ඔහු නමින් ලොකුලියනගේ දයානන්දය. මහනුවර හෑදෙණිය ප්‍රදේශයේ ජීවත්වන දයානන්ද චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍ර කලාව තුළ අපූරු හැකියාවක් ගැබ්ව තිබේ. එය බොහෝ චිත්‍ර ශිල්පීන්ට නොතිබෙන අපූරු හැකියාවකි. ඔහු චිත්‍ර අඳින්නේ කුඩා සහල් ඇටයකය. එසේත් නැත්නම් පැන්සල් තුඩෙහි ඔහු අපූරු රූප කැටයම් කරන්නේය.
''චිත්‍රවලට මම පුංචි කාලේ ඉඳන්ම හරි කැමැතියි. මගේ තාත්තාටත් චිත්‍ර අඳින්න පුළුවන්. ඒ තාත්තාගේ ආභාෂයත් එක්ක මම පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර ඇන්දා. ටිකින් ටික ඒ හැකියාවන් වැඩිදියුණු වුණා. මම ඉගෙන ගත්තේ නුගවෙල මධ්‍ය විදුහලෙන්. පාසලේදීත් මම චිත්‍ර කලාව හැදෑරුවා. උසස් පෙළ විෂයයක් ලෙසින් මම චිත්‍ර කලාව ප්‍රගුණ කළා.'' යැයි දයානන්ද තම හැකියාවන් පිළිබඳ අතීතය දේශය පිටු අතරට එක්කරමින් පැවසීය.
පාසල් අධ්‍යාපනයෙන් පසුව දයානන්දගෙන් චිත්‍ර කලාව මඟහැරිණි. ටික කාලයකට පසුව නැවතත් ඔහු පින්සල අතට ගත්තේය. 2010 වසරේදී ඔහු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවේය. චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමෙන් පසුව දයානන්ද රැකියාවක් සඳහා විදෙස්ගතවිය. ඒ සමඟම ඔහුගෙන් නැවතත් චිත්‍ර කලාව යම් දුරකට ඈත්ව ගියේය. ඔහු තමන්ගේ පින්සල් සියල්ලටම තාවකාලික විරාමයක් දුන්නේය. වසර හයක කාලයක්ම ඔහු විදෙස් රැකියාව වෙනුවෙන් තම කාලය වෙන් කළේය.
2016 වසරේදී දයානන්ද නැවතත් ලංකාවට පැමිණියේය. ඔහු සංචාරක සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරිකයෙක් බවට පත්වූයේ එතැන් සිටය. ඒ අතරතුරේදී පාස්කු ප්‍රහාරයක් සමඟ ඔහුගේ ව්‍යාපාරය අඩපණ වුණි. එයින් දයානන්දට යම් කලකිරීමක් ඉතිරි විය. මේ අතරේ ජීවිතේ කාලෙන් කාලයට යට යමින්, ඉස්මතු වෙමින් පැවැති දයානන්දගේ හැකියාවන් ගැන ඔහුටම විශ්වාසයක් ඇතිවී තිබුණි. සියල්ල නැතිවී යද්දී තම හැකියාවන් තමන් අත්නොහරින බව දයානන්දට විශ්වාසය. ඒ නිසාම අතහැර දමා තිබූ පින්සල්, වර්ණවලට යම් වටිනාකමක් ලබාදීමට දයානන්ද සූදානම් වූයේ.
''ව්‍යාපාරයත් කඩා වැටුණු නිසා මගේ ඇඟේ තිබුණ කලාවෙන් යම් ප්‍රයෝජනයක් ලබාගන්න මට ඕන වුණා. හැබැයි ඒ හැකියාව වෙනස් විදිහට ගන්න තමයි මම උත්සාහ ගත්තේ. හැමතැනම වර්ණවලින් චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන්, චිත්‍ර ශිල්පිණියන් ඉන්නවනේ. ඒ නිසා මට වෙනස් විදිහේ දෙයක් කරන්න ඕන වුණා. ඒ සම්බන්ධයෙන් මම අන්තර්ජාලය ඔස්සේ බොහෝ සොයාබැලීම් කළා. ලෝකයේ චිත්‍ර ශිල්පීන් අලුතින් සොයාගෙන තිබෙන දේවල් සම්බන්ධයෙන් මම සොයාබැලීම් කළා.'' දයානන්ද දේශයට පැවසීය.
