2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

දවස් 50ක් එකදිගට වැස්ස! නිවාස ගොඩනැගිලි දහස් ගණනක් අනතුරේ

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

මහ වැස්ස තවමත් නොකඩවා වසී. බෙරි වූ පොළොවෙන් යුත් බලංගොඩ ගවරන්හේන බඹරගල කන්දේ පසුගිය 12දා වනවිට ඉහළ බෑවුම්වල පිපිරුම් ලක්ෂණ ගැමියන් කිහිපදෙනෙක් දුටුවෝය. ගැමියෝ මේ ගැන ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිට සහ ආපදා සහන නිලධාරිවරයාට දන්වා සිටියහ. ඔවුන් එදින සවස ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයට මේ ගැන දැනුම් දුන්නේ නිලධාරීන්ට පැමිණ පරීක්ෂා කරන ලෙසය. ඒ වනවිට හවස් වී තිබුණු නිසා ඔවුන් දැනුම් දී ඇත්තේ නිලධාරීන් පසුදින එනතෙක් අවදානම ගැන විමසිල්ලෙන් සිටින ලෙසය. මේ නිසා ඒ අසල තිබූ නිවෙස් දෙකක පුද්ගලයෝ ඉවත් වී ගියහ. ඒ අතර 12දා රාත්‍රියේ සිදුවූ අවාසනාවන්ත නායයාම නිසා එකම පවුලේ සිව්දෙනෙක් පස්කන්දට යටවූහ.

වැහින්තැන්න ගම්මානයේ නිවෙසක සිටියදී පස් යට මිහිදන් වූ එම සිව්දෙනාගේ සිරුරු පසුගිය 14දා වනවිට සොයාගැනීමට කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලීසිය සමත්විය. නාය සමඟ පහළට පැමිණ එහි සිරවී ඇති විශාල ගස් හා ගල් කැණීම්වලට මහත් බාධකයක් ලෙස පැවති අතර එම ගස් යාන්ත‍්‍රික කියත් උපයෝගී කරගෙන කපා ඉවත් කරමින් එම කැණීම් කටයුතු ඔවුහු සිදුකළහ.

එම නාය යාමෙන් තවත් නිවාස දෙකකට අර්ධ හානි සිදුවිය. හීතකැලේ සුමිත් කුමාර (47) එදිරියන් කඩවල කන්දේ දුරුගේ සිරියලතා (41) තෂාරා නවෝදි (16) මන්සා ඉසුරු (10) යන මව පියා දියණියන් දෙදෙනා එසේ පස් යට සැඟවී මරණයට පත්වූහ. මේ වනවිටත් වැහිපොද වැටෙන වැහින්තැන්න ගම්මානය මේ සිදුවීමෙන් එකම මළගෙයක් වී තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවයි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කඩිගල්ල කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන්  ඒ අවට බුත්කන්ද වසමට අයත් ප්‍රදේශ දෙකක නිවාස දොළහක පදිංචිකරුවන්ද වහාම ඉවත්කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය දිනවල ඇතිවූ තද වැසි නිසා කඩිගල්ල කන්ද මුදුනේ විශාල පැලුම් දක්නට ඇති බවයි. අක්කර විස්සක පමණ ප්‍රදේශයක් මෙසේ ගිලා බැස ඇති අතර පැලුම් ආශ්‍රිතව මඩ වතුර ගලාගෙන එන බවද ඔවුහු කියති.

මේ අතර දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඕපනායක, ගොඩකවෙල, කුරුවිට, ඉඹුල්පේ, වැලිගෙපොළ, ඇලපාත, රත්නපුර, ඇහැලියගොඩ, කොලොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි. මේ අනතුරු ඇඟවීම්වලට හේතුව වැස්ස මි.මී. 100ක් ඉක්මවීමයි.

එමෙන්ම බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 යටතේද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. අදියර එක යටතේ අවදානම නිකුත් කරන්නේ වැස්ස මි.මී. 75 ඉක්මවූ විටය.

මේ අතර දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14,225ක් නායයාමේ අධි අවදානම් ඇති ප්‍රදේශ ලෙස මේ වනවිට හඳුනාගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ නායයාම් හා අපදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් සඳහන් කළේ නිවාස 5000ක පමණ ජනතාව පසුගිය කාලයේ ඉවත් කර ඇති බවයි. මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර තිබේ.

