2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

කෝටියක අල්ලසට කොටුවූ පරිසර අධිකාරියේ සභාපති

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

පුරවැසියන්ගේ විවිධ අවශ්‍යතාවයන් ඉටුකර දෙන බව කියා අල්ලස් ලබාගත් නිලධාරීන් සහ මුදල් ලබාගෙන වංචා කළ රාජ්‍ය නිලධාරීහු කොතෙකුත් සිටිති. ඔවුන් අතර ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය ආයතන සභාපතිවරුන් පමණක් නොව රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානී තනතුරු දැරුවෙක් ද වෙයි. කී නොකී රජයේ ඉහළ නිලධාරීන්ගේ අල්ලස් කතා ලැයිස්තුවට අලුතින්ම එක්ව ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාය.

මෙසේ අල්ලස් ලබාගැනීමේ චෝදනාවට ලක්වූ ඇතැම් නිලධාරීන් වැඩ තහනමට ලක්වූ අවස්ථා ගණනාවකි. තවත් අය එම චෝදනාව හේතුවෙන් මහඋළු ගෙදර තපින්නට වූ අවස්ථා එමටය. එවැනි පසුබිමක අලුත්ම කතාව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ සම්බන්ධයෙන් වාර්තා වූයේ පසුගිය 10 වැනිදාය.

එදින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල සහ ටෙනිසන් ෆොන්සේකා යන තිදෙනාම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී ඔවුහු අත්අඩංගුවට පත්වූහ.

වාර්තා වන ආකාරයට සෙනූ කාගෝ ශිපින් සර්විස් නම් ආයතනයකි. එය කොළඹ 08, බොරුල්ල, ලේක්ඩ්‍රයිව් ලිපිනයේ පිහිටා ඇත. මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වරායවලට පැමිණෙන දේශීය හා විදේශීය නෞකාවලට විවිධ සේවා සපයයි. ඒ අතර ප්‍රධාන වශයෙන් දෙස් විදෙස් නෞකාවලින් ඉවත් කරන දැවි තෙල් එකතු කිරීම සිදු කරන අතර මෙරට ක්‍රියාත්මක කර්මාන්ත ශාලාවල භාවිත කොට ඉවත් කරන දැවි තෙල් එක්රුස් කිරීමද සිදු කරයි. ඒවා නැවත භාවිත කළ හැකි පරිදි පිරිපහදු කිරීම සිදුකර නැවත අලෙවි කිරීම මෙකී සමාගම සතු ව්‍යාපාරයයි. එහි හිමිකරු හේවාතන්ත්‍රිලාගේ රත්නසිරි ප්‍රියන්ත නැමැත්තෙකි. මේ ආයතනය පවත්වා‍ගෙන යාම සඳහා වාර්ෂිකව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතුව ඇත. එම බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගිනි. 

එම බලපත්‍රය ලබාගැනීම සඳහා හේවාතන්ත්‍රිලාගේ රත්නසිරි ප්‍රියන්ත නැමැත්තා මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගොස් තිබුණි. ඒ ඉකුත් වසරේ දිනකය. අදාළ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා රුපියල් කෝටි දෙකක සන්තෝසම් මුදලක් අවශ්‍ය බව එහිදී පවසා ඇතැයිද කියති. ව්‍යාපාරිකයා එතරම් මුදලක් ලබාදීම අසීරු බව කියා එම මුදල ලක්ෂ 70ක් දක්වා අඩුකරගෙන තිබුණත් පසුව කිසිදු සන්තෝසම් මුදලක් අය නොකොට එම බලපත්‍රය ලබා දීමට ඔහු ක්‍රියා කර ඇත. ඒ ගිය වසරේ වූ සිදුවීමයි.
මේ වසර සඳහා ඇවැසි බලපත්‍රය ලබාගැනීම සඳහා ද ආයතන හිමිකාර රත්නසිරි ප්‍රියන්ත මහතා නැවත වරක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගොස් තිබේ. එවිට එහි සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා බලපත්‍රය නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇත. ඊට හේතුව ව්‍යාපාරිකයාට නියමිත කොන්දේසි සියල්ල සපුරාලීමට තිබූ බාධාවන් බව සඳහන්ය. මේ අතර රුපියල් කෝටියක මුදල බාරගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනකු පැමිණෙන බව කියා ඔවුන් දෙන්නා ව්‍යාපාරිකයාට හඳුන්වා දී ඇතැයි කියති. මෙම මුදල ඩොලර්වලින් ලබා දෙන ලෙස මුලින් කියා ඇතත් පසුව රුපියල්වලින් ලබාගැනීමට පොරොන්දු කරගෙන ඇත. පසුව ඔවුන් දෙදෙනා ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ රුපියල් කෝටියක මුදල බාරගැනීම සඳහා නොවැම්බර් 10 වැනිදා රාජගිරියට නුදුරු තැනක පිහිටි සුපිරි වෙළෙඳසලකට එන බවත් ඒ වෙත මුදල් රුගෙන එන ලෙසත්ය.

