වර්ෂ 1977 දී දඬුවම් මාරුවක් ලබා අම්පාරේ සිට වාලච්චේන දෙමළ මහා විද්‍යාලයට යැවූ එක්තරා ගුරුවරයකුට කලාප කාර්යාලයෙන් අභියෝගයක් එල්ල විය. ඒ කැලයක තිබූ ගොඩනැගිල්ලක් පාසලක් බවට පත් කරන්නටය. මෙම ගුරුවරයා අභියෝගය බාරගෙන එරාවූර් ඉඳන් හැතැප්ම 27 ක් බසයකින් ගොස් හුන්නිච්චෙයි වැව ළඟ බැස්සේය. නැවතත් හැතැප්ම 5 ක් කැලයක් මැදින් පයින් ගිය ඔහු සිප්පිමඩුව නම් ගම්මානයට ඇතුළු වූයේය. මඩකලපුව සිප්පිමඩුව ගම්මානය යනු දෙමළ ගම්මානවලට මැදි වූ පවුල් 175 ක් දිවිගෙවූ සිංහල ගම්මානයකි.
‘අඩා මාත්තියා උඹ කොහේ? ඇයි උඹ ආවේ?’
‘මම ගම්පහ පදිංචිය. අම්පාරෙ ඉඳලා ආවෙ. මේ ඉස්කෝලෙට මාරුවක් ලැබිලා ආවෙ තමුන්ගෙ දරුවන්ට උගන්වන්න.’
‘මාත්තියා, අපි උඹට දෙයියන්ට වගේ සලකනවා. මේ දරුවන්ගේ නේත්තරා පාදලා දීහං. අපි උඹව බලාගන්නවා.’
හොඳ සූට් හැඳ සිටි මහත්තයාට ගමේ කාන්තාවක් එසේ පැවසුවාය. එදා මේ ඉස්කෝලෙ මහත්තයා වර්තමානයේ ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි නිවේදකයකු වන සීලරතන සෙනරත්ය. කාන්තාව දිසානායක මුදියන්සේලාගේ රන්මැණිකාය.
දකුණෙන් සේන්දු වූ සිංහල මුදලාලිලා හේන් ගොවිතැන් කරන්නට සිප්පිමඩුවේ වැසියන්ගේ ඉඩම් බද්දට ගත්හ. දකුණේ මුදලාලිලා බද්දට ගත් ඉඩම්වල හේන් වැඩට යෙදවූයේද සිප්පිමඩුවේ වැසියන්වමය. ඔවුන් කතාබහ කරන්නේ සිංහලෙනි. නම් ඇහුවාම දිසානායක, රංබණ්ඩා, හීන්මැණිකේ, තිසාහාමිය. එහෙත් ඒ වනතුරු කිසිදා වැස්සකටවත් පාසලකට ගොඩවී නැතැයි පැවසීම ඔවුනට අපහාසයක් නොවේය. එයට මූලිකම හේතුව අකුරු කරන්නට සිංහල පාසල් නොමැතිවීමය. තමන්ගේ මව්බස තම දරුවාට උගන්වන්නට පාසලක් නොමැතිව දුක් විඳි මවුපියන් අපේ රටේ සිටියේ යැයි කිසිවෙක් විශ්වාස නොකරති. යුද්ධයට පෙර මඩකලපුවේ සිංහල පාසල් 13 ක් පමණ තිබී ඇත. එමෙන්ම දෙමළ පාසල්වල සිංහල මාධ්‍ය පන්ති කාමරද විය.
මඩකලපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ පසුගියදා බරපතළ චෝදනාවක් කළහ. එනම් යුද සමයේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ වැසී ගිය පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට මේ තාක් බලධාරීන්ට නොහැකි වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමට අප උන්වහන්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද උන්වහන්සේ තොරතුරු ලබාදීමට අසමත් වූහ.
