ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට ලක්ෂ පහකට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ඉන් තුන් ලක්ෂ අනූහතර දහසක් කර්මාන්ත අංශයේ සේවකයන්ය. විවිධ කර්මාන්ත ශාලා 2000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය කාලයේ වැසී ඇතැයි වාර්තා වේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇතැම් කර්මාන්ත ශාලා හිමියන් තම සේවයකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් සියයට 50ක් පමණක් ගෙවමින් මාස ගණන් නිවෙස්වල තබා ඇතැයි නිදහස් වෙළෙඳ කලාපයේ හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා දේශයට ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් ඇඟලුම් කම්හල් සේවකයකුගේ මූලික වැටුප රුපියල් 16,000ක් වන අතර මෙවැනි තත්ත්වයක් යටතේ ඔවුනට හිමිවන්නේ 8,000ක වැටුපක් බවද පවතින ජීවන වියදම හමුවේ එම වැටුපෙන් ජීවත් වීමට නොහැකි හෙයින් ඇතැම් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමුවන අතර සේවකයන් යළි සේවයට කැඳවන අවස්ථාවේ සේවයට වාර්තා නොකරන පිරිස් සේවය අතහැර ගියා සේ සලකමින් කිසිදු වන්දි මුදලක් නොගෙවා ඉවත් කිරීමට කර්මාන්ත ශාලා හිමියන් සිදු කරන උපක්‍රමයක් බවද ඒ මහතා කියා සිටියේය.
එලෙස සේවකයන් ඉවත් කිරීමට එරෙහිව නිදහස් වෙළෙඳ කලාපයේ හා පොදු සේවක සංගමයේ සාමාජිකයන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇඟලුම් සේවක සේවිකාවන් විශාල පිරිසක් පසුගිය නොවැම්බර් 5 වැනිදා උද්ඝෝෂණයක ද නිරත වූහ.
සේවකයන් නිවෙස්වල තබා වැටුප් ගෙවන කර්මාන්ත ශාලා 100කට ආසන්න ප්‍රමාණයක් පවතින බවට අනාවරණ වේ. සේවකයන් 200කට අධික පිරිසක් සේවය කරන නිට්ටඹුවේ එක්තරා කර්මාන්ත ශාලාවක් මාස තුනක් මුළුල්ලේ සියයට 50ක වැටුපක් ගෙවමින් සේවකයන් නිවෙස්වල රඳවා ඇති අතර ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ද හිමි වී ඇතැයි ඇන්ටන් මාකස් මහතා සඳහන් කරයි. එම ආයතනයේ ඇතැම් සේවකයන් වසර 20කට වඩා වැඩි කාලයක් එහි සේවය කර ඇති නමුදු ඔවුනටද මෙම තත්ත්වය යටතේ කිසිදු වන්දියක් නොමැතිව සේවය හැර යාමට සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය කළ ඇන්ටන් මාකස් මහතා ''පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු නිර්මාණය වූ ආර්ථික අර්බුදය තුළ බොහෝ ආයතනවල නිෂ්පාදන කටයුතු අඩාල වෙමින් පවතිනවා. ඊට හේතු විදිහට සේවායෝජකයන් සඳහන් කරන්නේ ඔවුනට ලැබෙන ඇණවුම් 30%කින් පමණ පහත වැටී ඇති බවයි. ඇණවුම් අඩුවීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය අධික වීම හා යුරෝපයේ හා ඇමෙරිකාවේ පවතින අධික උද්ධමනය බවයි. ඔවුන් එහෙම කිව්වත් එම අර්බුදය විසඳා ගැනීමට සේවායෝජකයන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් ඇණවුම් නොලැබීමේ බර දැම්මේ සේවකයන් මතයි. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කම්කරු අමාත්‍යංශය හෝ කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා නැහැ. අපේ මූලික ඉල්ලීම මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන ලෙසටයි. සේවකයන් මුහුණ දී සිටින තත්ත්වය රටට පෙන්වා දෙන්නයි අපි පසුගියදා උද්ඝෝෂණයක නිරත වුණේ. නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන් පමණක් නොවෙයි, පිට පළාත්වල ඇඟලුම් කම්හල් සේවකයන් විශාල පිරිසක්ද සහභාගි වුණා. අපේ ගැටලුවට පිළිතුරක් නොලැබෙන්නේ නම් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යන්නත්, විදේශ ගැනුම්කරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටින්නටත් අපි බලාපොරොත්තු වෙනවා. කම්හල් හිමියන්ට ලැබෙන අධික ලාබය නිසා සේවකයන් ගෙවල්වල තබාගෙන වැටුප් ගෙව්වත් ඔවුනට පාඩුවක් නැහැ. පසුගිය කාලයේ ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ ගියා. ආයෝජකයන් ඉන් විශාල ලෙස ලාබ ලැබුවා. එම ලාබයෙන් කිසිවක් සේවකයන්ට දුන්නේ නැහැ. ඇතැම් ආයතන පසුගිය කාලයේ වැටුප යම් ප්‍රමාණයකින් වැඩි කළත් බොහෝ ආයතන කිසිදු වැඩිකිරීමක් කළේ නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.
පසුගිය කාලයේ මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හා විදුලිය ගාස්තු විශාල ලෙස ඉහළ යෑමෙන් අපනයනකරුවන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ ගියේය. එහි ප්‍රතිඵලය වූයේ ඇඟලුම් ආනයනකරුවන් ශ්‍රී ලංකාවට වඩා අඩු මිලකට ඇඟලුම් සපයන බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, වියට්නාමය, වැනි රටවල් වෙත යොමුවීමය. ඒ හැර තවත් රටවල් කිහිපයක්ම තරගකාරී ලෙස ඉදිරියට පැමිණියේය. අප්‍රිකාව, ඉතියෝපියාව, කෙන්යාව, ඊජිප්තුව වැනි රටවල් අපට වඩා ඉතාමත් අඩු මිලකට ඇඟලුම් නිෂ්පාදනය කරයි. එහෙත් එවැනි රටවලට ලැබෙන ඇණවුම් හා ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අතර වෙනසක් පවතී. අපේ නිමිඇඳුම්වල තත්ත්වය ඉතා උසස් බව ලොව පවතින පිළිගැනීම හේතුවෙනි.
ඇඟලුම් නිෂ්පාදනය කරන අනෙකුත් ආසියානු රටවලද උද්ධමනය ඉහළ ගියද ශ්‍රී ලංකාවේ තරම් ඉහළ අගයක නොමැති හෙයින් ඇඟලුම් ආනයන සමාගම් එම රටවල් වෙත යොමු විය. එමෙන්ම ඇමෙරිකාව ඇතුළු ලොව බොහෝ රටවල නිර්මාණය වී ඇති ආර්ථික උද්ධමනයද ඇණවුම් අවම වීමට බලපෑවේය. රුසියානු - යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියානු ගෑස් සැපයුම අඩාල වීම, ඉන්ධන මිල ඉහළ යෑම, මත යුරෝපා රටවල නිර්මාණය වූ උද්ධමනයද අපේ ඇඟලුම් සඳහා පැවැති ඉල්ලුම පහත දැමීය. මේ වන විට ඊශ්‍රායල - පලස්තීන අර්බුදයද ඉදිරි කාලයේ අපේ ගැටලු තවදුරටත් තීව්‍ර කරනු ඇත.
නිදහස් වෙළෙඳ කලාපය තුළ කර්මාන්ත ශාලා 290ක් පමණ ඇති අතර ඉන් බැහැරව ආයෝජන මණ්ඩලය මගින් අනුමත කම්හල් 1500ක් පමණ පවතී. ශ්‍රී ලංකාවට ඇඟලුම් සඳහා ඇණවුම් ලැබෙන්නේ එම නිෂ්පාදනයේ ස්වභාවය අනුවය. ඒ අනුව සය මසකට, කාර්තුවකට වැනි කාලයකට ඇණවුම් ලැබේ. ලොව උසස්ම හා මිල අධිකම ඇඟලුම් සන්නාමයන් යටතේ වන බොහෝ ඇඟලුම් නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේය. ඒවා මිල අධික වෙළෙඳපොළ සඳහා වන අතර බංග්ලාදේශය වැනි රටවල නිපදවන්නේ බල්ක් ගාර්මන්ට් හෙවත් ටීෂර්ට් වැනි ඇඟලුම්ය. ක්‍රීඩා ඇඳුම්, ලෝන්ජරි, කම්හල් සේවක ඇඳුම් වැනි ඇඟලුම් නොවන නිෂ්පාදන සඳහා ද ශ්‍රී ලංකාවට ඇණවුම් ලැබේ.
මහා පරිමාණ ඇඟලුම් කම්හල් තමන්ට ලැබෙන ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් කොටසක් සුළු හා මධ්‍ය පරිමාණ උප කොන්ත්‍රාත් ඇඟලුම් කම්හල්වලටද ලබා දෙයි. ඇඟලුම් ඇණවුම් අවම වීම හේතුවෙන් කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවන් සඳහා ලබා දෙන ඇණවුම් ලබා දිය නොහැකි තත්ත්වයක් ඇතිවූ අතර මධ්‍යම හා සුළු පරිමාණ ඇඟලුම් කම්හල් රුසක්ද පසුගිය කාලයේ වැසී ගියේය. වසර 15ක් පුරා ප්‍රධාන පෙළේ සන්නාමයක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ඇඟලුම් ඇණවුමක් පසුගියදා වියට්නාමයට හා බංග්ලාදේශයට පිරිනැමීමට එම සමාගම පියවර ගත්තේ අඩු මිලට එම රටවලින් ඒවා සපයා ගැනීමට ඇති හැකියාව හේතුවෙනි.
ඇඟලුම් කර්මාන්තය මුහුණ පා සිටින අර්බුදය සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා, ''මේ වන විට ඇඟලුම් කර්මාන්තය දැවැන්ත අගාධයක වැටිලා. පසුගිය වසර හා සසඳන විට කර්මාන්තකරුවන්ගේ ආදායම 25%කින් පමණ පහත වැටිලා. ආදායම අඩුවීමට බලපා තිබෙන්නේ අපට ලැබෙන ඇණවුම් අඩුවීමයි. ඇණවුම් අඩුවන විට අපට සේවක සංඛ්‍යාව අඩු කරන්න සිදු වෙනවා. මහ පරිමාණ කර්මාන්ත ශාලාවලට ලැබෙන ඇණවුම් සීමාවන විට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා හිමිකරුවන්ට පහර වදිනවා. මහා පරිමාණ කර්මාන්තකරුවන්ට ඇණවුම් අඩුවීම වගේම පිරිවැය වැඩිවීම මත එයට සරිලන මිලක් නොලැබීමත් ආදායම පහත වැටීමට හේතුවක් වුණා. දැන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට වෙනත් රටවල් සමඟ තිබෙන තරගකාරීත්වය එක්ක හැප්පෙන්න නොහැකි තත්ත්වයක් ඇතිවෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා හිමියන්ටත් පවතින අධික පිරිවැය දරාගත නොහැකියි.
2023 මැද භාගය වන විට අර්බුදකාරී තත්ත්වය යම් පමණකට පහව යනු ඇතැයි අපි අපේක්ෂා කළා. එහෙත් එවැන්නක් සිදු වුණේ නැහැ. එය ක්‍රමක්‍රමයෙන් තව තවත් නරක අතට හැරිලා. යුරෝපා රටවල පැවැති උද්ධමනකාරී තත්ත්වය තවමත් පවතිනවා. ඒ නිසා අපේ ඇඟලුම් සඳහා වන ඉල්ලුම තවමත් වර්ධනය වී නැහැ. ශ්‍රී ලංකාවෙන් ගන්නවාට වඩා අඩු මිලට මිලදී ගත හැකි නිසා ඇමෙරිකාව මේ වන විට වෙනත් රටවල් කරා යොමුවෙලා. දැරිය නොහැකි විදුලි බිල ඇඟලුම් කර්මාන්තය බිඳවැටෙන්නට ප්‍රධාන ලෙස බලපෑවා. කලාපීය රටවල් එක්ක ගත්තම ශ්‍රී ලංකාව වැඩිම විදුලි බිලක් අයකරන රට බවට පත්වෙලා. සමස්ත ආසියාවෙන්ම තුන්වැනියට වැඩි විදුලි බිල තියෙන්නේ අපේ. ඉතින් කොහොමද අපි කර්මාන්ත පවත්වාගෙන යන්නේ. ඉදිරියේදී තව තවත් විදුලිය බිල වැඩිවනවා මිසක් අඩුවන්නේ නැහැ.
ඇණවුම් අවම වීම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මේ වන විට බොහෝ කර්මාන්ත ශාලා හිමියන් සේවකයන්ට සම්පූර්ණ වැටුප හෝ ඉන් අඩක් හෝ ලබා දී ඔවුන් නිවෙස්වල තබා තිබෙනවා සේවයට කැඳවන්නේ නැතුව. ඇතැම් කම්හල් සතියකට දින 4ක් පමණයි වැඩ කරන්නේ. ඇතැම් ඒවා සතියක් වැඩ කරනවා සතියක් වහලා. දෙසැම්බර් නිවාඩුවෙන් පසු ඇතැම් කර්මාන්ත ශාලා මාස තුනක් වසා තැබීමට තීරණය කර තිබෙන බව දැනගන්නට තිබෙනවා. ඇතැම් ඒවා මාසයක් වහන්න යනවා.
අප මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට කළ හැක්කේ පිරිවැය අවම කර ගැනීම හා සේවක කප්පාදු කිරීම් වැනි දේ පමණයි. මේ වන විට ඇතැම් දේශීය ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටිනවා. ඉන් සිදුවන්නේ ලංකාවේ විරැකියාව තව දුරටත් ඉහළ යෑමයි. යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා