2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මෙදා පාර එන්නේ දීලත් බැරි නොදිත් බැරි අයවැයක්

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

2024 සඳහා වූ අයවැය ලේඛනය ලබන 13 වැනිදා සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැය තුළින් ජනතාවට සහන රැසක් ලබා දෙන බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියයි. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සහන මිලකට ලබාදීමට සූදානම් බවද දැනගන්නට තිබේ. කෙසේ වුවද ජීවන වියදම් අරගලයට මැදිව දුක් විඳින ජනතාව අයවැය මගින් යම් සහනයක් බලාපොරොත්තු වීම සාධාරණය. එහෙත් එම බලාපොරොත්තු ඉටුවේද යන්න හරියටම කිව හැක්කේ 13 වැනිදා සවස් කාලයේදීය.

මෙවර අයවැය ලේඛනයෙන් ලබන ජනවාරි මාසයේ සිට වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කරන බව ජනාධිපතිවරයාම කල් තියා ප්‍රකාශ කරන්නට යෙදුණි. එයට අතිරේක වශයෙන් තවත් විශේෂ බදු පනවන බවද කියයි. බිම් බද්ද ද එවැනි අලුත් බද්දකි. රාජ්‍ය සේවකයන් උදෙසා රුපියල් 12,500 ක මාසික වැටුප් වැඩි කිරීමකට යන බවද ප්‍රකාශිතය. මෙලෙස කල් ඇතිව බළලා මල්ලෙන් එළියට පැනීමෙන් සිදුවිය හැකි අයහපත් ප්‍රතිවිපාක ඉමහත්ය. වැට් බදු ඉහළ නැංවීම දැනගත් බොහෝ වෙළෙඳුන් වැඩිවන මිලට අලෙවි කිරීම සඳහා දැන් සිටම තොග රැස්කර ගනිමින් සිටින බව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි. එයින් සිදුවන්නේ පාරිභෝගිකයා සූරා ගනිමින් අනවශ්‍ය ලාභ ලබාගැනීමට ඔවුනට මංපෙත් විවර වීමය.
කෙසේ වුවද මෑත අතීතයේ අයවැය ලේඛනයෙන් කළ බොහෝ දේවල් මේ වන විට අයවැයට පෙර සිදු කරයි. ඒ නිසා ජනතාව අයවැය ලේඛනය ගැන දක්වන උනන්දුව අඩුවෙමින් පවතී. පාර්ලිමේන්තුවේ කියවන අයවැය ලේඛනය මගින් ජන ජීවිතයට එතරම් බලපෑමක් සිදු නොවෙන්නේ හුදෙක් එය දේශපාලන කතාවක් බවට පත්ව තිබීමය. එසේම අයවැය ලේඛනයෙන් කෙරෙන බොහෝ යෝජනා අදාළ වර්ෂය තුළ ක්‍රියාත්මක නොකෙරේ. ඊළඟ අයවැය ලේඛනයට අලුතින් ඒවා ඇතුළත් නොවේ නම් අහෝසි වී යනවා ඇත. පසුගිය යහපාලන ආණ්ඩුවෙන් ගැසූ මන්දිර බද්ද එවැන්නකි. එයට කුමක් සිදුවූවාදැයි දැනගන්නට නැත. පසුගිය ආණ්ඩුවෙන් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙනම කාර්යාංශයක් ස්ථාපිත කළ ද එය ක්‍රියාත්මක වූ බවක් දැනගන්නට නැත.

මේ හැරුණුවිට අයවැය ලේඛනය මගින් ඒ ඒ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සඳහා වෙන් කරන මුදල් ප්‍රතිපාදනවලින් පවා වැඩක් ගැනීමට අමාත්‍යාංශවල ඇතැම් ලේකම්වරු අපොහොසත් වෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙන් කරන මුදල්වලින් බොහෝ ප්‍රමාණයක් වියදම් නොකිරීම නිසා මුදල් වර්ෂය අවසානයේදී ආපසු මහා භාණ්ඩාගාරයට යන තත්ත්වයක් උද්ගතව තිබේ. මෙය සිදුවන්නේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙනි. මෙලෙස භාවිත නොකරන මුදල් ඊළඟ වර්ෂයේදී ලැබෙන්නේ නැත. ඒවා 'අහෝසි කම්ම' ගණයට වැටේ.

එසේම පසුගිය වර්ෂ කිහිපය පිළිබඳ සලකා බැලීමේදී අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආදිය සඳහා සමස්ත අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉතාම අඩුය. ආසියානු රටවලින් අධ්‍යාපනය සඳහා අඩුවෙන්ම වෙන් කරන රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇත. එය 2% ක ආසන්න ප්‍රමාණයකි. ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අවම මුදලක් වැය කර ඉතිරි මුදල් දෙමාපියන්ගෙන් සහ සුබ පතන්නන්ගෙන් ලබාගැනීමටය. ඒ නිසා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වසරින් වසර පහළට වැටේ. නිදහස් සෞඛ්‍ය වෙන් කරන මුදල් විවිධ පුද්ගලයන් සහ ආයතන මගින් ගසාකෑම නිසා එම මුදල් රෝගීන් සඳහා සම්පූර්ණයෙන් වැය කිරීමට නොහැකි වී තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව රජයේ රෝහල්වලින් පහසුකම් ලබාගැනීමට පෙළඹෙන නිසා වැඩි ජනතාවක් ප්‍රතිකාර සඳහා යොමුවෙති. එහෙත් ඔවුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම වසරින් වසර පහළ යන ප්‍රවණතාවක් පවතී. මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් දී ඇත්තේ ජනතා සුබසාධනය සඳහා වැඩි මුදලක් වෙන්කරන ලෙසටය. එහෙත් ආදායම එකතු කිරීම පහළ මට්ටමක තිබියදී සුබසාධනයට වැඩියෙන් වෙන් කිරීම ගැටලුවකි.

නිදහසින් පසු ඉදිරිපත් කරන අභියෝගාත්මක අයවැය මෙම 2024 සඳහා වූ අයවැය ලේඛනය බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වෙන කවරදාකවත් නොවූ ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට නතුවීමට අපට සිදුව තිබීම මෙයට හේතුව බවය. අයවැය ලේඛනය සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විග්‍රහක යෙදෙමින් ඔහු මෙසේද කීවේය.

දැන් ටික කාලයක සිට අපේ අයවැය ලේඛනවල රහස්‍යභාවය නැතිවෙලා තියෙන්නේ. අයවැය ඉදිරිපත් කරන සාම්ප්‍රදායික ක්‍රමය නැතිවෙලා තියෙනවා. අයවැය රහස් පෙට්ටිය වෙනුවට එය ෆයිල් කවරයකට ලඝුවෙලා ඇති බව පෙනෙනවා. අයවැය ගැන ගැඹුරු සංවාදයක් පාර්ලිමේන්තුව තුළ හෝ පිටත ඇතිවන්නේ නැහැ. ඒ වගේම ජනතාව අයවැය ගැන අතීතයේ වගේ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් දන්නවා එය හිස් කොළයක් බව. අයවැයේ සඳහන් දේවල් ඊට පෙර ප්‍රකාශයට පත්වෙනවා. අයවැයෙන් කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.

පසුගිය වර ඉදිරිපත් වූ අයවැය ලේඛන ආදර්ශයට ගත්තත් ඒවායේ සඳහන් කරුණු ඉටුවුණේ නැහැ. අයවැය පරතරය අඩු කිරීම, ආදායම වැඩිකර ගැනීම, වියදම අඩුකර ගැනීම ආදිය හිස් පොරොන්දු බවට පත් වුණා. මේ වර්ෂයේ මැද සිට සකස් කරන අයවැයෙන් ඊළඟ වසර ගැන කියන්න බැහැ. මාස 2-3 යන විට තේරුම් යනවා අදාළ ඉලක්කවලට යන්න බැරි වග. මාස තුනක් යන විට පරිපූරක ඇස්තමේන්තු දමලා වියදම වැඩිකර ගන්න පටන් ගන්නවා.

උදාහරණයක් පැවසුවොත් 2023 අයවැය මගින් රුපියල් බිලියන 3400 ක පමණ ආදායමක් අපේක්ෂා කළා. ඒත් මුල් මාස 10 තුළ මේ වන විට ලැබුණේ බිලියන 2390ක් පමණයි. තව මාස දෙකක් තිබෙන නිසා වසර අවසාන වන විට උපරිම වශයෙන් බිලියන 2900කට ආසන්න ආදායමක් ලබාගත හැකි යැයි උපකල්පනය කළහොත් බිලියන 500ක පමණ වෙනසක් තියෙනවා. එයින් පෙනෙන්නේ ආදායම සංඛ්‍යාත්මකව දැක්වුවද කිසිවිටෙක එය ලබාගත නොහැකි බවයි. වියදම ද අපේක්ෂාවට වඩා ඉහළ යනවා. මෙය නිකම් ඉලක්කම් සෙල්ලමක් පමණයි.

මෙවර අයවැය සකසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ සහ ඒවා පිළිබඳ එකඟ වූ කරුණු සඵල කර ගැනීමටයි. අරමුදල ඍජුවම උපදෙස් දීලා තිබෙනවා මෙවර හෝ නිවැරදි සංඛ්‍යාලේඛන දෙන්නය කියලා. ඔවුන්ගේ නිර්දේශ මත 2024 ආදායම රුපියල් බිලියන 4150කට ආසන්න විය යුතුයි. මේ වනවිට බිලියන 2190ක් ලබන රටක් බිලියන 4150ක් ලබන්නේ කෙසේද යන්න ගැටලු සහගතයි. ඒ සඳහා බදු වැඩි කිරීමට සහ රාජ්‍ය ආයතන විකිණීමට සිදුවීම ඒකාන්තයි. බදු වැඩි කිරිල්ල තව කොතරම් දුරට කළ හැකිද යන්න අවිනිශ්චිතයි. දැනට උපරිමයෙන් බදු පනවා තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය අලෙවි කිරීමට ගියහොත් ජනතා විරෝධය ඉහළ යනවා.

