2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

සීනි මිලෙන් වළපල්ලට යන බේකරි හිමියෝ

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බී වේල පිරිමසා ගැනීමද දැන් කළ හැක්කේ ඇති හැකි උන්ට මිස නැති බැරි උන්ට නොවේ. බේකරි නිෂ්පාදනවල මිල ගණන් පසුගිය කාලයේ ඉහළ ගියේ විදුලි වේගයෙනි. දැන් නැවත සීනි පිටි ආදී අමුද්‍රව්‍ය මිල ගණන්ද, විදුලිය, ගෑස් සහ ජල ගාස්තු ද ඉහළ ගොස් තිබේ. බේකරි නිෂ්පාදනවලට ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? දැන් නිර්මාණය වී ඇත්තේ අලුත් ගැටලුවකි.

මෙම තත්ත්වය පිළිබඳ විමසා බැලීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ. ජයවර්ධන මහතා අප සම්බන්ධ කරගතිමු. මෙහිදී පළමුව අවධානය යොමුවූයේ මේ දිනවල මතුවී ඇති සීනි හිඟය පිළිබඳවයි.

''සීනිවලට පාලන මිලක් දැම්මා කියලා කිව්වා. ඒත් බ්‍රහස්පතින්දාත් කොළඹ සීනි කිලෝවක් රුපියල් 300යි. පාලන මිලෙන් ඇති වැඩක් නෑ. අනික් පැත්‌‌ෙතන්. සීනි හිඟයකුත් තියෙනවා. සීනි හංගලාද මොනවා කරලාද කියලා අපි දන්නේ නෑ. මේ පිළිබඳ හොයලා බලන්න කියල තමා අපි කියන්නෙ.''

මෙරට සීනි වැඩි වශයෙන් භාවිත වන්නේ බේකරි කර්මාන්තයට සහ රසකැවිලි කර්මාන්තය තුළයි. ඒ අනුව සීනි මිල වැඩිවීම සහ හිඟය මෙරට බේකරි කර්මාන්තය ඇතුළු කර්මාන්ත රැසකට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි පැහැදිලිය.

සීනි මිල අර්බුද නිර්මාණය වීමට පෙරාතුවම කර්මාන්තය ක්‍රමයෙන් අගාධයට යමින් පැවතුණි. නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ඉල්ලුමද සැලකිය යුතු ලෙස පහත වැටී තිබූ අයුරු නිරීක්ෂණය විය.

''බේකරි නිෂ්පාදනවල මිල දැන් වැඩි කරලා ඉවරයි. තවත් මිල වැඩි කරලා විකුණන්න බෑ. තවදුරටත් මිල වැඩි කළොත් පාරිභෝගික ජනතාවට මිලදී ගන්නත් බෑ. අපිට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ලංකාවේ ගොවීන් ළඟට විශාලතම ආහාර නිෂ්පාදනය සිදුකරන්නෙ බේකරි කර්මාන්තකරුවන්. ඒත් දැන් මේ කර්මාන්තය කඩා වැටෙමින් තිබෙනවා.''

පසුගිය කාලය තුළ සිදුවූ විදුලි ගාස්තු වැඩි වීමෙන්ද බේකරි කර්මාන්තය දැඩි ලෙස පීඩාවට පත්වී ඇති බව ජයවර්ධන මහතා පෙන්වා දෙයි. 

''මේ විදුලි බිල දරාගෙන මේ කර්මාන්තය කරන්න බෑ කීයටවත්. විශාල විදුලි බිලක් එන්නෙ නැති බේකරියක් නෑ. බේකරි සියයට අසූවක විතර මොන යම් හෝ විදුලි උපකරණයක් පාවිච්චි වෙනවා. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක කරන බේකරි සියයට විස්සක් විතර තිබෙනවා. දැන් ඒ බේකරි සම්පූර්ණයෙන්ම වහන්න වෙනවා.''

