2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

වැහෙන්න යන පුංචි ෆාමසි

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 67

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින විවිධ ගැටලු පිළිබඳ විවිධාකාර පුවත් වාර්තා වෙමින් තිබේ. මේ අතර පාඩු ලබන පෞද්ගලික ඖෂධ ශාලා වැසී යාමේ අවදානමක් පිළිබඳවද පසුගියදා දැනගැනීමට ලැබුණි. ඖෂධ අලෙවියෙන් ප්‍රමාණවත් ලාභයක් ඖෂධ ශාලා හිමියන් වෙත නොලැබීමත්, විදුලි  ගාස්තු අධික ලෙස ඉහළ යාමත් හේතු කොටගෙන මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි කියැවේ. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම ගන්කන්ද මහතාව අපි සම්බන්ධ කර ගතිමු. දැනටමත් පෞද්ගලික ඖෂධ ශාලා අතරෙන් සියයට එකක දෙකක ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත්, ඉදිරියේදී තත්ත්වය බරපතළ විය හැකි බවත් චන්දිම ගන්කන්ද මහතා කියා සිටියි. 

“ඖෂධ ශාලාවක් කියලා කියන්නේ දැඩි නියාමනයකට යටත් වන තැනක්. ඒ කාලෙ තිබුණු ලාභාංශම තමා තාමත් අපිට තියෙන්නෙ. ඖෂධ මිල වැඩි වුණත් අමතර ලාභයක් ඖෂධ ශාලා හිමියන්ට ලැබෙන්නේ නෑ. නමුත් හදිසි මිල පාලනයක් දැම්මොත් ඒ අඩුකිරීම ඖෂධ ශාලා හිමියා දරාගන්න ඕනෑ."

පසුගිය කාලයේ සිදුවූ ඖෂධ මිල ගණන් වැඩි වීමේදී ඖෂධ ශාලා වෙතටම පැමිණ සැපයුම් ආයතන සිය ඖෂධවල මිල ගණන් වෙනස් කොට තිබේ. ඒත් ඔවුන් ලාභාංශයේ කිසිදු වෙනසක් සිදු කර නොමැත. දිගින් දිගටම සිදුවූ මෙවන් අකටයුතුකම් හමුවේ ඖෂධ ශාලා පීඩාවට පත්වී ඇති බව චන්දිම ගන්කන්ද මහතා පෙන්වා දෙයි.

“විදුලිය ප්‍රමුඛ ගාස්තු වැඩිවීම්වලිනුත් ඖෂධ ශාලා පීඩා විඳිනවා. දැඩිව නියාමනය වන ආයතන විදිහට ඖෂධ ශාලා අනිවාර් යෙන්ම වායුසමනය කිරීමට බැඳී ඉන්නවා. පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම විදුලි ගාස්තු වැඩි වුණා. දැන් පෞද්ගලික ඖෂධ ශාලා විදුලි බිල් දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. කුඩා ඖෂධ ශාලාවකට පවා රුපියල් ලක්ෂයකට ආසන්න බිලක් ගෙවීමට සිදුවෙලා."

ගාස්තු වැඩිවීම සේම සේවක වැටුප්, බදු ආදිය හේතුවෙන් ද ඖෂධ ශාලා පීඩාවට පත්ව තිබේ. පිටතින් බලන කෙනකුට රන් ආකරයක් සේ පෙනුණද වගකීම් අධික මෙම ව්‍යාපාරය වර්තමානයේදී විශාල අර්බුද රුසකට මුහුණ පා ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

“අපිට දැනට තිබෙන ලාභයත් ඇතැම් සමාගම් අඩු කරමින් සිටිනවා. තමන් පාඩු ලබන බව කියමින් ඔවුන් හිතුමතේ ලාභාංශ අඩු කරනවා. දැඩිව නියාමනයට ලක්වන වගකීමෙන් කටයුතු කරන අපිට, ඇත්තටම සමාගම්වලට ඕනෑ විදියට කටයුතු කරන්න බැහැ. මෙතන ඖෂධ මිල සම්බන්ධව නිසි නියාමන ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේකට විසඳුම තමා ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම."

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ ඖෂධ සඳහා පාර්ශ්වකරුවන් ත්‍රිත්වයේ එකඟත්වයෙන් මිල සූත්‍රයක් ක්‍රියාත්මක විය යුතු බව සඳහන්ව ඇතැයි චන්දිම ගන්කන්ද මහතා සිහිපත් කරයි. කෙසේ වෙතත් ඉකුත් වසර 8 පුරාම මේ පිළිබඳ විවිධාකාරයේ සාකච්ඡා තිබූ නමුත් මෙම මිල සූත්‍රය තවමත් ක්‍රියාත්මක වී නොමැත. සමාගම් සිය අභිමතය පරිදි ඖෂධ මිල වැඩි කරන්නේ ද ලාභාංශ අඩු කරන්නේ ද මිල සුත්‍රය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතු කොටගෙනය.

