2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ලලිත් කොතලාවල මරණය පසුපස අබිරහස් වැලක්

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 152

ප්‍රකට ව්‍යාපාරිකයකු වූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් ඔක්තෝබර් 21 වැනිදා අලුයම බව කියැවිණි. එදින සවස් වන තෙක් දේහය බාරගැනීමට කෙනකු ඉදිරිපත් නොවූයෙන් එදින මරණ පරීක්ෂණය සිදු නොකළ බව වාර්තා විය. පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබිණි. අමතරව ශරීරයේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යැවීමට ලබාගත් බව බම්බලපිටිය පොලීසියෙන් වාර්තා විය.

මරණ පරීක්ෂණය අතරතුර ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලියා කොතලාවල මහත්මිය බම්බලපිටිය පොලීසියට කියා ඇත්තේ මරණය පිළිබඳව ඇයට වගකීමක් බාරගත නොහැකි බවකි. ඇගේ නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම්දීමක් කරන ඇය  කොතලාවල මහත්මයා පදිංචිව සිටියේ අංක 13, ද ෆොන්සේකා පාර, බම්බලපිටිය. ලිපිනයේ බවත් එහි සිටින අයගෙන් මරණය ගැන කරුණු විමසා බලන ලෙසත් වැඩිදුරටත් පොලීසියට දන්වා තිබිණ.

මේ අතර 22 වැනිදා කොතලාවල මහතාගේ මරණය සැකසහිත බව කියමින් ඒ මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් විජයරත්න මහත්මිය බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. ඒ අනුව කොතලාවල මරණය පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කෙරුණු අතර කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට නියමිත සාක්ෂි ලබාදීම පසුගිය 7 වැනිදා අවසන් කෙරිණ. ඊට අදාළ සාක්ෂිකරුවන් 8 දෙනෙකු සාක්ෂි ලබා දී ඇති අතර ඔවුන් අතරට මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක වන ෂෙරින් විජේරත්න හා බම්බලපිටිය පොලිසියේ සැරයන් විමලරත්න (8764) මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා, යූ.ඩී. රම්‍යා, සිසිර කුමාර සමරසිංහ, මහින්ද උපසේන වඩුගේ, සුනේත්‍රා කුමාරි රණසිංහ හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය වූහ.

මේ අනුව සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා පසුගිය නොවැම්බර් 7 වැනිදා දැනුම් දුන්නේය.

මේ අතර මරණයෙන් දින 13ක් ඉක්මවූ නොවැම්බර් 03 වැනිදා ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ඔහු පවසා තිබුණේ ලලිත් කොතලාවල මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවාදැක්වීමට ඒ මහතාගේ නිතීඥවරුන් ඇතුළු පිරිසක් කුමන්ත්‍රණය කර තිබෙන බවකි. එම පිරිස කොතලාවල මහතා පදිංචිව සිටි නිවසින් රුගෙන ගොස් කොළඹ ෆොන්සේකා මාවතේ තිබූ ඔහුගේ කාර්යාලයේ වාතාශ්‍රය පවා නොලැබෙන කාමරයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බව ජූඩ් මාකෝ මහතා වැඩිදුරටත් අනාවරණය කොට ඇත. එම කාලයේදී කොතලාවල මහතාට නිවිති මිශ්‍ර සුප් වර්ගයක් සහ තැඹිලි වතුර විටින් විට පානය කිරීමට සලස්වා ඇති බවද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. මෙසේ  ලලිත් කොතලාවල මහතා බලෙන් රඳවාගෙන තිබී ඇත්තේ ඔහු අනාථ නිවාසයකට දමන බවට තර්ජනය කරමින් බවද ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

මේ අතර සිය සොහොයුරියගේ සැමියා වන ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවිකව සිදුවූ මරණයක් නොවන බවත් ඔහුගේ දේපළ හිමිකර ගැනීමේ අරමුණින් ඔහු වටා රොක් වූ කණ්ඩායම් දෙකකට අයත් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවූ මරණයක් බවට විශ්වාස කරන බව සෙරින් පේෂන් විජේරත්න මහත්මිය ඉකුත්දා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසුවාය.

