“තැපැල්පතිට කියන්න, ජනාධිපති තීන්දුවකට එකඟවෙන්නේ නැත්නම් මට අලුත් තැපැල්පති කෙනෙක් හොයන්න වෙයි කියලා. කරුණාකරලා ඒ ඉඩම අරගන්න ක්‍රියා කරන්න.” පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවන් ප්‍රකාශයක් කළේ නුවරඑළියේ පැවති රැස්වීමකදී රාජ්‍ය නිලධාරීන් අමතමිනි.
“ඊටපස්සේ මහනුවර ගොඩනැගිල්ලත් ඕන හෝටලයක් කරන්න. ඒකටත් ලෑස්තිවෙන්න. මාත් එක්ක ආපහු මේවා කරන්න එපා. ඒ ගොල්ලන්ට ඉඩම් දෙන්න ඕනේ කියනකොට දෙන්න. මේක ඔක්කොම කරලා සතියකින් ඉවර කරන්න.” ඔහු යළිත් කියා සිටියේය.
මෙසේ නියෝග නිකුත් කළේ කාගෙත් ආදරය දිනාගත් නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් සඳහා පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
පාලකයන්ට දිගු කලක සිට මේ අලංකාර බ්‍රිතාන්‍ය යුගය සිහිපත් කරන ගොඩනැගිල්ලේ හෝටලයක් සෑදීමේ උණක් හටගෙන තිබේ. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ඔවුන්ගේ ආඩම්බරයට හේතුවන එම ගොඩනැගිල්ල හෝටලයක් සඳහා පෞද්ගලික අංශයට පවරා දීමට කැමති නැත. මේ නිසා කලක පටන් පවතින හෝටල් යෝජනාව ක්‍රියාත්මක වුණේ නැත.
මෙම ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රුසක, තැපැල් සේවකයන්ගේ හා ජනතාවගේ දැඩි විරෝධය පළවී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකශයට පසුදින එම ගොඩනැගිල්ල ඉදිරිපිට විදේශිකයෝද විරෝධතා බැනර් ප්‍රදර්ශනය කළහ. මේ වනවිට තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කළු කොඩි ඔසවා තිබෙනු දැකගත හැකිය.
සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාගේ හෝටල යෝජනාවට විශාල විරෝධතා එල්ල වනු දැකිය හැකිය. බොහෝදෙනා තම ෆේස්බුක් ගිණුම්වල සටහන් තබමින් පවසන්නේ හෝටල් අවශ්‍ය නම් නුවරඑළිය ජනාධිපති මන්දිරය හෝටලයක් කර තැපැල් ගොඩනැගිල්ලට අත නොතබන ලෙසය.
මේ අතර මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයෝ පැය 48ක සංකේත වැඩ වර්ජනයක් 7දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළහ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ මෙහෙයවීමෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය ජූනි මාසයේදී ද තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ දෙවරක්‌ම වැඩ වර්ජනය කළහ. එයට හේතු වුණෙත් තැපැල් දෙපාර්තමේන්තුව සතු නුවරඑළිය, මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි කිහිපයක් පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙන ඇති තීරණයකි. 2017 ජූනි මාසයේදී ද නුවරඑළිය, මහනුවර සහ ගාල්ල කොටුවේ තැපැල් කාර්යාලය තුන හෝටල් ලෙස සංවර්ධනය කිරීම සඳහා විදේශ සමාගමකට ලබාදීමට රජය සැලසුම් කළ අතර තැපැල් සේවකයෝ දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදී එම ගොඩනැගිලි තැපැල් දෙපාර්තමේන්තුව සතු දේපලක් ලෙස තවදුරටත් තබා ගැනීමට කටයුතු කළහ.
