2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

සත 25ට මුවා වී සීනි සමාගම් ගහපු ගැහිල්ල

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 122

සීනි කිලෝවක් සඳහා පනවා තිබූ සත 25 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද නොවැම්බර් 2දා සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගත්තේය. සීනි බද්ද වැඩිකර පැය විසිහතරක් ගතවන්නටත් පෙර වෙළෙඳපොළේ සීනි මිල ඉහළ ගියේය. පෞද්ගලික අංශයේ පමණක් නොව ආණ්ඩුවේ සතොසද වහ වහා සීනි මිල ඉහළ දැම්මේය. එහි උදේ වරුවේ රුපියල් 267කට අලෙවි කළ සීනි කිලෝව සවස් වනවිට රුපියල් 320 දක්වා ඉහළ දමා තිබිණි. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ බදු බරින් හෙම්බත්ව සිටින ජනතාවගේ තේ කෝප්පයේ මිලද රුපියල් පහකින්, දහයකින් ඉහළ ගියේ කූඨ වෙළෙඳුන්ට පින්සිදු වන්ටය.

බදු වැඩි කිරීමත් සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275කටද, පැකට් කළ සුදුසීනි කිලෝවක් රුපියල් 295කටද, පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330කට සහ පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 350 බැගින්ද අලෙවි කළ යුතුය. එම මිල ගණන්වලට වෙළෙඳ පොළේ සීනි නොමැති විය. විවෘත වෙළෙඳපොළේ කලින් 260 තිබූ සුදු සීනි කිලෝව රුපියල් 310ක් වූ අතර 290ට පැවැති පැකට් නොකළ රතුසීනි කිලෝව 350 දක්වා ඉහළ ගියේය.

සීනි බදු පැනවීමට දිනකට පෙර සීනි ආනයනය කරන එක්තරා සමාගමක් ඔවුන් ආනයනය කර තිබූ සීනි ටොන් 8000ක් රේගුවෙන් නිදහස් කරගෙන ගොස් ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් පැතිර ගියේය. මෙම සීනි තොගය රුගත් General Cargo Vessel SEA STELLAR නමැති නෞකාව ඔක්තෝබර් 30 වැනිදා කොළඹ වරායට සේන්දු වී ඇති අතර නොවැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක වූ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට දිනකට පෙර මෙම ආනයනකරු විසින් ශ්‍රී ලංකා රේගුවෙන් එම සීනි තොගය නිදහස් කරගෙන තිබිණි. 

වාර්තා වන අන්දමට සීනි බදු වැඩි කිරීමට පෙර මෙරට සීනි ආනයනකරුවන් විසින් ගබඩා කරගෙන තිබූ සීනි ප්‍රමාණය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා මාස දෙකක පමණ කාලයකට ප්‍රමාණවත් බව පැවසේ. එසේ නම් සීනි මිල ඉහළ යා යුත්තේ තවත් මාස දෙකක කාලයකට පසුව විනා බදු පැනවූ දා සිට නොවේ. එසේ නම් බදු පැනවීම පිටුපස කිසියම් වංචනික ක්‍රියාවක් පවතින බවටත් ජනතාවට බදු ගසමින් තම ගජ මිතුරන්ට ලාබ උපයන්නට හැකිවන ලෙස බදු වෙනස් කරමින් සිටින බවටත් විවිධ පාර්ශ්ව තුළින් චෝදනා එල්ල වී තිබේ. ඇතැම් සීනි ආනයනකරුවන් විටින් විට භාණ්ඩ බද්ද සංශෝධනය කරන ලෙසට නිල බලධාරීන් පොළඹවා සීනි මිල ඉහළ දැමීමෙන් පසු උපරිම ලාභයක් ලබා ගැනීම සඳහා තොග තබාගෙන සිටින බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. 

''බද්ද පැනවීමට පෙර දිනයේ මෙරටට සීනි ආනයනය කරන එක්තරා සමාගමක් කිලෝග්‍රෑමයකට සත 25 ගානේ බදු ගෙවලා සීනි කිලෝ 5,20,000ක් රේගුවෙන් නිදහස් කර ගත්තා. ඒ අනුව ආණ්ඩුවට බදු වශයෙන් ලැබුණේ රුපියල් 1,30,000යි. ඔවුන් රුපියල් 50 බද්ද පැනවූවාට පසු එම සීනි තොගය නිදහස් කරගත්තා නම් ආණ්ඩුවට රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් ලැබෙනවා. මෙය කලින් වතාවේ සීනි බදු වංචාවටත් සම්බන්ධයි. බදු වැඩිකරන බව බදු වැඩි කිරීමට පෙර එම සමාගමට කියල තියෙනවා කියලා අපිට විශාල සැකයක් තියෙනවා. මේ විදිහට සීනි ගබඩා කරගත් අයට දැවැන්ත ලාබයක් මේ බදු වැඩිකිරීම නිසා ලැබෙනවා.''

