2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

අයවැය යන්නේ පරණ පාරෙමද? අලුත් පාරකද?

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 69

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යවරයා වශයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ දෙවැනි අයවැය කතාවට මේ දිනවල සැම පැත්තෙන්ම ගල් මෙන්ම මල්ද එල්ල වෙමින් පවතී. මෙම අයවැය කතාවේ ගන්නට හරයක් නැති යැයිද වචන හරඹයක් පමණකැයි ද සමහරුන් පවසන අතර තවත් ඇතැමුන් පවසන්නේ පවතින ගැටලුවලට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් ලබාදෙන හරවත් යෝජනා මෙම අයවැය ලේඛනයට අඩංගු බවය.

එසේ වුවද මෙම අයවැය 2024 ලේබලය යටතේ ඉදිරිපත් කරන ලද 2023 වසරේ පරණ අයවැය ලේඛනයක් යැයි පවසන්නෝද සිටිති. මෙම විවේචනය ආණ්ඩුව ඇතුළතින් මෙන්ම පිටතින්ද අසන්නට ලැබේ. 2023 අයවැය ලේඛනයේ යෝජනාවලින් සියයට 75 පමණ ඉටුකර නැති අතර ඒවා වෙනත් ආකාරයෙන් මෙම අයවැයට රිංගවා ඇතැයි චෝදනාවක් පවතී. 2023 අයවැයේ ප්‍රගතිය සොයාබැලීමට යෝජිත කාර්ය සාධන ආයතනය වුවද මෙතෙක් ප්‍රතිෂ්ඨාපනය වී නොමැති බවද පැවසේ. කෙසේ වුවද 2023 අයවැය ලේඛනයට වූ ඉරණම මෙම අයවැයට සිදු නොවීම සඳහා වගබලා ගැනීම පාලකයන්ගේ යුතුකම වෙයි.

පසුගිය වසරවල් සමඟ සලකා බලන විට මේ මෑතක සිට අයවැය ලේඛනයට තිබූ වැදගත්කම අහිමිවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. අය-වැය යෝජනාවල යථාර්ථවාදීභාවය හා රහස්‍යතාවය මේ වනවිට ඉවත් වී ඇති අතර, අයවැය ලේඛනයේ සඳහන් ඇතැම් යෝජනා අයවැය ඉදිරිපත් කිරීමට පෙර සිටම ජනතාවට දැනගන්නට ලැබෙන තත්ත්වයට පත්ව තිබෙන බව කිව යුතුය. 2024 අයවැය ලේඛනයේ ඇතැම් යෝජනා පෙර සිටම ජනතාවට විවෘත වූ බව සනාථ වෙයි.

ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ එන සමජීවිකතාව පෙන්වා දෙමින් පටන් ගත් අයවැය දෙසුම තුළින් එවැනි සමජීවිකතාවක් හෙවත් අය සහ වැය තුළනය කිරීමක් සිදුවූ බවක් දක්නට නොමැති වූ අතර වෙන අයවැය මෙන්ම මෙම අයවැයද ණය අයවැයක් බව විද්‍යමාන වෙයි. මෙහි ආදායමට වඩා වියදම් පාර්ශ්වය ඉහළ ගොස් ඇති අතර එහි ඍණ පරතරය රුපියල් බිලියන 2851ක් වෙයි. ආදායම රුපියල් බිලියන 4127 වූ අයවැයේ වියදම බිලියන 6978 ලෙසට ඉහළ නැග ඇත. මෙම තත්ත්වය මත අයවැයේ සමජීවිකතාව ආරම්භයේදීම ගිලිහී ඇති අතර අයවැය පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක් උද්ගතව ඇත. එයට හේතුව මේ වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත්ව ඇති නිසා වෙන වසරවල මෙන් ණය ලබාගෙන පියවිය නොහැකි වීමය. එසේම නව මහබැංකු පනත අනුව මුදල් මුද්‍රණය තහනම් වී ඇති පසුබිමක නෝට්ටු මුද්‍රණය කිරීමට නොහැකිය. එසේ නම් මේ සඳහා ඇති එකම විකල්පය ජාතික ආදායම ඉහළ නංවන ගැනීමය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙන්ම බදු ලබාගන්නා අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ආයතන වන රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවද මෙතෙක් 2023 නියමිත ආදායම් ඉලක්කවලට ළඟා වී නැත. ඒ නිසා 2024 වසරටද එම ආයතන තුන මත ආදායම් ලබා ගැනීමට විශ්වාසය තබා කටයුතු කළ නොහැකිය. මේ නිසා ආදායම ලබාගත හැකි එකම මාර්ගය වක්‍ර බදු ලබාගැනීම වෙයි. වක්‍ර බදු නිසා පොහොසතා කෙසේ වෙතත් දුප්පතා බිත්තියටම හේත්තු වන බැවින් රටේ සියයට 80ක පමණ ජනතාවකට විශාල හානියක් සිදුවේ. දැනටමත් දරුවන් අතර මන්දපෝෂණය සියයට 60 මට්ටමට ළඟා වී ඇති අතර ජනතාවගේ දවසේ ආහාරවේල් ප්‍රමාණය එකකට පමණක් සීමා කිරීමට සිදුව තිබේ. මේ නිසා තවදුරටත් වක්‍ර බදු ගැසීමෙන් රටේ ජීවන වියදම තවත් වැඩිවී ජනතාව කබලෙන් ලිපට වැටෙනවා ඇත.

මේ අතර යෝජනාකර ඇති පරිදි වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමද, විශේෂයෙන් ඉන්ධන සඳහා අලුතින් වැට් බද්දක් හඳුන්වා දීමද නිසා ලබන වසරේ සිට භාණ්ඩ හා සේවා මිල විශාල වශයෙන් ඉහළ නැගීම සිදුවෙයි. එම නිසා 2024 වසරේ මාස කිහිපයක් යනවිට මෙම වැට් බදු පැනවීම පිළිබඳ යළිත් සලකා බැලීමට රජයට සිදුවනු ඇති බව මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එවැන්නක් සිදුවුවහොත් වැට් බද්දෙන් ආදායම ලබා ගැනීමේ ඉලක්කවලට ළඟාවීමට රජයට නොහැකි වන බව සක්සුදක් සේ පැහැදිලිය. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ගවලට යාමට රජයට සිදුවනු ඇත.

මෙම අයවැයේදී රජය යෝජනා කර ඇති සහනාධාර සහ වැටුප් වැඩි කිරීම ආදිය නිසා වැය පාර්ශ්වය ඉතා විශාල ලෙස ඉහළ යනු ඇත. රාජ්‍ය සේවක වැටුප් මසකට රුපියල් 10,000ක් හා විශ්‍රාම වැටුප රුපියල් 2500ක් වැඩි කිරීම, අස්වැසුම වැඩසටහනේ දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවීම නතර කර ඇති සංවර්ධන ව්‍යාපෘති යළි පටන් ගැනීම, අලුතින් විශ්වවිද්‍යාල හතරක් ආරම්භ කිරීම, මහා විහාර විශ්වවිද්‍යාලයක් පටන් ගැනීම, උතුරු නැගෙනහිර යළි පදිංචි කරවීමට රුපියල් කෝටි 200ක් වැය කිරීම, මහනුවර අලුතින් බෞද්ධ කෞතුකාගාරයක් පටන් ගැනීම සඳහා රුපියල් කෝටි 20ක් වැය කිරීම, බැංකුවල ප්‍රාග්ධනය වැඩි කිරීමට කෝටි 45,000ක් වෙන්කිරීම, හිඟුරක්ගොඩ අලුතින් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඇති කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් සඳහා කෝටි 300 වැය කිරීම මහපොළ ශිෂ්‍යත්ව මුදල රුපියල් කෝටි 250කින් වැඩිකිරීම, ආබාධිත හා වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 5000 සිට 7500දක්වා වැඩි කිරීම, නාගරික අඩු වියදම් නිවාසවලින් අයකරන මාසික රුපියල් 3000 කුලිය අයකර ගැනීම නවතා ඒ නිවාස පදිංචිකරුවන්ට පැවරීම වතුකම්කරු නිවාස සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කෝටි 400ක් වෙන්කිරීම, උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීමට කෝටි 200ක් වෙන්කිරීම ණය ගැනීමේ උපරිම සීමාව බිලියන 3900 සිට 7350 දක්වා ඉහළ නැංවීම, බැංකුවල ප්‍රාග්ධනය වැඩි කිරීමට කෝටි 45,000ක් වෙන්කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නගා සිටුවීමට බිලියන 30ක් වෙන් කිරීම, අබලන් වූ ග්‍රාමීය මාර්ගවලට බිලියන 10ක්, පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා බිලියන 1.5 ආදී වශයෙන් මෙම අයවැයෙන් විශාල අතිරේක මුදලක් වෙන්කර ඇත. මේ ඇතැම් ඒවා කවුරුන් හෝ ඉල්ලූ ඒවාද නොවේ. මෙවැනි යෝජනා අයවැයේ අඩංගු අතර ඒවා ප්‍රායෝගික කිරීම සඳහා මුදල් උපයා ගැනීමට නිර්දේශ නොමැත.

ජනාධිපතිවරයා මෙම අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ඉදිරිපත් කළ බව පැවසුවද ඇතැම් ඒවා ඇත්තවශයෙන්ම මූල්‍ය අරමුදල ඉල්ලූ ඒවාද නොඑසේ නම් රජය මූල්‍ය අරමුදල දඩමීමා කරගෙන ස්වකීය අවශ්‍යතා සපුරා ගැනීමට ඉදිරිපත් කර ඇතිද යන්න පිළිබඳ සැක පහළ වෙයි. ජාත්‍යන්තර පිච් රේටිං ආයතනය පසුගියදා නිවේදනය කර ඇත්තේ අයවැය පරතරය පියවීම සඳහා ජාතික ආදායම් වර්ධනය කර ගැනීමට අපහසු වනු ඇතැයි යන්නය. බොහෝ අයවැය ඉලක්ක සපුරාගත නොහැකි වන අතර 2023 මුල් මාස 9ට බලාපොරොත්තු වූ ආදායම සියයට 29කින් පහළ වැටුණ බව ඔහු කියති. උද්ධමනය නිසා මෙම ආදායමේ අගය පහළ බසින අතර 2024 අයවැයෙන් බලාපොරොත්තු වන සියයට 45 වැඩිවීම ප්‍රායෝගික නොවනු ඇති බවද සඳහන්ය.

අයවැය පිළිබඳ විශ්ලේෂකයන් පවසන්නේ මෙම අයවැය ලේඛනය ලබන වසරේ පැමිණෙන මැතිවරණ ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ එකක් බවය. ලබන වසරේ මුල් මාස තුන තුළ දැනට වඩා ජනතාවට හිරිහැර සිදුවන බව ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පවසා ඇත. එසේ වුවද ජනතාවට ලැබීමට නියමිත බොහෝ දේවල් ලැබීමට නියමිතව ඇත්තේ වසරේ මැදභාගයේ සිටවීම නිසා මෙම අයවැය ලබන වසර දෙවැනි භාගයේ පැවැත්වෙන මැතිවරණවලට කතිරය ලබාගැනීමට සිදුකරන උපක්‍රමයක්ද යන්න පිළිබඳ සැක පහළවීම වැළැක්විය නොහැකිය.

කෙසේ වුවද ජනාධිපතිවරයා පසුගිය සතියේ පවසා තිබුණේ රටේ ආර්ථිකය යහපත් කිරීමක් මෙම අයවැයෙන් සිදුකළ නොහැකි අතර ඉදිරියේදී ඒ සඳහා තවත් අයවැය ඉදිරිපත් කිරීමකින් සිදුවන බවය. කෙසේ වුවද මෙතෙක් කල් රටේ ඉදිරිපත් කළ අයවැය ලේඛනවලින් අපේක්ෂිත ආදායම උපයා ගැනීමට ප්‍රායෝගිකව සමත් වී නොමැත. මෙවරද සියයට 45කින් ආදායම ඉහළ නංවන බව පැවසුවද එය යථාර්ථයක් කිරීමේ කිසිදු පියවරක් අයවැය තුළින් ගෙන නොමැති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඒ නිසා මෙවරද අපේක්ෂිත ඉලක්කද සපුරාගත නොහැකි වන නමුත් වෙනත් වාරවල මෙන් වසර පුරාවටම පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් වියදම ඉහළ නංවා ගැනීමට කටයුතු කරනවා ඇත.