අනික් පැත්තෙන් අරමුදල නිර්දේශ කර තිබෙනවා සුබසාධන වියදම් වැඩි කරන්න කියලා. සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කරන ලෙස කියනවා. 2023 ට සුබසාධන වියදම් රුපියල් බිලියන 65 යි වෙන්කර තිබුණේ. මෙවර ඒ සඳහා බිලියන 200ක් වෙන් කළ යුතු බවයි කියන්නේ. එසේම මේ වන විට වෘත්තීය සමිති රජයේ සේවක වැටුප රුපියල් 20000කින් වැඩි කරන ලෙස බල කරන්නට පටන්ගෙන. විශ්‍රාමිකයන්ද සමඟ රාජ්‍ය සේවකයන් ලක්ෂ 20ක් පමණ සිටිනවා. මේ අයට රුපියල් 10000 ගණනේ වැටුප් වැඩි වැඩි කළහොත් රුපියල් බිලියන 20ක් පමණ වැය වෙනවා. වසරකට වැය වන මුදල බිලියන 240ක් වෙනවා. එම වියදම් පියවීමට ආදායම සොයාගත යුතුයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන වැය ද වැඩි කරන බව කියනවා. ඒ අතර අයවැය පරතරය අඩු කළ යුතු බවද තවත් කොන්දේසියක්. මෙයට වඩා ආදායම සෙවීම අපහසුයි. තවත් බදු පැනවුවහොත් ව්‍යාපාරවලට සිදුවන බලපෑම අති විශාලයි. තව අපේ දේවල් විකුණන්න ගියහොත් රජයට එරෙහි මහජන මතයක් ඇතිවෙලා රජයේ පැවැත්මටද හානිදායක වෙනවා. ආණ්ඩුව මේ වන විට ගිරයට අසුවූ පුවක් ගෙඩියක් බවට පත්වෙලයි ඉන්නේ.

මේ අතර 2048 දක්වා රට සංවර්ධනය කරන බවට සිදු කරන ප්‍රකාශය හුදු වාගාලාප පමණයි. එය කරුණු කාරණා නොදැන කරන ප්‍රකාශයක් බවයි අපට තේරෙන්නේ. එකවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමද රටේ ජනතාව සතුටු කිරීමද උභතෝකෝටික ප්‍රශ්නයක් බවට පත්වෙලා. මෙය දෙපැත්ත දැල්වෙන විලක්කුවක් වගෙයි. මෙවර අයවැයේදී නිවැරදි සංඛ්‍යාලේඛන හා දත්ත පාවිච්චි කරන්න වෙනවා. හැමදාම දාපු සෙල්ලම් මෙම අයවැයේදී දාන්න ලැබෙන්නේ නැහැ. වෙනදා වගේ බොරු කරන්න ලැබෙන්නේ නැහැ. සියල්ල මූල්‍ය අරමුදලේ මඟපෙන්වීම අනුව විය යුතුයි. රටේ දේශපාලන අස්ථාවරභාවය ද මෙවර තදින්ම බලපානවා. මෙවරත් සුපුරුදු පරිදි අයවැය දේශපාලනීකරණය කිරීමට බොහෝ අය බලාගෙන ඉන්නවා. මෙහිදී තම ප්‍රතිරෑපය නංවාගෙන ඉදිරි මැතිවරණවලදී කතිර ලබාගන්නට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීම හා ඡන්ද දායකයා සතුටු කිරීම කොන් දෙකක්. එකවර මේ දෙකම කරන්න ලැබෙන්නේ නැහැ. දැනට ණය ගෙවීම නවතා දමා තිබුණත් දිගටම එය කරන්න බැහැ. ලබන වසරේ ණය සේවාකරණයට මුදල් වෙන් කළ යුතු වෙනවා. එලෙස ණය ගෙවතොත් රටේ ආර්ථික සංකෝචනය තවත් වැඩි විය හැකියි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර මහ බැංකුවෙන් ණය ගන්න බැරි වෙනවා. මුදල් මුද්‍රණය නවත්වලයි තියෙන්නේ. මේ වන විට රුපියල් ට්‍රිලියන 6ක් පමණ මහ බැංකුව ආයෝජනය කළත් ඉදිරියට එය කළ නොහැකියි. කොහොම වුණත් නිදහසින් පසු ඉදිරිපත් කිරීමට සිදුව ඇති බරපතළ අභියෝගාත්මක අයවැය මෙයයි.''

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02