2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

පිළිකා දඩයමට පොලිස් සුනඛයෝ

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 132

කොළඹ විසූ එංගලන්ත ජාතිකයකුගෙන් රුපියල් 375 කට මිලදී ගත් ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන් දෙදෙනකුගෙන් වර්ෂ 1948 දී ඇරඹුණු ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසය මේ වන විට සුනඛයන් 250 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යොදවා සිටියි. ආරම්භයේදී රෙක්ස් නමැති සුනඛයා රට පුරා මිනීමැරුම් ඇතුළු අපරාධ 07 ක සුලමුල සොයා දීම හේතුවෙන් 1959 වසරේදී ප්‍රථම වරට “සාජන් (සැරයන්) සුනඛයා” ලෙස උසස්වීමක් ලැබීය. මෙලෙස බිහිවූ පොලිස් නිල සුනඛයන්ගේ මේ තාක් රාජකාරිය වූයේ පුපුරණ ද්‍රව්‍ය සෙවීම, මත්ද්‍රව්‍ය සෙවීම, අපරාධකරුවන් සෙවීම, ස්වභාවික විපත්වලදී සැඟවී ගිය මළසිරුරු සොයාගැනීම, සංදර්ශන පැවැත්වීම ආදියයි. එහෙත් මේ වන විට පස් අවුරුදු සැලැස්මක් යටතේ නිල සුනඛ කොට්ඨාසයේ රාජකාරියේ නිරත නිල සුනඛයන්ගේ රාජකාරි සීමාව වඩාත් පුළුල් කරමින් මහජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් නව ප්‍රශංසනීය උත්සාහ ගණනාවක් ගෙන තිබේ. 

ඩෙංගු මර්දනය කරන්නට ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම පිළිකාව නසන්න මඤ්ඤොක්කා කන රටවල් අතර සමහර රටවල් වායු බුබුළු තාක්ෂණය සේම නැනෝ තාක්ෂණය ද උපරිම ලෙස යොදාගනියි. එවන් තාක්ෂණික ලෝකයේ තාක්ෂණයට නොදෙවැනි කකුල් හතරේ යන්ත්‍රයක් අපේ රටේ පොලිසියෙන් නිෂ්පාදනය කර ඇත. මේ අරුම පුදුම නිෂ්පාදනය පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතාගේ නව සංකල්පයකි. මහජන හිතකාමී ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසය මගින් පස් අවුරුදු සැලැස්මක් යටතේ පොලිස් නිල සුනඛයන් මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දන කාර්යයට අමතරව ඩෙංගු කීටයන් සෙවීමටත්, පිළිකා නසන්නටත් පුහුණු කරන්නට පටන්ගෙන ඇත. 

පොලිස්පතිගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් පොලිස් නිල සුනඛ කොට්ඨාසය බාර අධ්‍යක්ෂ කාංචන ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණයෙන් සහ උපදේශකත්වයෙන් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල මහතා තම පුහුණු නිලධාරීන් මෙහෙයවමින් මෙම පස් අවුරුදු සැලැස්මට නව අරුතක් එක් කරයි. 