“අපි සංගමයක් විදියට දිගින් දිගටම ඉල්ලා සිටියා මිල සූත්‍රයක් ඇති කරන්න කියලා. නමුත් පසුගිය කාලය පුරාවටම ඒ දේවල් නිසියාකාරයෙන් සිද්ධ වුණේ නෑ. කොහොම නමුත් දැන් අලුත් මිල කමිටුවක් නිර්මාණය වෙලා තියෙනවා. මිල සූත්‍රයක් හැදීගෙන යනවා. ඒ පිළිබඳ අපිට සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා. මේක නිසි අයුරින් ක්‍රියාත්මක වුණොත් රටේ ජනතාවටත් විශාල වාසියක් අත්වෙනවා."

කෙසේ වෙතත් ඖෂධ මිල සම්බන්ධයෙන් අධික ලාභ ලැබීමේ යාන්ත්‍රණය අනුගමනය කරන්නේ මහා පරිමාණ සමාගම් නොව කුඩා සහ මධ්‍ය පරිමාණයෙන් ඖෂධ ආනයනය කොට බෙදාහරින සමාගම් බව පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම ගන්කන්ද මහතා කියා සිටියි.

“සීයට දෙසීය තුන්සීය හාරසීය මිල අල්ලන්නේ මේ අය. මේ අය කොහොම හරි සමාගමක් ලියාපදිංචි කරගෙන, ප්‍රමිතියකින් තොර නිෂ්පාදන රටට ගෙනල්ල විශාල ලාභයක් ලබනවා. මේ තත්ත්වය මත මිල සූත්‍රයක් හඳුන්වාදීම හරහා පැහැදිලි විසඳුමක් ලැබෙනවා. ආනයනකරුවන්ට තබාගත හැකි ලාභාංශ පැහැදිලි වෙනවා. තොග වෙළෙඳුන්ට, සිල්ලර වෙළෙන්ඳන්ට තබාගත හැකි ලාභාංශය පැහැදිලි වෙනවා."

රට තුළ දැනට ඖෂධ නාමයන් 1200 ක් පමණ තිබේ. දැනට පවතින මිල පාලනයට යටත් වී ඇත්තේ ඒ අතරින් ඖෂධ වර්ග 60ක් පමණි. ඉතිරි ඖෂධවල මිල කිසිදු පාලනයකින් තොරව සමාගම් විසින් තීරණය කරමින් පවතී.

“කොහොම නමුත් දැනට පවතින මිල පාලනයත් රටේ ආර්ථික තත්ත්වයත් එක්ක යහපත් විසඳුමක් නෙවෙයි. ඖෂධවල තත්ත්වයට ඒක අයහපත් විදියට බලපාල තියෙනවා. ඔරිජිනල් සමාගම්, ඒ කියන්නේ ඖෂධ වර්ග සොයාගෙන නිෂ්පාදනය කරන ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යන සමාගම් රට හැර යමින් ඉන්නවා. ඒ සමඟම ඖෂධ සඳහා අනුකාරක ලෙස ඉන්දියාව, පකිස්ථානය ආදී රට නිෂ්පාදිත ඖෂධ මෙරටට එන්න පටන් අරගෙන තියෙනවා. මේක යහපත් තත්ත්වයක් නෙවෙයි."

මිල පාලනයට යටත් කළ ඖෂධ වර්ග 60 සම්බන්ධයෙන් මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බවද ගන්කන්ද මහතා කියා සිටියි. මෙම ඖෂධ මිල පාලනය යම්කිසි ක්‍රමවේදයකට යටත්ව, ඉදිරි කාලයකදී මිල සූත්‍රයටම අන්තර්ගත කිරීම සුදුසු බව ඔහුගේ අදහසයි.

“ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු විවිධ නියාමන ආයතනවලින් ඖෂධ ශාලා නියාමනයට ලක්වෙනවා. සිදුවන වැරුද්දකදී පවා පුවත්පත් දැන්වීම් කිහිපයක් පළ කරලා අපි සමාව අයැදිය යුතුයි. ඒ නිසාම මීට වඩා අවධානයක් අපේ ගැටලු වෙත ලැබිය යුතුයි. කොහොම නමුත් රටේ ජනතාවට වගේම, ඖෂධ ශාලාවලටත් සාධාරණයක් වීම තමා අපේ අපේක්ෂාව."

ඒ අනුව  ආනයනකරුගේ ලාභය, තොග බෙදාහරින්නන්ගේ ලාභය හා ඔසුසල් හිමියන්ගේ ලාභය ඇතුළත් කර සියලු‍ම ඖෂධ වර්ග මිල නියාමනයකට ලක් කර ජනතාවට සහන ලබා දිය යුතු බව පෞද්ගලික ඖෂධ ශාලා හිමියෝ පවසති.

I චමිඳු නිසල් ද සිල්වා