මේ සොයාබැලීම් අතරේ පැන්සල් තුඩ මත කැටයම් කිරීම සම්බන්ධයෙන් දයානන්දගේ හිත නතරවුණි. මේ කලාවට වැඩි නැඹුරුවක් දක්වා ඇත්තේ විදෙස් චිත්‍ර ශිල්පීන්ය. ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමත් සමඟ ''ඒ අයට කරන්න පුළුවන් නම් අපිට බැරි ඇයි'' යැයි දයානන්දගේ හිත ඔහුටම පැවසුවේය. 2019 වසර අගදී පමණ ඒ කලාව සම්බන්ධයෙන් දයානන්ද ස්වයං අධ්‍යයනයක් කළේය. ඔහු ඉතා සීමිත සම්පත් භාවිත කොට පැන්සල් තුඩ මත චිත්‍ර කැටයම් කළේය. ආරම්භයේදීම ඒ සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් දයානන්දගේ හිතේ තිබුණි. මුල් කාලයේදී යම් යම් අසාර්ථකවීම්ද නොතිබුණාම නොවේ. නමුත් දයානන්දගේ තිබූ කලා හැකියාවන් නිසාම ඒ අසාර්ථකවීම් තුළින් සාර්ථකත්වය කරා යාමට හිතට හයියක් ලැබුණි. සීමිත සම්පත්වලින් ඉතා ඉක්මනින් දයානන්දට ඒ සාර්ථකත්වය කරා ළඟාවීමට හැකියාව ලැබුණි. ඔහු තම ව්‍යාපාරය පවා අමතක කොට මේ අලුත් නිර්මාණ කලාව කෙරෙහි විශාල වෙලාවක් වෙන් කළේය. වර්තමානය වනවිට පැන්සල් තුඩ මත කළ කැටයම් තුන්සීයක් හාරසීයක් අතර ප්‍රමාණයක් දයානන්ද සතුව පවතී. ඒ අතර පැන්සල් තුඩෙහි කැටයම් කළ බුදු පිළිම, ලෝකයේ විවිධ තැන්වල ඇති සුවිශේෂී නිර්මාණ ආදිය ඇතුළත් වේ.
''පැන්සල් තුඩක නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණයේ පින්තූර කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්නවා. ඒවා මම අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ඒ ලබාගන්න අධ්‍යයනය තුළින් මම නිර්මාණය කරනවා. මේ සඳහා මම තාක්ෂණයත් උපයෝගී කර ගන්නවා. මම පියවි ඇසෙන් කරන සමහර නිර්මාණ තිබෙනවා. ඒ අතරින් කාච භාවිත කරල කරන නිර්මාණත් තිබෙනවා. අපේ ඇසට පේන්නේ නැති අත්කාචය භාවිත කරලා කරන නිර්මාණත් මේ අතරේ තිබෙනවා. ඊටත් එහා තාක්ෂණයක් එක්ක අන්වීක්ෂය භාවිත කරමින් කරන නිර්මාණත් තිබෙනවා.'' යැයි දයානන්ද පවසන්නේය.
දයානන්ද පැන්සල් තුඩෙහි කැඩයම් කරනා බව දැනගත් විට ඔහුට විවිධ ප්‍රතිචාර ලැබුණි. ඒ වැඩි ප්‍රතිචාර ඉතා හොඳ, ඔහුගේ ගමනට සුභපැතුම් මෙන්ම ''මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි'' යැයි පවසමින් ඔහුගේ ගමන නවතාලන්නට උත්සාහ දැරූ පිරිසක්ද සිටියහ. ඔහු පවසනා පරිදි සාපේක්ෂව ලාංකිකයන්ගෙන් ඔහුගේ ගමනට බාධා ඇතිවන අදහස් ලබාදුන් පිරිස වැඩි බවය. නමුත් දයානන්දට ඉලක්කයක් තිබුණි. ඔහුට ඔහුගේ හැකියාවන් ගැන විශ්වාසයක් තිබුණි. ලංකාවට මෙම කලාව අලුත් දෙයක් වුවද මේ ලෝකයට මේ කලාව අලුත් දෙයක් නොවන බව දයානන්ද දැන සිටියේය. ලෝකයේ සිටින මෙවැනි කලාකරුවන්ට හොඳ පිළිගැනීමක් ඇති බව දයානන්ද දැන සිටියේය. ඒ නිසාම විශ්වාසය නිසාම දයානන්ද තම ගමන නතර කළේ නැත.
