2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

වැටුපටත් මිල සූත්‍රයක් ඕනෑ

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 120

ලබන ජනවාරියේ සිට දැනට 15%ක් ලෙස පවතින වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඊට අමතරව මෙතෙක් බදු අය නොකළ තවත් භාණ්ඩ රාශියක් සඳහාද වැට් බදු පැනවීමට නියමිතය. වැට් බදු වැඩි වනවිට රටේ සියලු භාණ්ඩ හා සේවාවල මිලද ඉහළ යාම වැළැක්විය නොහැකිය. ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හා තම ණය අනුමත කිරීමට නම් හැකිතරම් බදු අයකරගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට කියා තිබේ. රජයේ ආදායම වැඩිකර ගැනීමට අපනයන දිරි ගන්වනවා වෙනුවට හැකි තරම් බදු පනවමින් ජනතාව පීඩාවට පත් කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැනි වෘත්තිකයන් මේ වනවිට රට හැර යමිනි සිටින්නේ වෘත්තිකයන් සඳහා පනවා ඇති අධික බදුබර හේතුවෙනි.

බදු වැඩිකරන විට බඩු මිල ඉහළ යන්නේ රොකට්ටුවක වේගයෙනි. ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම්වලින් ඇතැම් කූඨ වෙළෙන්දෝ තම මඩිය තරකර ගැනීමට මාන බලති. ලබන වසරේ වැට් බද්ද ඉහළ යාමෙන් ජනතාවට විශාල පීඩනයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය... වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ඒ සම්බන්ධයෙන් දේශයට මෙලෙස අදහස් පළකළේය... ''ජනතාවට මුහුණ දෙන්න සිදුවන පීඩනය වටහාගත හැක්කේ රජය අපේක්ෂා කරන ආදායමේ ප්‍රමාණයෙන්. රජය 2023 වසරේ අපේක්ෂා කළ ආදායම රුපියල් බිලියන 2850ක්. 2024 වසර සඳහා අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4127ක්. ඒ අනුව එය 45% පමණ වැඩිවීමක්. මෙම ආදායම සොයන්න වෙන්නේ බදුවලින්. එය දරන්න වෙන්නේ රටේ ජනතාවටයි. වැට් යනු වක්‍රබද්දක්. එය ව්‍යාපාරිකයන්ට පැනවුවාම ඔවුන් එය පාරිභෝගිකයාගෙන් ලබා ගන්නවා. ලබන වසරේ සිට වැට් බදු ඉහළ යාමෙන් එක පවුලකට දැනට වැයකරන මුදලට වඩා අමතර රුපියල් 5000ක් පමණ මාසෙකට වැඩියෙන් වැයකරන්න සිදුවේවි. ඒ වගේම අලුතින් භාණ්ඩ රුසකට වැට් බද්ද එකතු වෙනවා.'' යනුවෙන් සඳහන් කළේය.

කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට සිදුව ඇත්තේ වේල් තුනක් කෑමට නොව උලා කෑමටය. වෙරිටේ රිසර්ච් නමැති සමීක්ෂණ ආයතනය මගින් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම සමීක්ෂණය අනුව 2023 ජුනි මාසයේ දී 21% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 2023 ඔක්තෝබර් මාසයේදී 9%ක් දක්වා පහත වැටී තිබේ. ඉන් පැහැදිලි වන්නේ  රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව ජනතාව තුළ පැවැති විශ්වාසය බිඳ වැටී ඇති බවකි.. 2023 පෙබරවාරි මාසයේ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පැවතියේ  10%ක් ලෙසිනි.  2023 ජුනි මාසය වන විට එය 21% දක්වා ඉහළ ගොස් තිබුණද පසුගිය ඔක්තෝබරය වන විට 9% දක්වා පහත වැටී ඇත. රට පිළිබඳව ජනතාව තුළ පැවැති තෘප්තිමත්භාවය 2023 ජූනි මාසයේදී 12%ක් වූ අතර ඔක්තෝබරයේ එය 6% දක්වා පහත වැටී ඇති බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබේ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පවතින විශ්වාසය ජුනි මාසයේ සෘණ (-) 44 ක්ව පැවති අතර එය ඔක්තෝබරය වනවිට සෘණ (-) 62 දක්වා පහත වැටී ඇත.

රජයේ සේවයකයන්ට රුපියල් 10000ක දීමනාවක් ලබන අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව පසුගිය අයවැයේදී  මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. එහෙත් රටේ ආර්ථිකයට දායකවන පෞද්ගලික අංශයට හා වතුකරයේ ජනතාවට වැටුප් හෝ දීමනා ලබා දෙන ලෙසට ඉල්ලීමක් හෝ ඔහු කළේ නැත. රටේ ජනතාව විමසන්නේ මේ රටේ ජීවත්වන්නේ රජයේ සේවකයන් පමණක්ද කියාය. රජයේ සේවකයන්ට දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නොමැත. එහෙත් ඔවුනට මෙන්ම රටේ සියලුම ජනතාවට රටේ පවතින ආර්ථික පීඩනය දැඩි ලෙස දැනෙන බව පාලකයන්ට නොතේරීම අවාසනාවකි.