කෙසේ වෙතත් අප කළ විමර්ශනයේදී එරාවූර් සිංහල මහා විද්‍යාලය, ජයන්තිපුරම් සිංහල මහා විද්‍යාලය, කල්කුඩා සිංහල මිශ්‍ර පාසල, කෝපාවේලි සිංහල විද්‍යාලය, තෙරියපුල්ලොමලෙයි සිංහල විද්‍යාලය, සිප්පිමඩුව සිංහල විද්‍යාලය, සියවඩ්ඩවන් සිංහල විද්‍යාලය, මඩකලපුව සිංහල මහා විද්‍යාලය, තාවකුඩා සී.සී.ටී.එම්.එස්. විද්‍යාලය ඇතුළු විද්‍යාල 13 ක් යුද්ධයට පෙර මඩකලපුවේ තිබී ඇත. එහෙත් මේ වන විට එම විද්‍යාලවලින් සක්‍රීය සිංහල පාසලක් වන්නේ මඩකලපුව සිංහල මහා විද්‍යාලය පමණි.
සෑම වසරකම විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පත්‍රිකාවේ දිස්ත්‍රික්ක 4 ක සිංහල මාධ්‍ය තීරුව හිස් ඉරක් පමණක් තිබෙනු ඔබ දකිනවා ඇත. යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ මඩකලපුව එම ඉරක් වූ දිස්ත්‍රික්ක වෙයි. පසුගියදා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් විය. විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එම ලේඛනයේද යාපනය, කිළිනොච්චිය, මඩකලපුව දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය මෙවරත් හිස්ය. එම දිස්ත්‍රික්කවල සිංහල දරුවන් නොමැති නිසා එම තීරුව ඉරක් වී ඇතැයි ඔබට සිතේ. එහෙත් සත්‍ය නම් මෙයට වඩා බොහෝ වෙනස්ය. යුද්ධයෙන් අවතැන් වූ සිංහල ගම්මානවලට නැවත පදිංචි කිරීම්වලදී යළි සිංහල ජනතාව පැමිණියද ඔවුන්ගේ දරුවන්ට සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට පාසලක් නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
“1977 මැයි මාසෙ 8 වැනිදා සිප්පිමඩුව සිංහල පාසල ආරම්භ කරන්න මම විදුහල්පති හැටියට මට කලාප කාර්යාලයෙන් ලැබුණේ ලොග් පොතයි සීනුවයි විතරමයි. දුෂ්කරතා බාධක මැද මම වසර 5 ක් මේ පාසල සතුටින් කරගෙන ගියා. මහ රූටත් තොප්පිගල පැත්තෙන් වෙඩි සද්දෙ ඇහෙනවා. ඒ වෙලාවට මම ඩෙස්වලට ගගහ සිංදු කියනවා. ගමේ එකම එක මුස්ලිම් මුදලාලි කෙනකු කළ කෑම කඩයක් තිබුණා. ඒ කඩෙන් කොස් හොදියි මඤ්ඤොක්කායි කාලා තමයි ළමයින්ට ඉගැන්නුවේ. පුල්ලෙයාර් දෙවියන්ටත් ගස් ගල්වලටත් වැඳ වැඳ හිටපු මිනිස්සු බෞද්ධ කළා. ගමේ බුදු මැඳුරක් හැදුවා. මේ ගම හදන්න බද්දේගම විමලවංශ හාමුදුරුවන් බොහෝ මූලිකත්වයක් දැරුවා. එකල මඩකලපුව දිසාපති හැටියට කටයුතු කළේ ඩික්සන් නිලවීර. ගමේ කවුරුත් කසාද බැඳලා හිටියෙ නෑ. කසාද සහතික තිබුණෙ නෑ. නිමාලි කියලා තරුණියක් හිටියා. එයාත්, එයාගෙ අම්මාත්, එයාගෙ ආච්චිත් එකම දවසෙ කසාද බැන්දුවා. ඒ විවාහ සහතික තුනටම අත්සන් කළේ දිසාපතිතුමා. දිසානායක මුදියන්සේලාගේ තිසාහාමි. ඒ මුල්ම පන්ති නායකයා. ඒ පන්ති නායකයාව මම මහණ කෙරෙව්වා. 54 වියේ පසුවන උන්වහන්සේ දැන් වෑබඩ රජමහා විහාරයේ විහාරාධිපති. ඒ සියලු ආගමික කටයුතුවලට මූලිකත්වය දුන්නේ බද්දේගම විමලවංශ හාමුදුරුවො. 1983 දී මේ පාසල ගිනි තිබ්බා. සිංහල මිනිස්සු ගම හැර ගියා එදා.”
උතුරු නැගෙනහිර ගුරු සේවයේ රස මතක එසේ හෙළි කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරතන සෙනරත් මහතාය.
නැගෙනහිර පළාතේ 2022 වසරට අදාළ වාර්ෂික දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ මෑතකදීය. එනම් 2023 සැප්තැම්බර් මාසයේදීය. එහි තොරතුරුවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව, මඩකලපුව මධ්‍යම, මඩකලපුව බටහිර, පදිරිප්පු සහ කල්කුඩා ලෙස අධ්‍යාපන කලාප 5 ක් පිහිටා ඇති අතර එහි සමස්ත පාසල් 363 ම දමිළ මාධ්‍ය පාසල් වෙයි. මඩකලපුව කලාපයේ පාසල් 65 ක්, මඩකලපුව මධ්‍යම පාසල් 77 ක්, මඩකලපුව බටහිර පාසල් 68 ක්, පදිරිප්පු 70 ක් සහ කල්කුඩා පාසල් 80 ක් වෙයි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් 444 න් සිංහල මාධ්‍ය පාසල් 186 ක් තිබේ. එසේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් 315 න් 80 ක් සිංහල මාධ්‍ය පාසල් වෙයි.
මඩකලපුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ ප්‍රකාශකයකු පැවසූයේ වර්තමානය වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ සක්‍රීය සිංහල මාධ්‍ය පාසල් ඇත්තේ 1 ක් පමණක් බවත් එය මඩකලපුව සිංහල මහා විද්‍යාලය බවත්ය. එසේම කල්කුඩා සිරි සීලාලංකාර විද්‍යාලය සිංහල මාධ්‍ය පාසලක් වශයෙන් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
මඩකලපුව සිංහල මහා විද්‍යාලය මෙම වසරේ යළි ආරම්භ කළේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මඩකලපුවේ ගම්මාන අතර කෙවිලියාමඩුව, සින්නවත්ත, සිප්පිමඩුව ආදී සිංහල ගම්මාන 8 ක් පමණ පිහිටා තිබේ. එයිනුත් සිංහල ගම්මාන 4 ක් පමණ පිහිටා ඇත්තේ මුහුදු සීමාව අයිනේය. යුද්ධයෙන් පසු කාලයේ සිංහල පාසල් නොමැතිවීමත්, දමිළ පාසල්වල සිංහල පන්ති නොමැතිවීමත් නිසා සිංහල දරුවන්ට පිට පළාත්වල පාසල් සොයා යාමට සිදුවිය. මෙම මුහුදු සීමාවේ සිටි සිංහල පවුල්වල දරුවන්ට සිංහල පාසලක් සොයාගන්නට නම් එම ගම්මානවලට කිලෝමීටර 50ක් 80ක් පමණ දුර තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවත්මඩුව, වැලිකන්ද මහින්දාගම ආදී ප්‍රදේශවලට සහ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ආදී ප්‍රදේශවල සිංහල පාසල් සොයා යාමට සිදුවිය. මඩකලපුව වැනි ප්‍රදේශයක සිංහල පාසලක් ගොඩනැගීමට උත්සාහ දැරුවත් ගුරුවරුන් මෙම ප්‍රදේශවලට නොපැමිණීමත් විය සිදුරෙන් අහස දකින්නා සේය. පැමිණෙන ගුරුවරයාද ටික කලකින් මාරුවක් හදාගෙන පිටවී යාමෙන් දරුවන්ගේ අනාගතය මහත් අභියෝග රුසකට ලක් විය. ගමට පැමිණෙන සැබෑ ගුරුවරයාට දෙවියකුට මෙන් සැලකීමට මිනිසුන් පෙළඹෙනුයේ එහෙයිනි. යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ සිංහල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම අතවශ්‍ය කරුණකි. එහෙයින් මෑතකදී ඇරඹූ මඩකලපුව සිංහල මහා විද්‍යාලය ඇතුළු සිංහල විද්‍යාල බිහිවී මඩකලපුවේ සිංහල ජනතාවගේ නැණමල් පුබුදන්නට සමත් වේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.
I සසංක චලන ගිම්හාන