මේ අකටයුත්ත පිළිබඳ කල්පනා කළ ව්‍යාපාරිකයා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනකු තමාගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කරන බව හැඳිනගෙන ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇත. එතැන් සිට එම කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කළ ව්‍යාපාරිකයා අදාළ දිනයේ නියමිත ස්ථානයට ගොස් තිබිණ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා හඳුන්වා දුන් තැනැත්තන් දෙදෙනාද එහි රුඳී සිට තිබෙන අතර ඔවුන් ව්‍යාපාරිකයාට කියා ඇත්තේ අත ඇති මුදල් පාර්සලය පෙන්වන ලද කුඩයක් තුළට දමන ලෙසය.

මෙතෙක් වේලා ආවේක්ෂණයේ නිරතව සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් යුහුසුලු වී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඔවුන්ට සිතන්නට හෝ කාලයක් ඉතුරු නොකොටය. එහිදී සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ එක් සැකකරුවකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අනුරුද්ධ පොල්ගම්පල නැමැත්තා බවත් අනෙක් පුද්ගලයා ඔහුගේ හිතවතකු වන ටෙනිසන් ෆොන්සේකා යන අය බවත්ය. වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා අත්අඩංගුවට ගනු ලැබූවේ ඔහු රැඳී සිටි කාර්යාලයේදීය. පසුව ප්‍රශ්න කරන අතරමග ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා ඔහු රෝහලට රුගෙන ගොස් ප්‍රතිකාර ලබා දී තිබිණ. සැකකරුට අධිරුධිර පීඩනය ඇතිවී තිබෙන බව වෛද්‍යවරුන් පවසා ඇතැයි කියති.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අත්අඩංගුවට ගත් ලක්ෂ 70ක මුදල් තොගයද සමඟිනි. එහිදී ප්‍රධාන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා සිටියේ සේවාදායකයා කිසිම විටක මුදල් ලබා නොගත් බවකි. එසේම ඔහුගේ බිරිය දින කිහිපයකින් නිවුන් දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් සිටින බවද කියා ඇත. ඒ නිසා මොහුව බන්ධනාගාරගත කළහොත් බිරියගේ සෞඛ්‍යයටද එය බලපෑමක් විය හැකි බවද දන්වා ඇත. සැකකාර සභාපතිවරයා අවිස්සාවේල්ල තල්දූව පදිංචිකරුවෙකි. චමින්ද අනුරුද්ධ මාලබේ ප්‍රදේශයේ හා ටෙනිසන් ෆොන්සේකා සල්මල් උයන පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය.

13 වැනිදා නැවත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇප මත මුදාහරින ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ශනේෂ් පතිරගේ යන සැකකරු එම අල්ලස ඉල්ලා ඇති බවට හෝ අදාළ අල්ලස ලබාගත් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බැවින් ඔහුව රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්ෂ 25ක් බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සෙසු දෙදෙනා ලබන 24 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර