මේ දිනවල දිවයිනට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් බොහෝ ජලාශ පිරී ඇති බවට වර්තා පළවෙමින් තිබේ. එසේම මේ දිනවල සමස්ත විදුලි සැපයුමෙන් සියයට අසූවක් පමණ ජල විදුලිය මත පදනම්ව ඇති බවද කියැවේ. එසේ නම් මහ වැසි ඇදහැලී ජලාශ පිරී ඉතිරී ගිය ද විදුලි බිල අඩු නොවන්නේ ඇයි? සරල ලෙස පෙනුණද මෙම සංකීර්ණ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමට අපි තීරණය කළෙමු.
විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට අසූවක් ජල විදුලියෙන් සපුරා ගැනීමට සිදුවේ. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය හරහා ඉතිරි සියයට විස්ස පද්ධතියට එක්කරනු ලබයි. ඒ අනුව මේ වන විට විදුලිබල මණ්ඩලයේ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ. මාසික ලාභය බිලියන ගණනකි.
කෙසේ වෙතත් වර්ෂාව ඇදහැලුණ ද විදුලි බිල අඩු නොවීම පිටුපස තවත් සංකීර්ණ ප්‍රශ්න රුසක් පවතී. විදුලි ගාස්තු සංශෝධනය වසරකට අවස්ථා දෙකකදී සිදුකිරීමට පසුගිය සමයේ ආණ්ඩුව තීරණය කළේය. ඉදිරියේදී එම කටයුත්ත නිවැරදිව සිදුවේ නම් මෙම වර්ෂාවේ වාසිය පාරිභෝගික විදුලි බිල්පත්වලට දැනිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවේද නොවේද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් අප සතු නොවේ.
වසරකට දෙවරක් විදුලි බිල්පත් අඩු වැඩි කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූයේ මීට දශකයකට පමණ ඉහතදීය. එහෙත් එම තීරණය පිළිබඳ කිසිවෙක් සැලකිලිමත් නොවූහ. මාස හයකට වරක් විදුලි ගාස්තු වැඩි කිරීම හෝ අඩු කිරීමට අදාළ තොරතුරු මහජන උපයෝගීතා කොමිසමට ලැබුණමුත් කොමිසම නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
2014 සිට 2023 වසර දක්වා මෙරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවීය. එම වකවානුවේ වැඩුණු විදුලි ජනන පිරිවැය සපුරා ගැනීමට මණ්ඩලය රාජ්‍ය බැංකුවකින් ණය ගෙන තිබුණි. අවසානයේ සියලු බර පැන දැරුවේ මහා භාණ්ඩාගාරය විසිනි. භාණ්ඩාගාරය මුදල් සොයාගත්තේ පාරිභෝගික ජනතාව මතම බදු ගහමිනි.
මාස හයකට වතාවක් විදුලි බිල සංශෝධනය වීමේදී අනුගමනය කළ යුතුව තිබුණු ක්‍රමවේදය පෙර අනුගමන නොකළේ ඇයි? දැයි දැන් ඔබට සිතෙනු ඇත. එය හුදෙක් දේශපාලන න්‍යාය පත්‍රවල ප්‍රතිඵලයක් විය. දේශපාලකයන්ට ඕනෑ වූයේ විදුලි ගාස්තු වැඩිවීම නම් වූ යථාර්ථය ජනතාවට සඟවා සිය හොඳ නම ආරක්ෂා කර ගැනීමටය.
මාස හයේ ක්‍රමය මුල සිට අනුගමනය වූයේ නම් ගෙවී ගිය මාසයේ වියදම සහ ආදායම ගණනය කොට ලාබය පිළිබඳ අදහසක් සහිතව, ඉදිරි මාස හය පිළිබඳව ද ඇස්තමේන්තුවක් සිදුකොට මිල තීරණය කිරීම කළ යුතුව තිබුණි. කාලගුණික දේශපාලන දත්ත තොරතුරු ඇතුළු සාධක ගණනාවක් සලකා මෙම ක්‍රම සකසා තිබූ බව එය මුල් අවස්ථාවේ පිඹුරුපත් කළ බලශක්ති විශේෂඥයෙක් කියා සිටියේය.