ආණ්ඩුව විදුලි බිල දැරිය නොහැකි ලෙස වැඩි කළේය.  ඉන්ධන මිල හා ගෑස් මිලද වරින්වර වැඩි කරමින් සිටී. ජල බිලද දෙවරක් වැඩි වූ අතර ලබන වසරේ යළි වැඩිකරන බවට රාවයක් පවතී.  ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල, ගෑස් මිල වැඩි වනවිට මෙරට විදුලි බිල, ගෑස් මිල, ඉන්ධන මිල වැඩි කරන්නට ආණ්ඩුව මිල සූත්‍රයක් හඳුන්වා දුන්නේය. එම මිල සූත්‍රය අනුව හැමදාම වැඩිවනවා මිස අඩු වන්නේ කලාතුරකිනි.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාර ජාතික කමිටු සාමාජිකා  දිල්කා සුරංගනී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්මින් ආර්ථිකය කඩා වැටීමත් සමඟ නිර්මාණය වී ඇති සමාජ ගැටලු නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ජීවත්විය හැකි මට්ටමේ වැටුපක් ලබා දෙන ලෙස පාලකයන්ට බලකර සිටී. ''අපිට ජීවත්වෙන්න සරිලන වැටපක් ලබාදෙන්න කියලා පාලකයන්ගෙන් ඉල්ලලා හෝ වැඳවැටිලා හෝ පලක් නැහැ. ඒ සඳහා අරගල කළ යුතුයි.. අපි ආණ්ඩුවට යෝජනාවක් කරනවා. පෙට්‍රල්වලට මිල සූත්‍රයක් දැම්මා. ඒ වගේ ජනතාවගේ වැටුපටත් සූත්‍රයක් හදන්න. බඩුමිල වැඩි වෙන කොට වැටුප වැඩිවෙන විදිහේ සූත්‍රයක් අපට අවශ්‍යයි'' යනුවෙන් සඳහන් කළාය.

ඇත්තෙන්ම වැටුපට එවැනි මිල සූත්‍රයක් නිර්මාණය කළ හැකිද?  ඉන්ධන, විදුලිය, ජලය වැනි දෑ සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද වැටුප් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන්නක් බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සීල පෙරේරාගේ අදහසයි. ''වැටුප් සඳහා ජීවන වියදම් දීමනාව කියල එකක් තියෙනවා. එයත් හරියට මිල සූත්‍රයක් වගේ තමයි. එමගින් තමයි රටේ භාණ්ඩ මිල ඉහළ යනවිට ජනතාවට එම වැඩිවෙන මුදල ලබා දෙන්නේ. මෙවර අයවැයෙන් පඩි වැඩිකරල කිව්වට, කරල තියෙන්නේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. වසර ගණනක් 7800 විදිහට තිබුණු එම දීමනාව දැන් 17,800 දක්වා වැඩිවෙනවා. පෞද්ගලික අංශයටත් ජීවන වියදම් දීමනාව වැඩිවිය යුතුයි. පඩි වැඩි කරනවා කියන්නේ මේ රටේ භාණ්ඩවල නිෂ්පාදන වියදම ඉහළ යාම. එවිට අපේ ව්‍යාපාර සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. රජය කළ යුතු වන්නේ වියදම අඩු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමයි.'' යනුවෙන් සඳහන් කළේය.
පසුගිය කොවිඩ් සමයේ බොහෝ පෞද්ගලික ආයතන එතෙක් සේවකයන්ට ගෙවූ වැටුපෙන් අඩක් කපා හැරියේය. එහෙත් මේ වන තෙක් එලෙස කපාහරින ලද වැටුප හෝ ගෙවන්නට බොහෝ ආයතන පියවර ගෙන නොමැත. බොහෝ කර්මාන්ත මේ වන විට වැසී ගොස් ඇති අතර නිදහස් වෙළෙඳ කලාපයේ ඇතැම් කම්හල් ඇණවුම් නොමැතිවීම මත සේවකයන් නිවෙස්වල තබා පඩියෙන් අඩක් ගෙවමින් සිටී. එලෙස සේවකයන් නිවෙස්වල තබා වැටුප් ගෙවන කර්මාන්ත ශාලා 100කට ආසන්න ප්‍රමාණයක් පවතින බවට අනාවරණ වේ.

ඇඟලුම් කර්මාන්තය මුහුණ පා සිටින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා කියා සිටියේ  මේ වනවිට ඇඟලුම් කර්මාන්තය දැවැන්ත අගාධයක වැටී ඇති බවටය.. පසුගිය වසර හා සසඳන විට කර්මාන්තකරුවන්ගේ ආදායම 25%කින් පමණ පහත වැටී තිබේ. ආදායම අඩුවීමට බලපා ඇත්තේ මෙරටට ලැබෙන ඇණවුම් අඩුවීම සහ පිරිවැය අධිකවීමය.. ඇණවුම් අඩුවන විට සේවකයන් අඩු කිරීමට සිදුවන අතර වැටුප් වැඩි කිරීමටද නොහැකි බව ඔහු සඳහන් කළේය. මෙවන් වාතාවරණයක් යටතේ ජනතාවට සිදුවන්නේ තව තවත් පටි තදකර ගැනීම පමණි.

I  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02