සීයයට හාර සීයකින් විදුලි බිල වැඩි වී ඇති බවත්, ඒ අනුව ලක්ෂ දෙකක විදුලි බිලක් පැමිණි බේකරියකට දැන් ලක්ෂ අටක පමණ මුදලක් විදුලි ගාස්තු ලෙස ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

විදුලිය පමණක් නොව ජල, ගෑස්, ඉන්ධන ගාස්තු ඉහළ යාමට බේකරි කර්මාන්තයට දැවැන්ත ලෙස බලපා තිබේ.

''විදුලි බිල විතරක් නෙවෙයි වතුර බිල වැඩි වුණා, ගෑස් වැඩි වුණා, ඩීසල් වැඩිවුණා දැන් මිනිස්සුන්ට වැඩිපුර වැටුපක් දෙන්න ඕනෑ. මේ මිල වැඩිවීම්වලට සාපේක්ෂව නම් අපි බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දාලා නැහැ. දැන් මිල වැඩිවෙලා ඉවරයි. තවදුරටත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කරන්නේ නෑ. එහෙම වුණොත් මිනිස්සු කෑම ගන්නෙ නෑ.''

මේ වනවිට දෛනික ආදායම් ලබන සාමාන්‍ය ජනතාව මෙන්ම අඩු වැටුප් ලබන පිරිස්ද බේකරි නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. පෝෂණ අවශ්‍යතාවය කවරක් වෙතත් පාන් කෑල්ලකින් කුස පුරවාගෙන ජීවිකාව ගෙනයාමට උත්සාහ දැරෑවන්ගේ වේදනාව පිළිබඳ බලධාරීන්ට සැබෑවටම අවබෝධයක් නැත.

මෙම පැහැදිලි කිරීම් අනුව පෙනී යන්නේ මිල වැඩි කළද නොකළද බේකරි කර්මාන්තය කඩාවැටීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. මෙය මඟ සිටියත් ගෙදර ගියත් නැසී යාමට වන තත්ත්වයකි.

''අපි ඉල්ලන්නේ අපිට පනවලා තියෙන බදුවලින් හරි සහනයක් ලබාදෙන්න. සියයට දහහතාමාරක බද්දක් අපි ගෙවන්න ඕනෑ මේ බේකරි නිෂ්පාදනවලට. ඒ කියන්නේ රෝල්ස් එකෙන් පේස්ට්‍රියෙන් පවා බදු ගහනව. ඒ නිසා විදුලිය වගේ ගාස්තු අඩු කරන්න බැරිනම් අපි ආණ්ඩුවෙන් එල්ලන්නේ මේ බදුවලින් හරි අපිට සහනයක් ලබාදෙන්න මේ කර්මාන්ත රැකගන්න කියලයි.''

බේකරි නිෂ්පාදන සඳහා ආනයනය කරන පාම් ඔයිල්, පොල්තෙල්, මාගරීන් වගේ අමුද්‍රව්‍ය සඳහාද සැලකිය යුතු බදු පනවා තිබේ. බේකරිකරුවන් ඉල්ලා සිටින්නේ මෙම නිෂ්පාදනවල හෝ බදු අඩුකොට තමන්හට සහනයක් ලබාදෙන ලෙසයි.

''කොහොම නමුත් මේ තිබෙන බද්ද ගෙවන්නෙ බේකරිකරුවන්ගෙන් සීයයට පනහයි. සුළු ප්‍රමාණයේ බේකරිකරුවන් මේ බද්දට යටත් වෙන්නේ නෑ. මේ තත්ත්වය මත කර්මාන්තයේ තරගකාරීත්වය නැතිවෙනවා. පිරිසක් විශාල වශයෙන් අසාධාරණයට ලක්වෙලා ඉන්නේ. මේ ගැටලු බලධාරීන් විසඳන්න ඕනෑ.''

සමස්තයක් ලෙස බේකරි කර්මාන්තය දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව මෙම කරුණු දැක්වීම තුළින් පෙනී යයි. තවත් පසෙකින් සාමාන්‍ය මහජනයාද මෙම නිෂ්පාදනවල මිල දරාගත නොහැකිව පීඩාවට පත්වී සිටිති. සියලු පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටුවන කඩිනම් විසඳුමක් ලබාදීම වගකිවයුත්තන්ගේ යුතුකමයි.

I චමිඳු නිසල්