වසර 30-40ක් තිස්සේ කොතලාවල මහතා යටතේ සේවය කළ විශ්වාසනීය පිරිස් සේවයෙන් පහකර ලලිත් කොතලාවල මහතා ප්‍රාණ ඇපයට ගෙන සිටි බවද ඒ හරහා දේපොළ ලබාගන්නට උත්සාහ කර ඇති බවද සෙරින් පේෂන් විජේරත්න මහත්මිය පවසන්නීය. මේ අනුව අංක 28, එලිබෑන්ක් පාර, කොළඹ 5. ලිපිනයේ පෙර පදිංචිව සිටි ලලිත් කොතලාවල මහතා යටතේ සේවය කළ පිරිසකගේ අවශ්‍යතාව මත ඔහුට අයත් දේපළ අත්පත් කරගෙන ඇති බවත් එසේ දේපළ අත්පත් කරගැනීම සඳහා කොතලාවල මහතාව ඉහත කී නිවසේ සිට අංක 13, ඩික්මන් පටුමග, කොළඹ 4. ලිපිනයේ  නිවෙසක් වෙත ගෙන ගොස් රඳවා තබා තබාගෙන සිට ඇති බවත් මරණ පරීක්ෂණයේ සාක්ෂිවලින් තහවුරු වී තිබේ.

ලලිත් කොතලාවල මහතා අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා ආසිරි රෝහල වෙත ගොස් තිබුණේ ඔක්තෝබර් 18 වැනිදාය. පසුව නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුල් වී තිබුණේ නාරාහේන්පිට ලංකා රෝහල වෙතය. ඉන් දින තුනකට පසුව කොතලාවල මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. 2008 වසරේ ගෝල්ඩන් කී සමාගම අස්ථාවර වීමත් සමඟ කොතලාවල මහතාට එරෙහිව නඩු ගණනාවක් පැවරෙන්නට විය. ඒ මොහොතේ ඇතිවූ අවශ්‍යතාව මත අලුතින් කිහිපදෙනකු සේවයට බඳවා ගැනීමට කොතලාවල මහතා පියවර ගෙන තිබිණි. ඔවුන් අතර ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම නීතීඥවරුන්ද වූ බව කියැවේ. පසු කලෙක මේ අය කොතලාවල මහතාගේ හිත දිනාගෙන ළඟම සේවකයන් වූ බවත් ඔවුන් ඇතැම් සේවක සේවිකාවන් ඉවත්කොට සෙලින්කෝ සමූහයේ ඉහළ තනතුරු ලබාගැනීම දක්වා බලය යොදවා ඇති බවත් වාර්තා වූ කරුණු ඇසුරින් දැනගන්නට ලැබේ. පසු කලෙක මොවුන් කොතලාවල මහතාගේ දේපොළ බෙදාගැනීමේ කූඨ ප්‍රයත්නයක නිරතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මරණයට හේතුව ප්‍රකාශයට පත් නොකොට තිබියදී කොතලාවල මහතාගේ මරණය නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වී ඇති බවට බම්බලපිටිය පොලීසිය මාධ්‍යය වෙත  ප්‍රකාශ කිරීම ගැටලුවක් බවත් ඒ හරහා පෙර කී කණ්ඩායම් දෙක හා පොලීසිය මෙම මරණය සිදු වූ ආකාරය යටපත් කිරීමට උත්සාහ දරන බවට සැකයක් බවත් පැමිණිලි පාර්ශ්වය පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥවරුන් හෝ පොලීසිය සාක්ෂිකරුවන්ට යම්කිසි බලපෑමක් සිදුකළහොත් ඒ පිළිබඳව අධිකරණයට මැදිහත්වීමට සිදුවන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කරමින් පශ්චාත් මරණ පරීක්ෂණයේ නියෝගය ලබන 14 වැනිදාට දෙන බවට දැනුම් දුන්නේය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02