එවන් ක්‍රමවේදයක් අනුගමනය වූයේ නම් අද වර්ෂාවෙන් ජලාශ පිරී යාමෙන් ලැබෙන වාසිය ජනවාරියේදී ජනතාවට ලැබීමට අවස්ථාවක් පැවතිණි. එහෙත් දැන් එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකිය. විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම අතර හුවමාරු වන්නේ සැබෑ දත්ත සහ තොරතුරු ද යන්න ගැටලුවකි.
දැන් කොතරම් වැසි ඇදහැලුණ ද, වැසි දෙවියන් මිහිබට පැමිණිය ද, විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනයක් සිදු කරතැයි බලාපොරොත්තු වීම අපහසුය.
මණ්ඩලේට බිලියනගාණක් ලාබයි
(සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහ ලංකා විදුලි පොදු සේවක සංගමය)
“මේ වෙලාවේ විදුලිය නිෂ්පාදනය වෙන්නේ ඉතාමත් අවම පිරිවැය යටතේ. ජල විදුලියෙන් විදුලි ඒකකයක නිෂ්පාදනය සාමාන්‍යයෙන් රුපියල් 3ක් වගේ වෙනවා. සම්ප්‍රේෂණ බෙදාහැරීමේ පිරිවැයත් එකතු කළාම රුපියල් 10ක් 11ක් විතර වෙන්නෙ. නොරොච්චෝලේ බලාගාරෙත් දැන් විදුලි ඒකකයක් රුපියල් 45ක් 46ක් වගේ යන්නෙ. මේ වෙලාවේ ජලාශ සැලකිය යුතු පරිමාවකින් පිරිල තියෙන්නෙ. ඒ නිසා මේ වෙලාවේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන ගණනක ලාභයක් ලබනවා.
ආසියාවේ විදුලි බිල ගත්තම දෙවැනියට තුන්වැනියට එන්නේ ලංකාව. අපිට තේරෙනවා ගෘහස්ත පාරිභෝගිකයන්ට තියෙන ආර්ථික අපහසුතා සියල්ලම. ඊටත් වැඩිය කර්මාන්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේ විදුලි බිල වැඩිවීම රටේ ආර්ථිකයට බලපානවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය පාඩුවට දිවීමත් භයානකයි. ඒකත් කැරකිලා එන්නේ භාණ්ඩාගාරයට. විදුලිය නිෂ්පාදනය කරන්න භාවිත කරන මූලාශ්‍ර තමා පාඩුවට ප්‍රධාන හේතුව. හැබැයි මේක ඇතුළේ නාස්තිය සහ අකාර්යක්ෂමතාවත් තියෙනවා. අපි වෘත්තීය සමිතියක් විදියට දැඩිව කියා සිටින්නේ නාස්තිය දූෂණය අවම කරන්න කියන කාරණාඅව. හැබැයි ඇත්තටම වෙන්නේ නාස්තිය දූෂණය තියෙද්දි විදුලි බිල වැඩි කරල පාඩුව පියවගන්න උත්සාහ කරන එක. ඒත් අපිට තියෙන තාවකාලිකව පිළියම මේක තමයි.
මෙතැන තියෙන විසඳුම තමා පුනර්ජනනීය බලශක්තියට මාරුවෙන එක. විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ වෘත්තිකයෝ සිදු කරපු හානියත් එක්ක පුනර්ජනනීය බලශක්තිය කරා යන්න තිබුණු අවස්ථා අහුරලා තියෙන්නේ. මේකෙ ප්‍රතිඵලය විදියට තමයි අධික වියදමක් දැරීමට සිදුවන තෙල් බලාගාර ටික තවමත් දුවන්නේ."
I චමිඳු නිසල් ද සිල්වා