ආණ්ඩුව විසින් රටේ නිෂ්පාදනය වැඩිකරනු වෙනුවට දැනට රජය සතු ගොඩනැගිලි හෝ ඉඩම් පෞද්ගලික අංශයට පවරා ආදායමක් ගැනීමට කැසකැවීම සිදුවන බව මේ සිද්ධිවලින් පෙනේ. මෙම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතේම ප්‍රතිසංස්කරණයට ලක්කර තැපැල් කටයුතුත් සිදුවන අතරම විදේශිකයන් ආකර්ෂණය කරනා හෝටලයක් හෝ වෙනත් කාර්යයක් කිරීමට හැකියාව ඇතත් එවැනි සැලසුමක් ගැන ආරංචියක් නැත. අනෙක එවැන්නකට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමත් ආණ්ඩුවට ගැටලුවකි. මේ නිසා තැපැල් වෘත්තිය සමිති මේ වනවිට කිහිපවරක්ම වැඩවර්ජන පවත්වා විරොධය දක්වා ඇත. පසුගිය ජූනි මාසයේ දී මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට යාමේ දී ආරම්භ කළ වැඩ වර්ජනයේ දී වෘත්තිය සමිතිවලට දුන් පොරොන්දුව වූයේ තවදුරටත් තැපැල් සේවා එම ස්‌ථානවල පවත්වාගෙන යාමේ අවස්ථාව සලසමින් තැපැල් දෙපාර්තමේන්තුවේ අනන්‍යතාව සුරුකෙන පරිදි තවදුරටත් අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඇති කරගනු ලබන එකඟතාවන් මත කටයුතු කිරීමයි.
මෙයට පෙරත් රාජපක්ෂ පාලන කාලයේ රජයේ පෞරාණික ගොඩනැගිලි සංවර්ධන කටයුතු සඳහා නවීකරණය කිරීම සිදුවුවත් ඒවායේ ප්‍රතිසංස්කරණයේ දී පුරාවිද්‍යා මූලධර්ම අනුගමනය නොකළ අතර ඒවා සාප්පු සංකීර්ණ බවට පත් කෙරිණි. මේ වනවිට ඒ සාප්පු බොහොමයක් අසාර්ථක වී තිබේ. එමෙන්ම ඒවායේ පුරාවිද්‍යාත්මක උරුම වටිනාකමත් අඩුවී නිකම්ම නිකං සාප්පු සහ අවන්හල් බවට පත්විය. කොළඹ කොටුවේ ඕලන්ද රෝහල, නිදහස් චතුරස්‍ර ගොඩනැගිලි, පැරණි රේස්කෝස් ගොඩනැගිලි ඒ අතරින් කිහිපයකි. මේ ගොඩනැගිලි නවීන භාවිතයට ගැනීම ගැන අපගේ විරුද්ධත්වයක් නැත. එහෙත් එහිදී පෞරාණික අගයට මුල්තැන දිය යුතුය. උදාහරණ වශයෙන් හපුතලේ ඇඩිෂම් බංගලාව විවිධ කාර්යයන් සඳහා යොදාගෙන ඇත්තේ පෞරාණික අගයට හානියක් සිදු නොවන පරිදිය.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තනන ලද්දේ 1894 වර්ෂයේ දීය. ඉංග්‍රීසින් අතර ජනප්‍රිය නිවාඩු නිකේතනයක් වූ නුවරඑළියට තැපැල් පහසුකම් සැපයීම ඒ වනවිටත් ආරම්භ වී තිබූ අතර වෙනත් ස්‌ථානයක තිබූ තැපැල් කාර්යාලය නව ගොඩනැගිල්ලක් ඉදිකර එහි රැගෙන එනු ලැබිණි. මෙය රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද්දකි.එය ටියුඩර් එඩ්වර්ඩියන් ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් අංගෝපාංග සහිතව ඉදිකර තිබේ. එංගලන්තයේ ගොඩනැගිලි සිහිපත් වන සේ අලංකාර සැලසුමකින් යුක්තව එය තනා ඇත. රතු පැහැති මෙම දෙමහල් ගොඩනැගිල්ලේ එක් පසෙක ගෙඩනැගිල්ලටම ඈඳා සාදන ලද ඔරලෝසු කණුවක්ද වේ. එය අදත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. එකල තැපැල් කාර්‍යාලය ඉදිරිපිට ඉදිකළ තැපැල් පෙට්ටියද තවමත් මෙහිදී දැකගත හැකිය. තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 2007දී පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්‌ෂිත ස්‌මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මේ නිසා පුරාවිද්‍යා පනතට අනුව එය නවීකරණය කළ නොහැකි අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංරක්ෂණ කටයුතු පමණක් කළ හැකිය.