මදුරු කීටයන් සිටින ස්ථානවලට ආවේණික සුවඳක් තිබෙන අතර එම සුවඳ නිල සුනඛයන්ට ඉව මගින් හඳුනාගන්නට සලස්වයි. එසේ ඉව කරන්නට සලස්වා එම ස්ථාන හඳුනා ගැනීමට හුරු කරවීම සිදු කරයි. මෙහිදී මිනිසුන්ට සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ළඟාවීමට අපහසු මදුරු කීටයන් බෝවන ස්ථාන ඉතා පහසුවෙන් නිල සුනඛයන් මගින් පරීක්ෂා කර හඳුනාගත හැකිවීම විශේෂත්වයකි. එලෙසම ඉදිරියේදී වැහිපීලිවල මදුරු කීටයන් බෝවන ස්ථාන බිම සිට හඳුනා ගැනීම දක්වා නිල සුනඛයන් පුරුදු පුහුණු කිරීම මෙම ව්‍යාපෘතියේදී අපේක්ෂිත ඉලක්කයක් වෙයි. පොලිස් නිල සුනඛයන් පුරුදු පුහුණු කිරීමේ සහ ප්‍රතිකර්ම කිරීමේ නියමුවකු වන්නේ අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පශු වෛද්‍ය, සහකාර පොලිස් අධිකාරී අමල් දිසානායක මහතාය. මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙම මදුරු කීටයන් සහිත පරිශ්‍ර හඳුනා ගැනීමේ ව්‍යාපෘතිය මේ වන විට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම මේ වන විට පිළිකාව හඳුනා ගැනීම සඳහාත් පොලිස් නිල සුනඛයන් පුරුදු පුහුණු කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අමල් දිසානායක මහතා පැවසීය. ස්කොට්ලන්තය, ස්විඩනය වැනි රටවල මුල් අදියරේ පිළිකා තත්ත්ව හඳුනා ගැනීමට සුනඛයන් යොදාගනියි. ලොව සාපේක්ෂ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පීඩා විඳින පියයුරු පිළිකාව හඳුනා ගැනීමට පොලිස් නිල සුනඛයන් පුරුදු පුහුණු කිරීමට මෙහිදී සැලසුම් කර තිබේ. පියයුරු පිළිකා රෝගීන්ගේ ශරීරයෙන් නිකුත් වන සුවඳ වෙන් කර හඳුනා ගැනීම මගින් නිල සුනඛයන් මාර්ගයෙන් පියයුරු පිළිකා රෝගීන් හඳුනා ගැනීමට ඉදිරියේදී සැලසුම් සකස් කරමින් තිබේ. පිළිකා හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණවලට වැය කිරීමට සිදුවන අධික මුදල ඉතිරි කර ගැනීමට හැකිවීමත් නිකරුණේ රෝගීන්ගේ කාලය නාස්ති වීම වළක්වා ගැනීමටත් හැකිවීම හේතුවෙන් මෙම කාර්යය සාර්ථක වීම වටී. මෙය ඇසූ සැණින් මතුවන ප්‍රශ්නයක් වන්නේ සුනඛයන්ට පිළිකා රෝගීන් හඳුනා ගැනීමට හැකිද යන්නයි.  

නිල සුනඛයන් මගින් පිළිකාව හඳුනා ගැනීම ලොව පුරා රටවල් ගණනාවක සිදු කරන කාර්යක්ෂම මෙන්ම සාර්ථකම වෛද්‍ය පර්යේෂණයකි. මෙම කාර්යය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර පිහිටි පිළිකා කවුන්සිලය පවසනුයේ විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන්ට පිළිකා රෝගීන්ගේ මුත්‍ර හා හුස්ම සාම්පල ඉව කරන්නට සලස්වා එයින් පිළිකාව හඳුනා ගන්නට හැකි බවයි. පිළිකාව මගින් වාෂ්පශීලී කාබනික සංයෝග මිනිස් ශරීරයේ නිපදවයි. එම කාබනික සංයෝග ශරීරයෙන් පිට කරන මුත්‍ර, හුස්ම සහ දහදියට මුසු වෙයි. ඉතා කුඩා අංශු වන මේවායේ විශේෂ සුවඳක් ඇති අතර පිළිකාවේ මුල් අවධියේදී සෛල බෙදී යන විට ඇතිවන සුවඳ ඉව කරන්නට සුනඛයන්ට පුහුණු කරයි. ජපානයේ චිබා නුවර පිළිකා හඳුනා ගැනීමේ සුනඛ පුහුණු මධ්‍යස්ථානයේදී අවුරුදු 9 ක් වයසැති ලැබ්‍රඩෝ රිට්‍රීවර් වර්ගයේ සුනඛයකු යොදවා පිළිකා බවට සැක කරන රෝගීන්ගේ පිළිකා තත්ත්ව මුල් අදියරේදී නිශ්චිතව හඳුනා‌ගෙන ඇත. පියයුරු පිළිකා රෝගීන්ගේ ද්‍රව්‍ය සාම්පලයක් මගින් පියයුරු පිළිකාව හඳුනාගනියි. මෙය සියයට සියයක් සාර්ථක බවද විදෙස් පර් යේෂණ විශේෂඥයෝ පවසති. 1948 සිට මේ දක්වා පොලිස් නිල සුනඛ කොට්ඨාසය අභිමානවත් 75 වසර සපුරයි. මහජන සෞඛ්‍ය සඳහා සහාය වීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘති සාර්ථක වීම මතු දවසේ මෙරට ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයක් වනු ඇත.

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02