2024 අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් ප‍්‍රධාන කරුණක් සමාජයේ කැළඹිල්ලකට හේතු වී තිබේ. සාමාන්‍ය ජනතාව අතරින් බහුතරයකට ලබන වසරේ සිට බදු ලිපිගොනුවක් අනිවාර්ය විය හැකිය. අංශ ගණනාවක් තෝරාගන්නා ආණ්ඩුව, එදිනෙදා අත්‍යවශ්‍ය සේවා කටයුතුවලදී බදු අංකය ඉදිරිපත් කළයුතු බව දක්වා ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2017 වසරේ සිට සියලු පුරවැසියන්ට බදු අංකයක් අවශ්‍ය බව ප‍්‍රකාශ කරමින් සිටී. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම පහසු නැත. එදිනෙදා රාජකාරි කටයුතුවලදී අනවශ්‍ය පීඩනයක් පැන නැගීම වැළැක්විය නොහැක. අතරමැදියන්, අයථා ක‍්‍රම හේතු කොටගෙන දැනට පාලනය කරගත නොහැකි දූෂිත තත්ත්වය තවත් වටයකින් ඉහවහා යනු නිසැකය.
අයවැය යෝජනා ඉදිරිපත් කරන ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු පැවැත්ම වෙනුවෙන් අලුත් අදහස් ඉදිරිපත් කර තිබේ. ඒවා සාක්ෂාත් කරගන්නට කලින් ආණ්ඩු බලයෙන් පහ වී ඇත. සැලසුම් හදන, වෙනස් වැඩපිළිවෙළ ඇති කරන පාලකයන් ඒවායේ ප‍්‍රායෝගිකභාවය ගැන අවධානය යොමු කරන්නේ නැත. රජයේ ආදායම වැඩි කරගත යුතුය. සෘජු බදු අය කරගැනීම ආදායම රුස් කරන ක‍්‍රමයකි. බදු පනවන ආණ්ඩු ඒවා ජනතාවට දරාගත හැකිද යන්න ගැනද අවබෝධයක පසුවිය යුතුවේ. බදු ලිපිගොනුවක් ආරම්භ කළ පමණකින් රජයේ බදු ආදායම දෙතුන් ගුණයකින් වැඩිවන අතර විශාල සංවර්ධනයක් ඇති කරන්නට ධනය සොයාගත හැකි වෙතැයි උපකල්පනය කිරීම වරදකි.
• මුල්ගලට කලින් ටින් අංකයක් සොයා ගැනීම
අය වැය අනුව වාහනයක් මිල දී ගැනීමේ දී හෝ ලියාපදිංචිය අලුත් කිරීමේ දී බදු ලිපිගොනුව අවශ්‍ය කෙරේ. නිවාස සැලසුමක් අනුමත කරගැනීම සඳහා පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කරනවිට බදු අංකය අවශ්‍ය වනු ඇත. ඉඩමක් මිල දී ගැනීමේදී ද පෞද්ගලික බදු අංකය අනිවාර්ය කාරණයකි. වාණාජ බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කරන ගනුදෙනුකරුවකු බදු අංකය සමඟ අයැදුම් පත ඉදිරිපත් කළ යුතුවේ.
නිවෙසක් ඉදිකර ගැනීම හෝ වාහනයක් මිල දී ගැනීම මැදි ආදායම් ජනතාව දකින සිහිනයකි. ගම්වල සිට නගරයට එන ලක්ෂ සංඛ්‍යාත පිරිස් තමන්ගේම නිවෙසක පදිංචිය අපේක්ෂා කරයි. කුඩා හෝ වාහනයක් මිල දී ගෙන පහසුවෙන් ජීවත්වීමට සැලසුම් කරති. එම සැලැස්මට ගමන් කරන්නේ පහසුවෙන් නොවේ. ඉතිරි කරන්නට වෑයම් කරති. ණය ලබාගෙන පර්චස් දහයක පමණ ඉඩමක් මිල දී ගන්නා අතර තාවකාලිකව ඉදිකරන ලද කොටසක පදිංචි වේ. ඉඩම් කැබැලි කර වෙන්දේසි කරන තැනක ඉදිකරන අලුත් නිවාසවලින් සෑහෙන ප‍්‍රතිශතයක වැඩ අවසන් නැත. අනුමත කළ සැලැස්මට අනුව වසර දහයක් ඇතුළත නිවස ඉදිකරගෙන පදිංචියට සුදුසු සහතිකය ලබාගත යුතු නමුත් මෙරට සෑහෙන නිවාස ප‍්‍රමාණයකට එවැනි සහතිකයක් නැත. කටයුතු අවසන් කර ගැනීමට වත්කම නොතිබීම හේතුව වේ. නිවාස සැලැස්ම ආරක්ෂා කරගෙන සිටින ඔවුහු තමන්ට නොහැකි වූ එම ඉලක්කය කරා දරුවන් යොමු කරන්නට වැර දරන බවද දැක්විය යුතුය. දරුවන්ට හොඳම පාසලක් සොයන අතර අතිරේක පන්තියකට යවා ඉගෙනගන්නට බල කරන සෑම පවුලකම අවසාන අරමුණ අභිවෘද්ධිය හැර අනෙකක් නොවේ.
• සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී
රථවාහන යටතේ යතුරුපැදි හා ත‍්‍රීවිලර් පවා ලියාපදිංචි කෙරේ. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 වසර වනවිට යතුරුපැදි හතළිස් අට ලක්ෂ තිස් හය දහසක් රට තුළ ඇත. ත‍්‍රීවිලර් ප‍්‍රමාණය එකොළොස් ලක්ෂ අසූ හත්දහස ඉක්මවයි. මෙම දෙකොට්ඨාසය ද අලුතින් මිල දී ගැනීමේදී හෝ බලපත‍්‍ර අලුත් කිරීමට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය පසු බදු අංකය ඉදිරිපත් කළ යුතුද යන්න පැහැදිලි නැත. යොජනාවට යටත්වන වාහන කාණ්ඩ කවරේද යන්න ආදායම් බදු කොමසාරිස්වරයා ප‍්‍රකාශයට පත්කරනු ඇත. ලියාපදිංචි කාර් ප‍්‍රමාණය ලක්ෂ නමයක් පමණ වන අතර බස් රථ ලක්ෂයක් පමණද රට තුළ පවතින බව දැක්වේ. මෝටර් රථ දෙපාර්තමේන්තුවට අනුව රථවාහන ලක්ෂ අසූතුනක් ලියාපදිංචි කර ඇත. අලුත් යෝජනාව අනුව දෙපාර්තමේන්තුව සතු මෙම ලිපි ගොනුව දේශීය ආදායම් අංශයට ඉල්ලමක් විය හැකි බව පෙනේ.
බදු ලිපිගොනු ලක්ෂ අසූවක් පමණ, ලබන වසරේ ජනවාරි මාසයේ සිට අලුතින් හැදීම පහසු නැත. ගුවන් ගමන් බලපත‍්‍රයක් අලුතින් නිකුත් කරන්නට, පසුගිය කාලයේ නොහැකි වූ ආණ්ඩුවක් මෙම වාහන ප‍්‍රමාණය අනුව අලුත් බදු ලිපිගොනු සකස් කරන්නේ කෙසේද? දැනට ආදායම් බදු දෙපාර්තමේන්තුව සතු ලිපිගොනු ප‍්‍රමාණය ලක්ෂ අට නොඉක්මවන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ. අනෙක මෙම දත්තවලට වාහනයක් නැතත් ඉඩමක් මිල දී ගන්නා හෝ නිවෙසක් ඉදිකරන්නට සැලසුම අඳින මධ්‍යම පාන්තිකයන් කොටසද ඇතුළත් විය යුතුය. යෝජනාව කරන නමුත් ක‍්‍රියාත්මක කිරීම සරල නැත. බදු පැහැර හරින කොටස සොයාගැනීම සඳහා ප‍්‍රමාණවත් නිලධාරීන් රහිත බවට මැසිවිලි නගන අතරවාරයේ 2024 වසරේ අලුත් කළ යුතු වාහන ආදායම් බලපත‍්‍ර වෙනුවෙන් බදු අංක නිකුත් කිරීමට ඇති වේගවත් වැඩපිළිවෙළ කුමක්ද?
සැලැස්මක් රහිත ආණ්ඩුව ජාතික ආදායම ඉලක්ක කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අවනත වී ඇති අතර වෙනස් රටක්, සිස්ටම් වෙනස් කිරීමක් ඉල්ලා බලකරන ලද කොටස් අවසානයේදී විශාල රුවටිල්ලකට හසු වී ඇත. ආර්ථික පීඩාව ඉවසනු නොහැකි හේතුවෙන් පාරට බැස විරෝධය පළකරන ලද සාමාන්‍ය ජනතාවගේ දහඩිය පාලකයන් වෙනුවෙන් එකතු කරගැනීම යුක්ති සහගත තත්ත්වයක් නොවේ.
• අවුලකට පසු ආරවුලකට පසුබිමක්
බදු ලිපිගොනුවක් රහිත පුද්ගලයන්ගේ වාහන ලියාපදිංචිය අලුත් කළ නොහැකි වුවහොත් ලබන වසරේ සිට ඇතිවිය හැකි ස්වභාවය කුමක්ද? දුම් සහතිකය ඇතත් ආදායම් බලපත‍්‍රය රහිතව ධාවනය නීති විරෝධී වේ. ධාවනය නොකරන වාහන රක්ෂණය අත්හරිනු ඇත. රක්ෂණය හා නිවසේ ගාල්කර ඇති වාහනවල ණය හෝ ලීසිං ගෙවාගත නොහැකි දස දහස් සංඛ්‍යාත පිරිසක් අසරණ වනු නොඅනුමානය. බදු අංකය රහිතව අසත්‍ය ලේඛන හුවා දක්වා ආදායම් බලපත‍්‍ර ගන්නා දූෂිත ක‍්‍රම ඇති විය හැකිය. පිටරටින් ගෙන්වන කොටස් එකතු කර වාහන හදා පාරට දමන රටක ඕනෑම ආකාරයක කඩදාසියක් වංචා සහගතව හදන්නට ඉඩ තිබේ. බලය ඇති නිලධාරීන්ටද ලිපිගොනුව තුළ කළ නොහැකි දෙයක් නැත. වැට් බදු වංචා, පරිසර අනුමැතිය සඳහා අල්ලස් ගන්නා නිලධාරීන්ගෙන් දුබලතා මතුවිය හැක. පාසලකට දරුවන් ඇතුළත් කරගැනීමේ සිට විදේශ රටක රුකියාවකට යාම දක්වා අවශ්‍ය කටයුතුවලදී උප්පැන්න, ගමන් බලපත‍්‍ර හා හැඳුනුම්පත් හදන ජාවාරම් විශාල වශයෙන් අනාවරණය වී ඇත. මේවා වළක්වන්නේ කෙසේද? සැලැස්මක් රහිතව ගෙන එන යෝජනා අවසානයේදී ආර්ථිකය පමණක් නොව සමාජයද සෑහෙන කැළඹීමක් ඇති කරන්නට ඉඩ තිබේ.
බදු ලිපිගොනු ආරම්භ කළ යුතු බවට සැක කරන කොටස් හඳුනාගෙන කෙළින්ම ගනුදෙනු කිරීම මෙයට විකල්ප පිළිවෙළකි. තොරතුරු තාක්ෂණය හා අන්තර් ජාලයෙන් ලබාගත හැකි ප‍්‍රයෝජන ගැන දක්වන ආණ්ඩුවට ඉහළ ආදායම් උපයන කොටස් අලුතින් හඳුනා ගැනීමට මෘදුකාංගක් භාවිතා කළ හැකිවේ. අස්වැසුම සහන ලබන අතර යතුරු පැදියක් තිබුණ පමණින් බදු අංකයකට බලකිරීම වෙනුවට එය සරල ක‍්‍රමවේදයකි. 2024 ජන සංගණනය ආරම්භ කර ඇති අතර එහිදී නිවාසවල තත්ත්වය හා ඉඩම් අනුව දල අදහසක් ලබාගත හැකිවනු ඇත. ආණ්ඩුව කළ යුතු ජන සහභාගීත්ව පාලනයකි. ග‍්‍රාම නිලධාරීන්, ගමේ පන්සල හෝ ආගමික ස්ථානය ආවරණය වනන පරිදි ප‍්‍රජා සහභාගීත්වයෙන් ක‍්‍රමවේදයක් සකස් කළ හැකි අතර එය ප‍්‍රායෝගිකය. සාමාන්‍යයෙන් බදු ගෙවිය හැකි අසල්වැසියන් ගැන ජනතාවගෙන්ම කරුණු ලබාගත හැකිවේ. ජන සහභාගීත්වයෙන් රටට ආදායමක් ලබාගත හැකි අලුත් පිරිසක් එකතු කරගැනීම හැර නීති වලින් බලකිරීම අසාර්ථක ප‍්‍රයත්නයක් වනු ඇත.
I සාරා කන්දෙගොඩ