2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ආර්ථික තරගයෙන් පරදින පොදු ජනතාව

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 67

ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ද දරුණු පීඩනයක පවතී. ජීවන වියදම දරාගත නොහැකි තැනක පසුවන අතර ආණ්ඩුව පොදු ජනතාවට බදුවලට අමතරව තවත් බදු පනවන නමුත් විශාල විරෝධයක් නැත. බදු දරුණු බව රජයේ සේවකයෝ පමණක් කියා සිටිති. ඔවුහු විරෝධතා අවුලුවන්නට සූදානම් වූහ. ලබන වසරේ සිට සියයට දහ අටක ප්‍රතිශතයක් දක්වා නංවන වැට් බද්ද හා උපයන විට ගෙවන බදු විශාල හිරිහැරයක් බව පෙන්වන ලද ඔවුහු සංකේත විරෝධතාවක නිරත වූහ. රුපියල් විසි දහසක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා බල කරන ලදහ. පියවරක් පිටුපසට ගත් ආණ්ඩුව 2024 අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කර තිබේ. වම් අතින් වැටුප් වැඩි කරන නිවේදනය නිකුත් කළ ආණ්ඩුව දකුණු අතින් සීනි කිලෝවකට අය කරන බද්ද ශත විසිපහක සිට රුපියල් පනහ දක්වා වැඩි කර ඇත. 

ආර්ථිකය සහ ජන ජීවිතය පවත්නා තත්ත්වය අනුව ආණ්ඩුවේ ඉරණම තීරණය කළ හැකි එකම මාර්ගයක් ඇත. ආදායම පිරිහී බදුවලින් තවත් ගෙල සිර කරන ලද ජනතාවට ඊළඟ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට වරමක් ලැබේ. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් තීරණ ගැනීමේදී අතට ලැබෙන වාසි ගැන අවධානය යොමුකරන බවට සාක්ෂි ඇත. මෙම ප්‍රවණතාව අනුව වැට් බද්ද අනාගතයේදී හැසිරෙන ආකාරය අනුව ආණ්ඩුවට ප්‍රතිඵල ලැබෙන්නට ඉඩ තිබේ. 

වියදම වැඩි රටක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජයග්‍රහණය කරවන්නට දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය කෙරේ. දේශපාලන කණ්ඩායම් අතර එකමුතුභාවය වැදගත් වේ. අතීත අත්දැකීම් අනුව, ඇමැති මණ්ඩලයේ දක්ෂ කණ්ඩායම් සිටිවිට රට ඉදිරියට ගෙන ගොස් ඇත. ආණ්ඩුවේ වාද භේද හා පිල් මාරු කිරීම් සංවර්ධනය අවහිර කරන ලද අතර පරාජයට පදනම සකසා දී ඇත. පසුගිය කාලය තුළ රට දිගින් දිගටම අසාර්ථක වූ අතර ආර්ථිකය බරපතළ තැනකට පත්වීම පිටුපස ඇති සාධක අනාගතයේ ක්‍රියා කළ යුතු ආකාරය අපට උගන්වයි. 

ආර්ථිකය අඩාල වූ පසු සංකෝචනය වන අතර බදු ගෙවන අංශවල පිරිවැටුම පවතින තත්ත්වය අනුව රජයට අය කරගත හැකි ප්‍රමාණය පහත වැටේ. එය අලුත් දෙයක් නොවේ. යුද ගැටුම් අවසන් වූ 2009 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට දහයකින් වර්ධනය  වූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය හා කොවිඩ් හේතු කොටගෙන වසර දෙකක් තුළ පහළ ගිය ආර්ථිකයේ තරම ඍණ දහයකි. මෙම සංකෝචනය අනුව ආදායම පහත වැටුණු නමුත් රජයේ වියදම් පාලනය වූයේ නැත. 

අමාත්‍යංශ වියදම් අඩු කරන යෝජනා තිබුණු නමුත් කිසිම අමාත්‍යංශයක වියදම් පාලනය කර නැත. අතිරේක ප්‍රතිපාදන අනුමත කරගත් අවස්ථා ගණනාවක් ගැන පාර්ලිමේන්තුවේ සඳහන්ය. අඩුම තරමින් විදුලිය හෝ ජල ගාස්තුව පාලනය කරන්නට අසමත් වූ රජයේ ආයතන ඒවායේ බර රජයේ වියදමට පටවා ඇති අතර අවසානයේදී අයවැය පරතරය පුළුල් කර තිබේ. මෙහි වන්දිය පොදු ජනතාවට ගෙවන්නට සිදුවී ඇත. 