► සහනදීම අතින් සුබවාදී අයවැයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අයවැය ලේඛනයෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම හිතන තරම් ලෙහෙසි නොවන්නේ යැයි ඔහු කියයි. එසේම ජනතාව මේ අයවැය ලේඛනයෙන් විශාල ලෙස සහන බලාපොරොත්තු වන්නේ නම් එය යථාර්ථවාදී නොවන බවද ඔහු කියයි.

&2024 අයවැය ලේඛනයෙන් විශාල ලෙස සුබසාධනයට බරක් දී ඇත. ජනතාවගේ එම අවශ්‍යතාව ගැන තර්කයක් නොමැත. පවතින ආර්ථික අර්බුදය නිසා ජනතාව විශාල හිරිහැරයකට පාත්‍රවෙලයි ඉන්නේ. ජනතාවගේ ජීවන තත්ත්වය පහළ වැටී සිටින සමයක ඔවුන්ට සහනයක් දීමට මේ අයවැයෙන් ප්‍රමුඛස්ථානය දී ඇති නිසා ඒ අතින් සුබවාදී අයවැයක් යැයි කීමට පුළුවන්.

අද ජනතාවට අත්‍යවශය දේ ඉටුකිරීමට පවා මුදල් සොයාගැනීම ප්‍රශ්නයක්. ඉස්සර වගේ මුදල් මුද්‍රණය කර අවශ්‍යතාවලට වැය කළ නොහැකියි. එසේම රට බංකොලොත් වී ඇති නිසා විදේශ ණය ගැනීමට අපහසුයි. දේශීය ණය වුවද ගැනීමේදී විශාල පොළියක් දෙන්න වෙනවා. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල යන ආයතනවලින් සුළු වශයෙන් හෝ සහන පොලියට ණය ගත හැකියි. එහිදී ඒ අයගේ කොන්දේසිවලට යටත් වන්නට සිදුවෙනවා. ඒ හැර චීනය, ඉන්දියාව යන රටවලින් හුවමාරු ණයගන්න පුළුවන්. එහිදීද එම රටවලට වාසිදායක වෙලෙඳ ගිවිසුම්වලට යාමට සිදු වෙනවා.

මේ තත්ත්වය මත බදු වැඩි නොකර වෙන විකල්පයක් නැහැ. යම් සහන ගන්නවා නම් එයට කැපකිරීමක් කළ යුතුයි. ඒ නිසා අකැමැත්තෙන් වුවද බදු ගහන්න වෙනවා. එහෙත් මෙහිදී වැදගත් වන්නේ බදු පැනවීමට වඩා පනවා ඇති බදුවලින් ආදායම ලබා ගැනීමයි. අපට ලැබෙන වාර්ෂික ආදායම වන රුපියල් බිලියන 4100න් 2/3ක්ම වැයවන්නේ ලබාගෙන ඇති ණය සහ පොලිය ගෙවීමටයි. දැනට ණය ගෙවීම අත්හිටුවා තිබුණාට 2024 වසරේ සිට ගෙවන්නට වෙනවා. ණය පොලී ගෙවූ පසු අනික් සැමදේටම ඉතිරිවන්නේ ආදායමෙන් 1/3 ප්‍රමාණයක්. අනෙක් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම විශාල ගැටලුවක්. මේ නිසා වෙන වසරවලට වඩා රට තුළින් ආදායම උපයාගත යුතුයි. මෙහි ප්‍රතිවිපාක ජනතාවට විඳින්න සිදුවෙනවා.*

► අවබෝධයක් නැතුව සකස් කළ එකක්

මෙම අයවැය ලේඛනය පිළිබඳ සමාලෝචනයක යෙදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසන්නේ මෙය යථාර්ථවාදී අයවැය ලේඛනයක් නොවන බවය. ඒ බවට සාක්ෂි ඕනෑතරම් අයවැය කතාවෙන් ලබාගත හැකිවන බව පවසන හෙතෙම පෙන්වා දෙන්නේ බොහෝවිට අයවැය කතාවෙන් පරස්පර විරෝධී අදහස් සමාජ ගතකර ඇති බවය.

&අයවැය කතාව ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා මුලින් ප්‍රකාශ කරනුයේ මෙවර ණය නොගන්නා බවයි. සෑම වරම ණය ලබාගෙන අයවැය පියවා ගත්තද මෙවර එසේ නොකරන බව පවසන ජනාධිපතිවරයා පසුව පවසන්නේ අයවැය පරතරය පියවීමට ණය ගන්නා බවයි. වර්තන වැය ලෙස වැටුප් සඳහා රුපියල් බිලියන 1127ක්, භාණ්ඩ හා සේවාවලට බිලියන 341ක්, ණය පොලී ගෙවීමට බිලියන 2652ක්, සහනාධාරවලට බිලියන 1158 ආදී වශයෙන් වැය සඳහා ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවෙයි. බිලියන 4128ක් ආදායම ලෙස දැක්වුවද එකතුකර ගත හැකිවන්නේ බිලියන 3500කටත් අඩුවෙන්. සෑම අයවැයකදීම මුළු ප්‍රමාණයම එකතු කර ගන්න ලැබෙන්නේ නැහැ. මෙවරත් එසේමයි.

ඒ අනුව වර්තන වියදම වන බිලියන 5177න් අඩක්ම පියවා ගන්න වෙන්නේ ණය ලබාගෙනයි. වැඩි වශයෙන් දේශීය ණය තමා ලබාගන්න වෙන්නේ. දේශීය ණය බිලියන 2125ක් සහ විදේශ ණය බිලියන 726 ආදී වශයෙන්. එසේම සියලුම අයවැය දත්ත දෙස බැලූවිට රටේ ආර්ථිකය ගැන අනවබෝධයකින් සහ මූලික අයවැය පරමාර්ථවලින් බැහැරව අයවැය ලේඛනය සකස් කර ඇති බව පවසන්නට සිදුවෙයි. උදාහරණයක් ලෙස වැඩිහිටි ප්‍රජාව සඳහා ලබාදෙනවා යැයි කියන රුපියල් 1000කින් මොනවද කරන්න පුළුවන්. රටේ වැඩකරන ජනතාව ලක්ෂ 85කට අධිකයි. එයින් රාජ්‍ය අංශයේ ලක්ෂ 13-14කට පමණ රුපියල් 10,000කින් වැටුප් වැඩිවෙනවා පෞද්ගලික අංශයේ සේවකයන් ගැන කිසිදු සඳහනක් නැහැ. රටේ සෑම ජන කොටසකටම උද්ධමනය බලපානවා. එසේම ආදායම වැඩිකර ගැනීමද ගැටලු සහගතයි. ආදායම වැඩිකර ගැනීමට නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, රේගු දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි. තිබෙන තත්ත්වයෙන් නම් තව ඉදිරියට යන්න අපහසුයි. එහෙත් අයවැයේ මේ කිසිදු ප්‍රතිකර්මයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. දේශීය ණය ලබාගැනීමට නම් පොලී අනුපාතිකය වෙනස් කළ යුතුයි. එය සිදුකිරීමද අනිත් පැත්තෙන් අයහපත් වෙනවා. අඩංගු කර ඇති වැයට මුහුණදීමට නම් ආදායම ඉහළ නැංවිය යුතුයි. ව්‍යාපෘතිවලට වෙන්කරන මුදල්වලට සරිලන ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. ඇතැම් වියදම් පිළිබඳ තොරතුරු නැහැ. විනිවිදභාවයක් නැහැ. මේ නිසා අයවැය යථාර්ථවාදී වේ යැයි සිතිය නොහැකිය.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02