහා ගොඩගනු ලැබූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය කොළඹ ජාවත්ත ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක භූමදානය කිරීම සඳහා  මහේස්ත්‍රාත්වරිය විසින් පසුගිය 31දා ඔහුගේ ඥාතීන්ට අවසර ලබාදෙනු ලැබීය. ඒ දේහය භූමදාන කිරීමට පමණක් අවසර දෙන ලෙසට විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවය. ඒ අනුව දැනට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ රඳවා තිබෙන දේහය මරණකරුගේ ඥාතීන් වෙත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය මීට පෙර නිකුත් කළ නියෝගයේ සඳහන්ය. එහි දැක්වෙන්නේ ෂාෆ්ටර් මහතාගේ බිරිය ජාවත්ත සුසාන භූමියෙන් මිලට ගෙන වෙන්කළ බිමිකඩෙහි දේහය භූමදානය කළයුතු බවය. එසේම මරණකරුගේ සහෝදරයා වන රමේෂ් ෂාෆ්ටර් සහ මස්සිනා වන ජේම්ස් මැතිව් යන දෙදෙනාගෙන් අයකුට දේහය මුදාහරින ලෙසද නියෝග කොට තිබිණි. මෙම විශේෂඥ වෛද්‍ය කමිටුවේ සභාපති වශයෙන් මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා කටයුතු කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් දෙපා බැඳ ප්ලාස්ටික් පටියකින් ගෙල සිරවී බරපතළ තත්ත්වයේ සිටියදී 2022 වසරේ දෙසැම්බර් 15 වැනිදා රාත්‍රියේ සොයාගෙන තිබුණේ බොරැල්ල කනත්ත තුළ සිටියදීය. අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය. දේහය පිළිබඳ පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ ෂාෆ්ටර් මහතාගේ මරණය තන්තුවකින් ගෙල සිරකිරීමෙන් සිදුව ඇති බවය. අනතුරුව මරණය සම්බන්ධයෙන් නොයෙක් මත පළවූ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පුළුල් කළේ මරණයට හේතුව සෙවීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්ද පත් කළේය. ඒ අතරතුර ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකෙරිණ. පසුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය තීරණය කරණු ලැබුවේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර යළි ගොඩ ගැනීමටය. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් මතය. පසුව දේහය කරාපිටිය රෝහල වෙත රැගෙන යනු ලැබීය. එහිදී ලබාගත් වාර්තාව සහ ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ තිබී සොයාගත් භාණ්ඩවලට අදාළ රස පරීක්ෂක වාර්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් වන මුද්‍රා තැබූ වාර්තාව ඉකුත් 31දා අධිකරණයට බාරදුන්නේය. ඒ අනුව සියලු වාර්තා සලකා බලා ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ ඉහත තීන්දුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

සැකකටයුතු මරණය පිළිබඳව මූලික විමර්ශන බොරැල්ල පොලීසිය සිදුකළේය. ෂාෆ්ටර් මහතා මෝටර් රථයේ වැටී සිටි බව ප්‍රථමයෙන් දුටු ජනශක්ති සමාගමේ නිලධාරියාගෙන් හා ඔහුට සහාය වූ බව කියන සුසාන භූමියේ සේවකයකුගෙන් බොරැල්ල පොලිසිය ප්‍රකාශය සටහන් කරගත්තේය. එහිදී සුසාන භූමියේ සේවකයා පවසා ඇත්තේ අදාළ සිදුවීමට මොහොතකට පෙර සැකකටයුතු මෝටර් රථය අසල සිට නාඳුනන කෙනකු ඇවිද යන බව දුටු බවකි. වැඩිදුර පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෑතකදී යම් පුද්ගලයකු විසින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාගෙන තිබෙන බවය. එසේ ණය ලබාදුන් පුද්ගලයා ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු බවටද හඳුනාගෙන තිබිණි. එම ණය මුදල නැවත ලබා නොදීම සම්බන්ධයෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවස්ථා තුනකදී පැමිණිලි යොමුකර තිබෙන බවද වාර්තා විය. පහරදීම ඝාතනය හා එම ගනුදෙනුව පිළිබඳව සබඳතාවක් හෙළිදරව් වී නැතත් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විශේෂ කණ්ඩායමක් විමර්ශන සිදුකරමින් සිටී. ඒ අනුව මෙකී මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස එකොළහක් තිස්සේ විමර්ශන සිදුකරන නමුත් ඊට අදාළව කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05