2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

රටපුරා පන්දම් විරෝධය!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 66

 නැවත අරගලයක් එයිද? 

පන්දම් උද්ඝෝෂණ මේ රටට අමුතු විරෝධතාවක් නොවේ. පන්දම් විරෝධතා හැමදාම විවිධ හේතු මත මේ රටේ ක්‍රියාත්මක වුණු අතර ඒවා පැවැති ආණ්ඩුවලට එතරම් සුවදායක වුණේ නැති බවද කිව යුතුමය. මෑත ඉතිහාසයේ ගතහොත්, වසර දහයකට පෙර පන්දම් විරෝධයක් අපට දැකගැනීමට හැකි වුණේ එවකට ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම වෙනුවෙනි. ඉන් අනතුරුව එවැනි විරෝධයක් ඇතිවුණේ එවකට රාජපක්ෂ ආණ්ඩුව විසින් තම බලය වැඩිකර ගැනීම සඳහා සිදු කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවය. ඊට පසුව නැවතත් 2013 වසරේ අප්‍රේල් මාසයේ රාජපක්ෂ ආණ්ඩුව විසින් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පන්දම් විරෝධයක් මතු විය. අවසානයේ වසර පහක විරෝධය අවසන් වූයේ 2015 ජනවාරි 08 රාජපක්ෂ රෙජිමය යහපාලන අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට පරාජය වෙමිනි.

නැවත පන්දම් විරෝධයක් මතුවූයේ  2022 පෙබරවාරි, මාර්තු මාසවල සිටය. ගෑස් නැති වීමත්, විදුලි කප්පදුවත් මත පන්දම් විරෝධය රට පුරා දියත් විය. අවසානයේ පන්දම් විරෝධය අවසන් වුණේ 2022 ජූලි 09දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය අත්හැරදා යාමත් සමඟය. එතැනින් පසුව පන්දම් විරෝධයක් අපට දකින්නට නොවීය. කෙසේ වෙතත් මේ කතාව පසුගිය සතියේ සිට වෙනස් විය. ඒ පන්දම් විරෝධය ක්‍රමයෙන් නැවත ඉස්මතු වීම හරහාය. කෙසේ වෙතත් මෙවර පන්දම් විරෝධය ආණ්ඩුවට හෙනයක් වේවිද? නැත්නම් දියාරු වේවිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයකු නොවුණද ඔහුගේ මීළඟ අරමුණ වන්නේ කෙසේ හෝ එළඹෙන වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමය. ඒ නිසා දේශපාලනඥයකු ලෙස ජනතාවට විවිධ සහන දීම මේ මොහොතේ එකම ඡන්ද වාසිය වුණත් රනිල් වික්‍රමසිංහ මහතාට එය සිදු කිරීමට තවම හැකියාවක් ලැබී නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් යම් යෝජනා නිසා ජනතාවට බර දරන්නට සිදුවන බව කියමින් ජනතාව මත දිගින් දිගටම බර පැටවීම හැර ඔහුට මේ වන තෙක් කිරීමට කිසිවක් ඉතුරු වී නැත.

අරක අඩු කරන්නම්, මේක අඩු කරන්නම් කියමින් කාලයක් ජනතාවට විවිධ පොරොන්දු දීමට පාලකයාට හැකිවුණත්, අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තමන්ගේ හැකියාව ලෙස කීමට සිදුවී ඇත්තේ එකල ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමඟ වර්තමානය සසඳමින් දැන් පෝලිම් නෑ සහ විදුලිය බිඳවැටීමකින් තොරව ලබාදුන් බව පැවසීමය. ඒ හැර ඔහුට කියන්න දෙයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතිරි කර නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රෙගුලාසි බවට කියමින් වර්තමාන ආණ්ඩුව දෙවතාවක් මේ වසරේ විදුලි බිල වැඩි කළේය. ඒ අවස්ථා දෙකේම වැඩිවීම සිදුවූයේ ජනතාවට දරාගැනීමට නොහැකි ප්‍රමාණයකින් බව අමුතුවෙන් කිව යුතු නැත. එපමණක් නොව වතුර බිලද වැඩි කෙරිණි. තෙල් මිලද වැඩි විය. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම බලශක්තිය සඳහා දීමට හැකි උපරිම ප්‍රහාරය වර්තමාන ආණ්ඩුව විසින් මේ වන විට ජනතාවට එල්ල කර ඇත. ආණ්ඩුව වෙනුවෙන් විවිධ අනාවැකි පළ කරන විවිධ ආර්ථික ඔස්තාර්ලා සඳහන් කරන්නේ දැන් එන්න එන්න උද්ධමනය අඩුවෙමින් යන බවය. ආදායම අඩුම පවුලක, වියදම එන්න එන්න තුන් ගුණයකින් වැඩිවන විට උද්ධමනය අඩුවන්නේ කෙසේද යන්න රටේ සාමාන්‍ය ජනයාට ප්‍රශ්නයකි. ඇත්තටම ආණ්ඩු විරෝධය ඇතිවීමට එක් හේතුවක් වන්නේ එවැනි මුග්ධ ප්‍රකාශ සිදු කිරීමය.