1990 දෙසැම්බර් 26 වැනි දිනට යෙදුණු ලෝක තැපැල් දින සැමරුම වෙනුවෙන් ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම අලංකාර ගොඩනැගිල්ල ඇතුළත් සමරු මුද්දරයක්ද නිකුත් කර ඇත. නුවරඑළියට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙය නැරඹීමට පැමිණෙන අතර එහි සුබපැතුම්පත් තැපැල් මගින් තමන්ගේ රටේ සිටින පවුලේ සාමාජිකයන්ට යැවීමේ සිරිතක්ද පවතී.
රජය විසින් හෝටලයක් සඳහා පවරාදීමට නියමිත අනෙක් ගොඩනැගිල්ල වන්නේ මහනුවර පැරුණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලයි. එය පිහිටා ඇත්තේ මහනුවර දුම්රිය ස්‌ථානයට ආසන්නවය. පැවති තැපැල් කාර්යාලයේ ඉඩකඩ මදිවීම නිසා මෙම ස්ථානයට තැපැල් කාර්යාලය රැගෙන ගොස් ඇත්තේ 1902දීය. ඒ සමඟ තවත් රජයේ කාර්යාල කිහිපයක්ද එතැනට රැගෙන ගිය අතර පසුව එය මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලය බවට පත්විය. වර්ෂ 1995දී ඒ අසල නව තැපැල් සංකීර්ණ ගොඩනැගිල්ලක් ඉදිකරනු ලැබිණි. ඉන්පසුව පැරණි ගොඩනැගිල්ල තුළ මහනුවර ප්‍රාදේශීය තැපැල් තෝරන මධ්‍යස්‌ථානය, ප්‍රධාන තැපැල් ස්‌ථානාධිපති නිල නිවස, තැපැල්කරු බෙදීම් අංශය හා මහනුවර තැපැල් අභ්‍යාස ආයතනය පවත්වාගෙන යනු ලැබේ. වර්ෂ 2005දී මෙම ගොඩනැගිල්ලේ පෞරාණික අගය නිසා පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කෙරුණි.
මෙම ගොඩනැගිලි පවත්නා ලෙසට ආරක්ෂා කිරීම ලේසි නැත. විශාල මුදලක් නඩත්තුවට වැයවේ. නමුත් පෞරාණික උරුමයක් සහිත රටක් වන ලංකාවේ ආණ්ඩුවලට ඒවා පෞද්ගලික අංශයට ලබාදී අත පිසදා ගැනීමට වරම් තිබේදැයි කල්පනා කළ යුතුය. දේශපාලනඥයන් පත්වන්නේ තාවකාලිකවය. මේ ගොඩනැගිලි සියවසකටත් වඩා පැරණිය. මේ නිසා ඒවා නවීකරණය කර භාවිතයට ගැනීමේදී ගොඩනැගිල්ලේ අනන්‍යතා වටිනාකම ගැනත් සැලකිලිමත් විය යුතුය. උදාහරණ වශයෙන් නුවරඑළිය තැපැල් කන්තෝරු හෝටලයේ තැපැල් කන්තෝරුවක් නැත්නම් එයට පැමිණෙන සංචාරකයාට එහි වටිනාකමක් නැත. සුද්දන් එවැනි ගොඩනැගිලි ඕනෑ තරම් තම මව් රටවලදී දකින නිසාය.
පුරාවිද්‍යා සංරක්‌ෂණය හා ස්‌ථාන කළමනාකරණ සැලසුම් පිළිබඳ විශේෂඥයකු වන ඉංග්‍රීසි ජාතික මහාචාර්ය ගෙටානෝ පලුම්බෝ පවසන්නේ පෞද්ගලික අංශයට සංස්‌කෘතික උරුමයන් පවරා දීමෙන් සිදුවන්නේ සංස්‌කෘතික උරුමය සූරාකෑමක් බවයි.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : අන්තර්ජාලයෙනි