පුතකුගේ පළමු වීරයාත් දියණියකගේ ප්‍රථම ආදරයත් සිය ආදරණීය පියා බව කියැවේ. සිය දරුපැටියන්ගේ ලෝකයට ශක්තියක් වන පියාටත් දරුපැටවුන් ගැන ඔවුන්ගේ හෙටදවස ගැන අහස උසට බලාපොරොත්තු පොදි ගැසේ. කෙසේ හෝ ඒ අදහස් දරුවන්ගේ ඉල්ලීම්, සිතුම් පැතුම් ඉටුකරලන්නට පියකුගේ වෙහෙසීම මෙතෙකැයි කියන්නට සීමා නැත. රුකියාව, ව්‍යාපාරය, සමාජ තරාතිරම කුමක් වුවත් මේ බැඳීමට කිසිත් අදාළ නොවන්නේය.
පුතකුට වඩා දියණියක ලද පියකුට යුතුකම් වගකීම් රැසක් ගොඩගැසෙන්නේ නිතැතිණි. පංචායුධ, අරුංගල්, මාල, වළලු, රන් ආභරණ අතරට කොටහලු උත්සව, විවාහ මංගල්‍ය ආදී නොයෙක් අවස්ථාවන්හිදී දියණියට සවියක් වීම පියකුගේ බලාපොරොත්තුවකි. එල්ලා මරන්නට නියම වී මහඋළු ගෙදර තපින පාතාල නායකයකුගේ දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවය කොළඹ සුපිරි හෝටලයක පවත්වා තිබුණේ මේ අදහසින් වන්නට ඇත. ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම කොට බන්ධනාගාර ගත කර සිටින නමගිය අපරාධකරුවකුගේ දියණිය උදෙසා මේ සුපිරි සාදය කොළඹ තරු හෝටලයක පවත්වා තිබෙනු බවට දැනගන්නට ලැබේ. පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා හෙරොයින් ජාවාරමේ ප්‍රබලයකුගේ දියණිය වෙනුවෙන් මෙකී සාදය විශාල වියදමක් දරා සිදු කර තිබේ. එම උත්සවය අති උත්කර්ෂවත් ලෙසින් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා පවත්වා තිබෙන බවද ඒ සඳහා ආරාධිතයන් 200 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයිද පැවසේ. දියණියගේ කොටහලු උත්සවය රාත්‍රී සාදයක් ලෙස සංවිධානය කරන අතරතුර ඊට සහභාගි වන්නන් සඳහා වටිනා ආරාධනා පත්‍ර තොගයක් මුද්‍රණය කර ඇති බවද කියැවේ. පසුගිය 23 වැනි සඳුදා රාත්‍රියේ අදාළ සාදය අවසන් වීමෙන් පසුව එදිනම රාත්‍රියේ යුනියන් පෙදෙස පිහිටි හෝටලයක් සහිත සුපිරි නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී තවත් පිරිසක් වෙනුවෙන් නැවත සාදයක් පවත්වා ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ. මෙම උත්සවය සඳහා පාතාලයාගේ පවුලට හිතවත් ඥාතීන්ට අමතරව කොළඹ අවට ව්‍යාපාරිකයන් ඇතැම් දේශපාලනඥයන් හා හිත මිතුරන් සහභාගි වූ බව පැවසේ. සිය දියණිය උදෙසා පැවැත්වූ ප්‍රිය සාදය මොහුගේ සමීපතමයන් මගින් සංවිධානය කොටගෙන තිබෙන අතර උත්සවයේ සියලුම අවස්ථා පාතාල පියා බන්ධනාගාර මැදිරියක සිට ජංගම දුරකතනයක් මගින් සජිවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සිය දියණිය කෙරේ උපන් ආදරය සේම තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වීම සඳහා ඔහු මෙකී සාදය සංවිධානය කරන්නට ඇති බවය.
පොලිසිය එසේ ප්‍රකාශ කරන්නට ආසන්න හේතුවක් වේ නම් මෙයද එවැන්නකි. වරෙක ඔහුගේ බිරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයකි. ඒ උපයාගෙන ඇති නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදීය. ඔවුන්ට අයත් නිවෙසේ බී.එම්.ඩබ්ලිව්. මාදිලියේ නවතම මෝටර් රථ දෙකක් තිබී ඇත. එකක් තරමක් දිගු රථයකි. අනෙක ඊට වඩා දිගින් අඩු එකකි. ඒ ගැන විමසීමේදී බිරිය කියා ඇත්තේ සිය දැරිය පාසල් ගෙන යාමට මෝටර් රථය මිලට ගත් බවකි. නමුත් පාසලට පිවිසෙන මාර්ගය පටු නිසා එම රථය එහි ගමන් ගැනීම අපහසු බැවින් දිගින් අඩු මෝටර් රථය පසුව මිලට ගත් බවය.
මෙසේ සුපිරි ජීවිත ගත කරන ඔහුගේ පවුලේ උදවියට දියණියගේ කොටහලු උත්සවය එතරම් නොවන එකකි. එහෙත් මීට වසර පහළොවකට විස්සට ඈත අතීතය මේ පවුලේ උදවියට මෙතරම් ආර්ථික ශක්තියක් නොවීය. වාර්තා වන ආකාරයට එවකට ඔවුන් දැඩි ලෙස අගහිඟකම්වලින් පෙළී ඇත. එම කාලයේදී ඔහු සිය වැඩිමහල් සොයුරා සමඟ එක්ව දෙමටගොඩ පොළේ කරපිංචා අතු ඉති මිටි බැඳ විකුණා ඇත. එදා සිට වසර විස්සකට පමණ පසුව ලක්ෂ සිය ගණන් වටිනා වාහන ගැනීමට තරම් වූ පොහොසත්කම විශ්මයට හේතුවකි. මේ අතර එදා මොවුන් සමඟ පොළේ පලා විකිණූ සමහරු අදටත් එදා වේල පිරිමසා ගැනීමට පලා විකුණන බව තතු දත්තෝ පවසති.
අගහිඟකම්වලින් පිරුණු ඔහුගේ මවට පියාට ස්ථිර ආදායමක් තිබී නැත. ඔවුන්ට හැකි පමණින් උදව් උපකාර කොට තිබුණේ ඔවුන්ගේ මාමාය. ඔහු එවකට දෙමටගොඩ පොළේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය අතර හොර රහසේ කසිප්පු වෙළෙඳාම සිදු කර තිබුණේ දෙමටගොඩ රේල් පාර අද්දරය. ඒ සඳහා මේ අයියා මලෝ දෙපළ මාමාගේ උදව්වට සිටි බව පැවසේ.
එම කාලයේදී දෙමටගොඩ හා බොරුල්ල ප්‍රදේශ පාතාලයන්ගේ රාජධානියක් බවට පත්වෙමින් තිබූ සමයකි. එහි මූලිකයා %අම්බිගාර්^ නැමැති අපරාධකරුය. තරුණ වියේ පසුවූ අයියා මලෝ දෙපළ අම්බිගාර් හා සම්බන්ධ වී ඇත්තේ පාතාල උණ නිසාමය. විවිධ අපරාධවලට සම්බන්ධ වෙමින් සිටි දෙදෙනාට කර කියාගත හැක්කක් නොවූයේ අම්බිගාර් විරුද්ධ පාතාල කල්ලියකගේ ප්‍රහාරයෙන් මරණයට පත්වූ නිසාය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර