2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ලක්ෂ ගණනකට විදුලි බිල රතුවෙයි

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 178

විදුලි ගාස්තු වැඩිවීමට අමතරව විදුලි බිල සම්බන්ධව මේ වනවිට රට තුළ යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බව බව පෙනීයයි. විදුලි බිල මාර්ගගත ක්‍රමයට ලබාදීමට ගත් තීරණය මෙම තත්ත්වයට හේතු වී තිබේ. ඇතැම් තැනක විදුලි බිල්පත් ලැබීම පමාවීම හේතුකොටගෙන ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. විදුලි බිල සම්බන්ධව නිර්මාණය වී ඇති මෙම අර්බුදය පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කරමු.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකම මාසයක් දෙකක් විදුලි බිල තමා අතට පත් නොවීම හේතුවෙන් පාරිභෝගිකයන් පීඩාවට පත්ව සිටින බව අප වෙත වාර්තා විය.

''පහුගිය මාස දෙක තුනේම විදුලි බිල හරියට ලැබුණේ නෑ. දැන් හදිස්සියෙම රතු බිල් ඇවිල්ල. ගෙව්වේ නැත්නම් විදුලිය කපනවා කියලා කියනවා. අපි කතා කරාම අපේ දුරකථන අංක නොලැබීම ගැන කියනවා. මේ විදිහට එකපාරටම බිල් ගෙවන්න අපිට බෑ...''

මෙම චෝදනාව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇසෙන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම ගැටලුව මෙතෙක් කරළියට පැමිණ නොමැත.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමට මේ වනවිට ලක්ෂ 8ක පමණ විදුලි සම්බන්ධතා පිළිබඳ මෙම ගැටලුව නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම බස්නාහිර පළාත කොළඹ, මීගමුව, කළුතර, ගම්පහ ආදී ප්‍රදේශවල තත්ත්වය බරපතළය.

මේ වනවිට විදුලිබල මණ්ඩලය කඩදාසි බිල්පත් නිකුත් කිරීමෙන් බැහැර වීමට තීරණය කොට ඇති බව පෙනී යයි. බිල් පතක් මුද්‍රණය කිරීමට රුපියල් 60ක පමණ ප්‍රමාණයක් වැයවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බව කියැවේ.

දැන් බොහෝ තැනක විදුලි ගාස්තු පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන්නේ ප්‍රධාන වශයෙන්ම දුරකථන කෙටි පණිවිඩ මාර්ගයෙනි. එහෙත් මෙම කෙටි පණිවුඩ සඳහා වන දුරකථන අංක ලියාපදිංචිය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදුව ඇත්දැයි ගැටලුවකි.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා අප මේ පිළිබඳව විමසා සිටියෙමු.

''අපට මේ ගැටලුව සම්බන්ධව විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් තිබෙනවා. පාරිභෝගිකයෝ කතා කරනවා. විදුලිබල මණ්ඩලයේ මීට කලින් ලියාපදිංචිවූ දුරකථන අංක සොයා බැලීමකින් තොරව භාවිතා කරපු නිසා ගැටලුවක් ඇතිවෙලා. දැන් ඒ අංක ඇතැම් පාරිභෝගිකයෝ සතුව නැහැ.''

පසුගිය දිනවල මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීම සඳහා කිව්.ආර්. කේතයක්ද විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කොට තිබුණි. එහෙත් මාර්ගගත ක්‍රමයට සිය පාරිභෝගිකයාට බිල්පත ලබාගත හැකිදැයි ඔවුන් විමසීමක් සිදුකර නැත. මේ සම්බන්ධවද ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ පිළිබඳවද ඇතැම් පාරිභෝගිකයෝ අප සමඟ අදහස් දැක්වූහ.

''වෙනදාට බිල ගේන කෙනා ඇවිල්ලා අපිට චූටි ස්ටිකර් කෑල්ලක් දීලා ගියා. මේකෙන් බිල කොහොමද බලාගන්නෙ කියලා කිව්වේ නැහැ. ඇත්තටම ඔය වැඩේ කරන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයි මගේ ළඟ තියෙන්නෙ. කවුරුහරි දරුවෙක් හොයාගන්න ඕන මේක බලාගන්න. අපිට පොඩියට හරි ගාන තියෙන කඩදාසියක් ඕනෑ.''

තාක්ෂණික අවබෝධය ඇති අයට මෙම තත්ත්වය එතරම් ගැටලුවක් නොවෙයි. දරිද්‍රතාවයෙන් පෙළෙන වැඩිහිටියන් සිටින නිවෙස් සඳහා මෙවන් ක්‍රමවේදයක් හඳුන්වා දීම කොතරම් සාධාරණද යන්න ගැටලු සහගතය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මේ පිළිබඳවද අදහස් දක්වයි.