පැන්සල් තුඩ මත කැටයම් කරමින් සිටි දයානන්ද තවත් අපූරු නිර්මාණ කලා අදහසක් පහළ වුණි. කුඩා ප්‍රමාණයට චිත්‍ර ඇඳීමට හැකිවීම දයානන්දට සාමාන්‍ය දෙයකි. එයින්ද තව කෙනකුට ඇඳිය නොහැකි තරමට චිත්‍ර අඳීමට දයානන්දට අවශ්‍ය විය. ඔහු ඒ වෙද්දී විවිධ කුඩා ප්‍රමාණවලින් චිත්‍ර ඇඳ බැලීය. ඒ සියල්ලම සාර්ථක වුණි. ඒ නිසාම තව කෙනකුට සිතාගත නොහැකි අවකාශයක චිත්‍ර ඇඳීමට ඔහුට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා යොදාගත්තේ හාල් ඇටයකි.
කුඩා හාල් ඇටයක කිසිවකුටත් සිතාගත නොහැකි ලෙසින් චිත්‍ර ඇඳීමට දයානන්ද සූදානම් වූවේය. ඒ සඳහා රටේ පැවැති සම්පත් ඉතා සීමිත විය. මේ සඳහා තාක්ෂණයත් සමඟ විශාල උපකරණ අවශ්‍ය විය. නමුත් දයානන්ද මෙතෙක් තමන් ළඟ ඇති තාක්ෂණික උපකරණ භාවිත කරමින් හාල් ඇටයේ රූප ඇන්දේය.
හාල් ඇටවල නම් ලිවීම ලෝකයේ බොහෝ කාලයක සිට පැවත එන්නකි. නමුත් දයානන්දට හාල් ඇටයේ නමක් ලිවීම බොහෝම සාමාන්‍ය පහසු දෙයකි. ඔහු හාල් ඇටයේ මිනිස් රූප අඳින්නේය. අද වනවිට මේ හැකියාව ඇති අය ලෝකයේම ඇත්තේ ඉතා සීමිත පිරිසක් බව දයානන්ද පවසන්නේය. දයානන්ද ඔහුට ඇති සීමිත තාක්ෂණය භාවිතා කොට තමන්ට කළ හැකි උපරිමයෙන්ම නිර්මාණයට සාධාරණයක් ලබාදී ඇත. කෙටි ප්‍රමාණයක් ඇතුළත ඔහු මේ වනවිට හාල් ඇටවල නිර්මාණ බොහෝමයක් සිදුකර ඇත. මේ වනවිට විදෙස් රටවලින් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද දයානන්දගේ නිර්මාණ මිලදී ගැනීමට පෙළඹී සිටී. අද වනවිට ඔහු පූර්ණකාලීනව චිත්‍ර, කැටයම් ශිල්පියෙකි. හාල් ඇටයේ රූපයක් චිත්‍රයට නඟන්නට දයානන්දට දින තුනක් පමණ ගතවේ.
''මේ නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් මේ කලාව ලංකාවට අලුත්. ඒ නිසා ඒ සඳහා තවමත් අනුග්‍රාහකයෙක් සොයාගන්න බැරිවෙලා තිබෙනවා. කොහොම හරි ඉස්සරහට ප්‍රදර්ශනයක් වගේම ඇකඩමියක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම ඉගෙනගත්තු දේ තවත් පිරිසකට කියල දෙන්න ආසයි. මම මේ හැමදේම ස්වයං අධ්‍යයනයක් සමඟ ඉගෙන ගත්තු දේවල්. ඒ ඉගෙනගත්තු දේවල් තව පිරිසකට ඇකඩමියක් හරහා කියල දෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වෙද්දී විදෙස් රටවල්වලින් චිත්‍ර ප්‍රදර්ශන සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ඒවාට සහභාගි වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.'' දයානන්දගේ දුරකථනය - 0775 172772
I දිශානි ජයමාලි කරුණාරත්න