ජනතාව අන්ත අසරණ වී ඇති මොහොතක මේ රටේ පාලකයන් ජනතාව මත පටවන බර සුළු පටු නැත. දවසකට හෝ බත් කෑ අය නොකිව යුතු කතා කියන්නට තරම් පාලකයන්ට ජනතාව විහිළුවක් වී ඇත. දෙවැනි වර විදුලි බිල ඉහළ දැමූ මොහොතේ විදුලි බිල අඩු කළ හැකි බවට වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ජනාධිපතිවරණය සඳහා විශාල පිරිසක් තරග වැදුණොත් බිලියන ගාණක් වැයවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ඒ ඉතිරි වන මුදලින් විදුලි බිල අඩු කළ හැකි බවත්ය. එය කෙතරම් අශිෂ්ට ප්‍රකාශයක්ද යන්න දන්නේ වලේ වැටී සිටින මහජනතාවමය.

කෙසේ වෙතත් එවැනි ප්‍රකාශ කරමින් ජනතාවගේ ඉවසීමේ ගුණය පරීක්ෂා කළ පාලකයෝ පසුගියදා තවත් තීන්දුවක් ලබාගත්හ. කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මාස තුනකට වතාවක් ලයිට් බිල සංශෝධනය කිරීමටය. ලංකාවේ වැඩිවුණු කිසිවක මිල අඩුවීමක් නැති බැවින් ඒ ගැන එතරම් බලාපොරොත්තු තබාගැනීමේ ප්‍රතිඵලයක් නැත. කෙසේ වෙතත් 18% කින් දෙවැනි වර විදුලි බිල වැඩිවීම ජනතාව එතරම් ඉවසීමෙන් බාරගන්නට සූදානම් වුයේ නැත. ඒ නිසාම ජනතාවගේ නොඉවසීම අවස්ථාව කරගත් විපක්ෂය ජනතාව සමඟ පාරට ඒම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් මාසයේ අවසානයේ සිටය.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් එක්ව මේ වන විට දිවයින පුරා පන්දම් උද්ඝෝෂණ ක්‍රියාත්මක කරමින් සිටී. ඒ තම පාක්ෂිකයන් සමඟය. කෙසේ වෙතත් මෙය තවත් තීව්ර වනු ඇත්තේ මේ මස මැද සිටය. ජනතාවට වැඩිවන 18% ක විදුලි බිලත් සමඟ එය දරාගැනීමට නොහැකිව පක්ෂ භේදයකින් තොරව ඔවුන් තවදුරටත් එම විරෝධය නිසැකවම පළ කරනු ඇත. එය පුදුමයක් නොවේ. ඊට අමතරව වෘත්තීය සමිති විසින් ගෙන යන පඩි වැඩි කිරීමේ උද්ඝෝෂණ, වැඩවර්ජනද ලබන වසරේ ඉහළ දමන වැට් බද්ද හා ඇතිවන ජීවන බරට එරෙහිවද ජනතාව එක් රොක්වනු ඇත.