''වාසුදේව මන්ත්‍රීතුමා පවා අපිට ලිපියක් මගින් දන්වලා තියෙනවා පාරිභෝගිකයෙක් විදිහට කඩදාසි බිල්පත තමන්ට ලැබිය යුතුයි කියලා. බොහෝ වැඩිහිටියන්ට තාක්ෂණික සාක්ෂරතාවය නැහැ. අපි මේ පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දුන්නා. කොමිෂන් සභාව කියලා තියෙන්නේ මේ ක්‍රමවේදයට කැමැති අයට අදාල මාර්ගගත බිල්පත් යොමුකරන්න කියලා...''

එහෙත් පාරිභෝගිකයන්ගේ කැමැත්ත අකැමැත්ත පිළිබඳ විමසා බැලීමක් බලධාරීන් විසින් සිදුකොට නොමැත. ඒ අනුව මෙය හුදු අත්තනෝමතික තීරණයක් බව පෙනී යයි. කෙසේවෙතත් මෙය කාලයේ අවශ්‍යතාවයක් බවත් නිසි යාන්ත්‍රණයක් තුළින් ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළ යුතුය. අප කළ විමසීමේදී බොහෝ තරුණයන් මේ පිළිබඳ පළකළේ මෙවන් අදහසකි.

''බිල් එක ඔන්ලයින් එන එක හොඳයි. බොරුවට කඩදාසි නාස්ති කරන්න ඕනේ නැහැ. රටක් විදිහට අපි අප්ඩේට් වෙන්න ඕනෑ. ඒත් මේ වගේ වැඩක් කරන්න කලින් නිවැරදි අධ්‍යයනයක් කිරීම වැදගත්. එහෙම නැතිව මේ වැඩ කරන්න ගියාම මේ විදිහට අවුල් වෙන්නේ. එහෙම අවුල් ඇතිවුණාම කොච්චර හොඳ ක්‍රමවේදයක් වුණත් ජනතාවට එපා වෙනවා.''

යහපත් දේවල් පවා අධ්‍යයනයකින් අවබෝධයකින් තොරව සිදුකිරීමට ගොස් සිදුවූ හානිය පිළිබඳව රටක් ලෙස අප පාඩම ඉගෙන නොගත් බව පෙනීයයි.

මෙවන් වටපිටාවක් හමුවේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා උද්ගතව ඇති තත්වය පිළිබඳ තවදුරටත් අප සමග කරුණු පැහැදිලි කළේය.

''මේ ගොල්ලෝ මුලින්ම කිව්වෙ කැමැති අයට මේ ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා. ඒත් කලින් අරගත්ත දුරකථන අංකවලට ලියාපදිංචිය සිදුකළේ කැමැත්ත නැතුව. මට පානදුරෙන් කළුතරින් එහෙම කතාකළා. ඒ පාරිභෝගිකයො විදුලි සම්බන්ධතාවය විසන්ධි කරනකල්, කිසි දෙයක් දන්නෙ නෑ. සාමාන්‍යයෙන් පාරිභෝගිකයෝ බිල ගෙවාගන්න බැරුව පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවක මේ වගේ දේවල් සිදුවීම අසාධාරණයි.''

බොහෝවිට විදුලිබිල සම්බන්ධ කෙටි පණිවිඩ ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය කියවා තේරුම් කර ගැනීමටද ඇතමකුට පහසු නැත. සිංහල භාෂාවෙන් කෙටි පණිවිඩයක් ලැබුණද ඇතැම් දුරකථනවල සිංහල භාෂාව කියැවීමේ පහසුකම් නොමැත. එසේම තවදුරටත් දුරකථන භාවිත නොකරන පිරිස්ද රට තුළ සිටින බව අප අමතක කළයුතු නැත.

තුන් හතර ගුණයකින් ඉකුත් සමයේ විදුලි ගාස්තු වැඩිවූ බව අපි දනිමු. එවන් වටපිටාවක විදුලි පාරිභෝගිකයන් තවත් පීඩාවට පත්කිරීම කොතරම් යුක්ති යුක්තදැයි ප්‍රශ්න කර සිටිමු. අවම වශයෙන් විදුලි බිල මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලැබෙන්නේ නම්, මනු කියවන්නන් සහ කඩදාසි සඳහා යන ගාස්තුවලින් ලැබෙන ලාභය පාරිභෝගිකයන් වෙත ලබාදිය යුතුව තිබේ. එහෙත් එවැන්නක්ද තවමත් සිදුව නොමැත. සිදුවෙමින් ඇත්තේ පිට පිට පාරිභෝගිකයන්ට බර පැටවීම පමණි.

සැබැවින්ම සියල්ලන් තමන්ගේ මට්ටමින් මැන කටයුතු කරන මෙම බලධාරීන්ගේ උඩඟු අත්තනෝමතිකභාවය ඇත්තෙන්ම පිළිකුල් සහගතය.
 
I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02