බද්ද ජනතාවගේ සාක්කුවට

භාණ්ඩ හා සේවා බද්ද 2002 වසර තෙක් ක්‍රියාත්මකව තිබුණි. පසුව එයට වඩා ගැලපෙන හා අවසානයේදී පාරිභෝගිකයාගෙන් පමණක් අය කරන බද්දක් වශයෙන් වැට් බද්ද හඳුන්වා දුන්නේය. එම වසරේ අගෝස්තු පළමුවැනිදා හඳුන්වා දුන් වැට් බද්ද අනුව පිරිවැටුම සලකා බද්ද ගෙවන්නට ලියාපදිංචි විය යුතුව තිබුණි. ලියාපදිංචිය සහිත බදු ගෙවන්නන්ට කලින් ගෙවන ලද බදු නිමි භාණ්ඩයක් වශයෙන් වෙළෙඳපොළට එවන තෙක් ආපසු අය කරගත හැකි විය. මෙම වාසිය අනුව වරින් වර බද්ද අය කිරීම නතර වන බව ජාත්‍යන්තර බදු විශේෂඥයන්ගේ සැලැස්ම විය. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් වැට් බද්ද පනවන ලද අතර එය විනිවිද පෙනෙන බදු පිළිවෙළක් ඇති කරන බවද අවධාරණය වී තිබුණි.

ශ්‍රී ලංකාවේ වැට් බදු පැනවීමෙන් පසු ආණ්ඩුව බදු එකතු කළ අතර නිලධාරීහු ඒවා බෙදා ගත්හ. සුප්‍රකට වැට් බදු වංචාව එයට උදාහරණයකි. බිලියන හතළිහක වැට් බදු වංචා කරන ලද අතර පසුව අධිකරණ නඩු විභාගයකින් පසු 2014 වසරේ ලබා දුන් තීන්දුව අනුව අවුරුදු එකසිය දෙකක සිරදඬුවමක් නියම කෙරිණ. බදු නැවත ගෙවන මුවාවෙන් සිදුවූ මෙවැනි වංචා අනාවරණය වූයේ එකක් දෙකක් පමණකි. නොදන්නා දේ තවත් තිබිය හැකිය. මෙම විනාශය ද මහජනතාව ගෙවන ලද වන්දියකි. බදු අය කරන අතර ඒවා වංචාවලට විනාශ වන තත්ත්වය ඉදිරියේ රජයේ ආදායම පහත වැටීම පුදුමයට කරුණක් නොවේ. රජයේ ඇතැම් නිලධාරීන් දක්වන පරිදි රජය බදු අය කරන ක්‍රමවේදය වැරදිය. බදු අය කරන්නට වැය කරන මුදල ආර්ථිකයට අවාසියකි. අය කරන බදුවලට වඩා මුදලක් ඒවා එකතු කරන්නට වැය කෙරේ. 

භාණ්ඩ සහ සේවා බද්ද තිබුණු කාලයේ හා සමානව වැට් බද්ද පවතින දැන් කාලයේදී ද, කොපමණ බදු පනවන නමුත් ආණ්ඩුවේ වියදමට ප්‍රමාණවත් නැත. අයවැය හිඟය එය මැනවින් පෙන්වයි. පසුගිය වසරේදී ආණ්ඩුව රුපියල් බිලියන 4,200ක් මහජනතාවගෙන් ණය ලබාගෙන තිබේ. බැංකුවල කරන තැන්පත් ගැනීම හේතු කොටගෙන පොලී අනුපාත පාලනය කරගත නොහැකි තරමට ඉහළ ගියේය. සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදලේ වත්කම් සම්පූර්ණයෙන්ම රජයට ගැනේ. බදු ගෙවන ජනතාවට විශ්‍රාම ගැනීමෙන් පසු හිමිවන ආදායම ද අඩුවන තරමට කටයුතු සැලසී ඇත. මෙම නරක ක්‍රම ගැන වගකිව යුතු අංශ අවධානය යොමු කළ යුතු වේ.

අලුත් දෙයක් කරන්නට නොහැකිවීමේ විපාක

ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්නට අලුත් ආකාරයකට ආර්ථිකය දියුණු කළ යුතු වේ. මෑත කාලය තුළ තරුණයන් සිස්ටම් චේන්ජ් කරන ලෙස බල කරන ලද මෙම යල්පැන ගිය රාමුව වෙනස් කරන බව එයින් කියැවිණ. වෙනස්කම් කෙසේ වෙතත් මහජනතාව මත පැරණි බර නැවත වටයකින් පැටවී ඇත. ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාකවලට සාමාන්‍ය ජනතාව ගොදුරු වී සිටින අතර වගකිව යුතු පිරිස් බදු රහිත ජීවිත ගත කරමින් සිටිති. 