''මේ වනවිට අධික වැසි තත්ත්වය නිසා ඇතිවූ නායයාම් සහ වෙනත් හේතු නිසා හත් දෙනකුට දිවි අහිමි වී තිබෙනවා. රත්නපුරෙන් පස්දෙනෙක්, ගාල්ලෙන් එක් අයෙක්, මහනුවරින් එක් අයෙක් එලෙස මියගොස් තිබෙනවා. නිවාස 786ක් ගැන පර් යේෂණ කරලා තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.'' යයිද භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් දේශයට පැවසුවේය. වැඩිදුරටත් ඒ ගැන විස්තර කළ භූ විද්‍යාඥවරයා මෙසේද පැවසුවේය. ඊසානදිග මෝසම් වැසි සක්‍රිය වීම නිසයි මෙසේ වැසි වැටෙන්නේ. එය වඩාත් බලපාන්නේ මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලටයි. ඌව, මධ්‍යම සහ සබරගමුවට මෙය වඩාත් දැඩිව බලපානවා.  එමෙන්ම මාතර දිස්ත්‍රික්කයටත් බලපානවා. පසුගිය කාලෙ පුරාවටම දින 50කට වැඩි කාලයක් එක දිගට මේ ප්‍රදේශවලට වැසි වැටුණා. සමහර පැතිවලට මි.මී. 150කට වැඩි වැස්සක් ලැබුණා. මි.මී. 150කට වැඩි වැසි ලැබෙන බෑවුම්වලට නායයාමේ අවදානමේ රතු නිවේදන නිකුත් කරනවා.

පසුගිය වැසි කාලයේ අපට වාර්තා වූ ආපදා සම්බන්ධ සමස්ත සිද්ධින් ප්‍රමාණය 996ක්. ඉන් වැඩිම සිද්ධි ප්‍රමාණයක් වාර්තා වුණේ මාතර දිස්ත්‍රික්කයෙන්. එය 321ක්. කෑගල්ලෙන් 221ක්. බදුල්ලෙන් 26ක්, කොළඹින් 14ක්, ගාල්ලෙන් 133ක්, හම්බන්තොටින් 61ක්, කළුතරින් 50ක්, මහනුවරින් 21ක්, කුරුණෑගලින් 19ක්, නුවරඑළියෙන් 25ක්, ගම්පහින් 11ක් ලෙස මේ සිද්ධි වාර්තා වුණා.

කොපමණ භු විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් කළද සුළු අතපසුවීමකින් අවදානම තමන්ට අත වැනිය හැකිය. මහ වැස්සට ගෙට වී සිටින විට පස්කඳු කඩා වැටී දිවි අහිමි වන්නේ ඒ නිසාය. සමහරුන් තමන්ගේ නිවසින් තාවකාලිකව හෝ ඉවත්වීමට ඇති අකමැත්ත නිසාද ජීවිතයෙන් වන්දි ගෙවති. කොස්ලන්දේ මීරියබැද්ද, අරණායක සාමසර කන්ද ‍ඛේදවාචක අපට තවමත් අමතක නැත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මේ අවදානම හඳුනා ගැනීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ: 

“ස්වභාවික හේතු නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇති වෙනවා. මෙවැනි පැලීම් අප හඳුනාගත යුතුයි. හඳුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට වැසි ජලය කිඳා බැස්ස විට කඳු නාය යනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදාපාළුව අවම වෙනවා. එවිට නායයාම් හා ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස් කඳුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක්.”

කෙසේ වුවත් බහුතරයක් ජනතාව බෑවුම්වල මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකරන විට ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයේ සංවර්ධන කටයුතු සඳහා නායයාම් අවදානම් තක්සේරුව ලබාගැනීමට උනන්දුවක් නැත. දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි අතරින් 14,225ක් නායයාමේ අධි අවදානමේ පවතින බව හඳුනාගෙන තිබේ.

ඉදිරියටත් වැසි වැටුණොත් තත්ත්වය තවත් භායානක විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය ඉල්ලා සිටින්නේ රතු නිවේදන නිකුත් කළ ස්ථාන ගැන අවදියෙන් සිටීමෙන් අවදානම වළක්වාගත හැකි බවයි. 

I කුසුම්සිරි විජයවර්ධන