විශේෂයෙන් ජනතා අරගලයක මූලික ආරම්භය සිදුවන්නේ බලශක්ති ප්‍රශ්න මතය. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට පවා බලපෑවේ එවැනිම බලශක්ති අර්බුදයකි. ඒ නිසා මෙම ආණ්ඩුව සම්බන්ධයෙන්ද ඉස්මතු වී එන්නේ බලශක්තිය සම්බන්ධයෙන් වන ගැටලුවක් බව ආර්ථික ඔස්තාර්ලා තේරුම් ගත යුතුය. විදුලි බිල, තෙල් ගාස්තු එකට එකක් වැඩි කිරීම මත සිදුවන පීඩනය සුළුපටු නැත. එම පීඩනය පිටකර ගන්නට ජනතාව නියත වශයෙන් පාරට එනු ඇත, ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ මුග්ධ ප්‍රකාශ මත තවත් තවත් ජනතාවගේ ඉවසීමේ ගුණය නොපවතිනු ඇත. ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා එළඹෙන වසරේ බලය ලබාගැනීමට ඡන්දයකට යාමට සූදානම් වේ නම් එය එතරම් සුබදායක වන්නේ නැත.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. පාලකයෝ උද්ඝෝෂණය කරන්නන්ගේ කට වැසීමට රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරති. එසේ වැඩි කරන්නේ බදු වැඩි කරමිනි. එම ගණන් ජිල්මාට් නොදන්නා මිනිස්සු දැන් ලංකාවේ නැත. අනෙක නම් උද්ඝෝෂණය කරන ජනතාව සම්බන්ධයෙන් පාලකයන්ගේ මතය වන්නේ ඒවා දේශපාලන උවමනා එපාකම් මත සිදුවන බවය. නැත්නම් රජය කඩාකප්පල් කිරීමට බවය. එසේ කියමින් පාලකයන් පවසන්නේ ඉවසා සිටින ලෙසය. තවත් අවස්ථාවක් ඔවුන්ට ලබා දෙන ලෙසය. සැබැවින්ම පාලකයන්ගෙන් අසන්නට ඇත්තේ එක දෙයකි. මෙලෙස ආර්ථිකය විනාශ කළේ අපිද? අපේ තීරණද? අපි කෙතරම් කාලයක් කෙසේ ඉවසන්නද කියා පමණි.

විදුලි බිල බස්සනකම් අපි උද්ඝෝෂණයේ
තිස්ස අත්තනායක - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

ඇත්තටම විදුලි බිල අඩුකරන කල් අපි උද්ඝෝෂණය ක්‍රියාත්මක කරනවා. අපේ පාක්ෂිකයන්ට දැනුම් දීලා තියෙන්නේ හැම කොට්ඨාසයකම උද්ඝෝෂණ විරෝධතා සිද්ධ කරන්න කියලා. ජලාශ පිරිලා උතුරනවා. ඉතින් මණ්ඩලයට පුළුවන් වහාම විදුලි බිල අඩු කරලා ජනතාවට සහන දෙන්න. අපි ඒ වගේම කියනවා මණ්ඩලයේ අනවශ්‍ය වියදම් කපා හරින්න. ඒ සියල්ල එහෙම තියාගෙන ජනතාවගෙන් ඒ බර අල්ලන එක වැරදියි.

මේ පාලකයන්ට අපි බය නැහැ දිගටම උද්ඝෝෂණ කරනවා
සුනිල් හඳුන්නෙත්ති - ජාතික ජන බලවේගය

විදුලි බිල මේ වෙද්දි ජනතාවට දරන්න බෑ. බහුතර දේශපාලනඥයෝ විදුලි බිලට පොලු තියලා තියෙනකොට ඒ පාඩුව මකාගන්න ජනතාවගේ බෙල්ල හිර කරන එක ඉතාම නින්දිත වැඩක්. අයි.එම්.එෆ් කිය කියා ජනතාව හිර කර කර පාලකයන් විසින් කරන්නේ මේ පාලකයන් විසින් නැති කරපු ආර්ථිකය ගොඩනගන්න. මොන විහිළුද මේ. ඒ නිසා අපි දිගටම ජනතා විරෝධය කරගෙන යනවා. තවදුරටත් අපි පාලකයන්ගේ පීඩනයට නතු වෙන්නේ නෑ.

I ගයාන් ගාල්ලගේ