2019 වසරේදී එවකට තිබුණු වැට් බදු ප්‍රතිශතය සියයට 15 ක සිට සියයට 8 දක්වා අඩු කරන්නට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළේය. ආර්ථිකය සක්‍රීය කර නව වෙනස්කම් සඳහා සූදානම් කිරීම එහි අරමුණ වී තිබුණු බව පැහැදිලිය. වැට්වලින් ආණ්ඩුව ගන්නා කොටස අඩු කළහොත් එය පාරිභෝගිකයන්ට ලැබේ. එය ක්‍රය ශක්තිය ඇති කිරීමකි. අලුතින් භාණ්ඩ හා සේවා මිල දී ගන්නා පසු වෙළෙඳපොළ ප්‍රසාරණය වේ. එම ප්‍රසාරණය තුළින් රජයට බදු ආදායම වැඩි කරගත හැකිය. එම උපකල්පන විනාශ වූ අතර ආර්ථිකය ඍණ අගයක් කරා ගමන් කරන්නට හේතු වූ කරුණු රාශියකි. බදු කපා හරින ලද අතර 2019 ජූලි මාසයේදී සියයට අටක සිට දොළහ දක්වාත්, 2022 සැප්තැම්බර්වල සියයට පහළොව දක්වාත් නංවන ලද අතර එතැන් සිට මාස හතරක් ඇතුළත සියයට 18 දක්වා වැඩි කරන්නට නියම වී ඇත. අලුත් යමක් කරන්නට තීරණය නොකිරීම මෙම තත්ත්වයට හේතු වූ බව අවධාරණය කළ යුතුව ඇත.

ප්‍රතිසංස්කරණ තෙහෙට්ටුව දැනෙන රටක්

2023 වසරේ පළමු කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 578 ක්වූ අතර 2022 වසරේ සමාන කාල පරිච්ඡේදයට වඩා සියයට 7.9 ක වර්ධනයකි. කෙසේ නමුත් මූල්‍ය අරමුදල මෙම ඉලක්කය රුපියල් බිලියන 650 ක සීමාව වශයෙන් හඳුනාගෙන තිබුණි. ඒ අනුව රජයට සහාය දක්වන ලද නමුත් ප්‍රතිසංස්කරණවලින් පසු බදු ආදායම අපේක්ෂා කළ තරමට වැඩි කරගෙන නැති බව පෙන්වා දී තිබේ. 2024 සිට වැට් බද්ද වැඩි කිරීමට තීරණය කිරීම එහි ප්‍රතිඵලයකි. එපමණක් නොව වැට් අය කරන අංශ පවා වෙනස් කර තිබේ. ආහාර හා නවාතැන් ඇතුළු සංචාරක කටයුතුවලට පැනවීමෙන් පසු එහි ප්‍රගතිය අවිනිශ්චිත වී තිබේ. කරුණු අනාවරණය වන පරිදි ඉන්ධන අලෙවියේදී ද වැට් අය කරන්නට යෝජනා වී ඇත. ඉන්ධන වෙළෙඳපොළ මිලට විකුණන අතර වැට් බද්ද වශයෙන් සියයට දහ අටක් එකතු කළහොත් මහජනතාව තවත් අසරණ විය හැක. මූල්‍ය අරමුදල දැනට රජයට එම අදහස ඉදිරිපත් කර ඇති අතර විකල්පයක් රහිත වුවහොත් යතුරුපැදියට තෙල් ලීටරයක් ගහන සාමාන්‍ය පුද්ගලයකුගේ පිරිවැය තවත් රුපියල් සියයකින් පමණ ඉහළ යන අවදානමක් ඇත. 

ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන බව දක්වා ගෙන එන සංශෝධනවලින් ජන ජීවිතය අවුල් වී ඇත. පෙන්වා දෙන පරිදි මාස නවයක් තුළ වැට් ආදායම සියයට පනස් එකකින් වැඩිපුර එකතු කර ගන්නට හැකි වී තිබේ. රේගු වාර්තා අනුව, ආනයනවලින් බදු අය කරගත හැකි ප්‍රමාණය මෙම වසර තුළ රුපියල් බිලියන 1,226 කි. අපේක්ෂා කර තිබුණු මුදල රු. බිලියන 783 ක්වූ අතර වැඩිපුර ගෙවන්නේ ලෝකයේ අනෙක් රටක පුරවැසියන් නොවේ. වැට් බද්ද, රේගු බදු, මත්පැන් හා දුම්කොළ බදු ඇතුළු සියලුම දේ මිලියන 22 ක් වන ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු වේ. මේවා ගෙවන්නේ පහසුවෙන් ද යන්න ප්‍රශ්න කළ යුතුය. බදු ගෙවන්නට තරම් ධනයක් මහජනතාවට තිබේද යන්න ද මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. 

I සාරා කන්දෙගොඩ