පුබුදු ජයගොඩ මහතාගේ ප්‍රකාශ තහවුරු කෙරෙන ප්‍රකාශයක් කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාද මාධ්‍ය හමුවේ තැබුවේය. ඔහු කියා සිටියේ සීනි සඳහා බදු වැඩිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයවත් දැන නොසිටි පසුබිමක් තුළ බදු වැඩිවන බවට ව්‍යාපාරිකයන්ට තොරතුරු ලැබෙන්නේ කෙසේද යන්නයි. ''මේක දන්නේ කස්ටම් එකේ කට්ටිය තමයි. එතකොට මේවා එළියට ගිහින් තියෙන්නේ කොහෙන්ද කියල හිතාගන්න පුළුවන්. බදුවල එහා මෙහාවීම් එක්ක ආදායම් හොයන්න එක්තරා කණ්ඩායමක් මේක මහ පරිමාණ සූදුවක් බවට පත්කරගෙන තියෙනවා. ඔවුන්ට අයුතු ලෙස ලාබ ලබන්න බැරිවෙන්නයි ජනාධිපතිවරයා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන්නට කටයුතු කළේ. කවුරු කොහොම කළත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි.'' යනුවෙන් සඳහන් කළේය.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවට හා නිලධාරින්ට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මේ වනවිට සීනි තොග සඟවාගෙන සිටින බවයි. ආණ්ඩුව මෙම බද්ද පැනවූයේ ඔවුනට හිතවත් ජාවාරම්කරුවන්ගේ මඩිය තර තිරීමට බවද ඔහු සඳහන් කළේය. ''අපි වෙළෙඳ ඇමැතිවරයට සහ පාරිභෝගික අධිකාරියට කියනවා මේ ජාවාරම්කාරයෝ අධික ලාබයක් උපයමින් සීනි විකුණනවා. ඒ නිසා සීනි අනයනය කරන ජාවාරම්කාරයන්ගේ ගබඩාවලට ගිහින් ඒවා චෙක් කරන්න. ඒවායේ පරණ මිලට ගෙනාපු සීනි ටික වෙළෙඳ පොළට නිකුත් කරන්න කටයුතු කරන්න'' යනුවෙන් සඳහන් කළේය.

සීනි බදු අඩුකිරීම හේතුවෙන් කූඨ ව්‍යාපාරිකයන් වංචා සහගත ලෙස අධික ලාබ ලැබූ බවට අනාවරණ වූයේ 2020 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලනය යටතේය. එවක රුපියල් 50ක්ව පැවැති සීනි සඳහා පනවා තිබූ බද්ද සත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ රජයට අහිමි වූ බදු මුදල රුපියල් කෝටි 15,900ක් හෙවත් බිලියන 15.9 යැයි වාර්තා විය. බදු මුදල් අඩු කිරීමෙන් ලාභ ලැබූ ප්‍රධාන සමාගම් හයක් පවතින බව මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ කාරක සභාව වෙත නිල වශයෙන් ලබා දී ඇති සීනි සඳහා අයකරනු ලබන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම පිළිබඳ වාර්තාවේ සඳහන් විය. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් මිලියන 125ක් ගෙන්වූ පිරමීඩ් විල්මා සමාගම, කිලෝග්‍රෑම් මිලියන 36ක් ගෙන්වූ ඇම්රෝ ෂුගර්ස් සමාගම, කිලෝග්‍රෑම් මිලියන 27ක් ගෙන්වූ පෑලිගොඩ ට්‍රේඩිං සමාගම ඒ අතරින් ඉදිරියෙන් සිටී. ඊට අමතරව ග්ලෝබල් ට්‍රේඩිං සමාගම සහ ආර්ජී බ්‍රදර්ස් සමාගම මෙම බදු වැඩි කිරීමෙන් අයුතු ලාභ ලබා ඇත. මෙම සමාගම් අතුරින් ආණ්ඩුවට හිතවත් එක්තරා සීනි ආනයනකරුවකුට ලාබ ඉපයීම සඳහා එලෙස බදු අඩු කළ බවට රට ප්‍රරා ප්‍රචාරය විය. කෙසේ නමුදු  රටට අහිමි වූ බදු ආදායම අයකර ගැනීමට කිසිදු පියවරක් ගැනීමට බලධාරීන් කටයුතු කළේ නැත. 

ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන්  50.000ක් පමණ වන අතර වාර්ෂික පරිභෝජනය මෙට්‍රික් ටොන් හයලක්‍ෂ දසදහසක් පමණ වේ. ඉන් 43෴ක් ජනතාව පරිභෝජනය කරන අතර අනෙක් 57෴ වෙනත් නිෂ්පාදන සඳහා - ප්‍රධාන වශයෙන් මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙයි. මෙරටට සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් 9ක් තිබෙන අතර රටේ සීනි වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම පාලනය කරනුයේ ඔවුන් විසිනි. විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව එම සමාගම් අතුරින් ඇතැම් සමාගම් බදු අඩුකිරීමට පෙර මාසිකව ආනයනය කරන සීනි ප්‍රමාණය මෙපරිදිය.

පෑලියගොඩ ට්‍රේඩිං සමාගම කිලෝ ග්‍රෑම් 7,832,421ක්ද, ඇම්රෝ ෂුගර් කිලෝග්‍රෑම් 6,874,421ක්ද, ග්ලෝබල් ට්‍රෙඩිං සමාගම කිලෝග්‍රෑම්  6,874,421ක්ද,  විල්සන් ට්‍රෙඩිං සමාගම කිලෝග්‍රෑම් 6,391,579ක්ද, ආර්. ජී. බ්‍රදර්ස් කිලෝ ග්‍රෑම් 5,091,863 ක්ද, වුඩ්ලන්ඩ් සහ සමාගම කිලෝ ග්‍රෑම් 3,499,337ක්ද මාසිකව සීනි ආනයනය කර තිබිණි. මතභේදයට තුඩු දුන් පිරමිඩ් විල්මා සමාගම බදු අඩු කිරීමට පෙර ආනයනය කර තිබුණේ අනෙක් සමාගම්වලට සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. එනම් කිලෝග්‍රෑම් 2,105,163 පමණ ප්‍රමාණයකි. එහෙත් බදු සහනය හිමිවීමෙන් පසු එම සමාගම මසකට කිලෝග්‍රෑම් 27,823,989 දක්වා ආනයනය කිරීමට කටයුතු කර තිබිණි. එය සියයට 1222ක වැඩිවීමකි. 

ආනයනය කරන ලද භාණ්ඩ බදු නොගෙවා බන්ධිත ගබඩාවල ගබඩා කළ හැකිය. බදු ගෙවීමට සිදුවන්නේ එම තොග විවෘත වෙළෙඳපොළට නිකුත් කරන විටය. පිරමිඩ් විල්මා විසින් 2020 ඔක්තෝබර් 13 වැනි දින සීනි මෙට්‍රික් ටොන් 7,608ක් ආනයනය කර ඇති අතර, ඒවා බන්ධිත ගබඩා පහසුකම යටතේ (ගබඩා අංක 7201171) රඳවා තබා ඇත. එම තොගයෙන් මෙට්‍රික් ටොන් 7,468ක් බදු අඩු කළ දිනයේම නිකුත් කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම සමාගමට පමණක් 2020 ඔක්තෝබර් 14 වැනි දින රුපියල් මිලියන 378 ක ක්ෂණික බදු ප්‍රතිලාභයක් ලැබී ඇත.

2020 සීනි බදු අඩුකරන විට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ටොන් 80,000ක් ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල තිබූ අතර ඔවුන් සියලු දෙනාම සීනි කිලෝවකටම රුපියල් 50ක තීරු බද්දක් ගෙවා තිබුණි. බදු අඩු කිරීම හේතුවෙන් මෙම පිරිසට විශාල අගතියක් සිදු විය.

2023 නොවැම්බරයේ පනවන ලද රුපියල් 50 බද්ද පැනවීමට දිනකට පෙර පැරණි බදු මුදල වූ කිලෝවකට සත 25 බැගින් බදු ගෙවා සීනි කිලෝග්‍රෑම් 5,20,000 රේගුවෙන් නිදහස් කරගෙන ගොස් ඇත්තේද ඉහත කී ගජමිතුරු සමාගම බවට වාර්තා වේ. ඒ අනුව දැනට වෙළෙඳපොළේ පවතින මිල යටතේ එම සීනි තොග වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් මෙවර ඔවුන් උපයාගන්නා ලාබය කෙතරම්දැයි සිතාගත හැකිය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02