මහනුවර නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් කළේ අදින් වසර 35කට පෙරාතුවය. නගරයේ පෞරාණික ගොඩනැගිලි මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘතික වටිනාකම්ද එහිදී සලකා බැලුවේය. ලෝක උරුමයක් වුණු පසුව විදේශ සංචාරක පැමිණීමද ඉහළ ගියේය. පසුකාලීනව මහනුවර නයිට් රේස් පදින තත්ත්වයට පත්විය. දැන් යළිත් අපේකම වෙළෙඳ භාණ්ඩයක් ලෙස පරිහරණය වන තැනට කටයුතු කෙරීගෙන යන්නට මුල පුරා ඇත. ලෝකයේ සංවර්ධිත රටවල් පවා පෙන්වා සිටින්නේ ඉපැරණි ගොඩනැගිලි තවදුරටත් ආරක්ෂා කරන සේ නවීකරණය කර දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹීමට මෙන්ම හානියක් නොවන කාර්යයකට යොදාගත යුතු බවය. මේ පූර්විකාව ලිව්වේ මහනුවර ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක සඳහා සලකා බැලීමට කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශ වීම නිසාය.
කලක් මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ කොටසක් ලෙස පැවැති ඓතිහාසික ඇහැලේපොළ වලව්ව පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ සංවර්ධනය කළේය. වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ. ඉන්පසුව එය දළදා මාලිගයට බාරදීමට සැලසුම් කෙරිණි. ඒ යම්කිසි කෞතුකාගාරයක් වැනි දෙස් විදෙස් සංචාරකයන්ට දැනුමක් ලබාගත හැකි කාර්යයක් සඳහා යොදා ගැනීමටය. එහිදී නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ එසේ බාරගන්නේ නම් වැයවූ මුදල පියවිය යුතු බවයි. නමුත් දළදා මාලිගය මේ මුදල් පියවා එම ස්මාරකය බාරගන්නා බවට පැහැදිලි ප්‍රකාශයක් කර නැත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා සඳහන් කළේ දළදා මාලිගාව භාර නොගන්නේ නම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බවයි. එම ආයෝජන ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙන බව මාධ්‍ය වාර්තා කළේය. ඇමතිවරයා මේ උපදෙස් දුන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදීය.
ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේදී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහිදී පවසා තිබේ. නමුත් පූජනීය නගරය තුළ පිහිටි මේ ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් වැනි ආයෝජනයකට යෙදවුවහොත් එය පුජා නගරයට නොගැලපෙන බව භික්ෂූන් වහන්සේලාගේ සහ බොදු බැතිමතුන්ගේ මතය වී තිබේ. එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර පවසන්නේ මෙම ගොඩනැගිල්ලේ කායික භුක්තිය 2021 සිටම නාගරික සංවර්ධන අධිකාරිය දළදා මාලිගයට පවරා ඇති බවයි. ඒ අනුව අමාත්‍යවරයා ආයෝජන ව්‍යාපෘති ගැන පවසන්නේ එය නොදැනද යන්න ගැටලුවකි.
අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි මේ ගැන දේශය සමඟ මෙසේ අදහස් දැක්වූහ:
''මහනුවර පූජා නගර සීමාව ඇහැලේපොළ වලව්ව අසල සිට ක්වීන්ස් හෝටලය අසල දක්වා ඇදී යනවා. මේ ගොඩනැගිල්ල තිබෙන්නේ පූජා නගර සීමාව ඇතුළෙයි. පසුගිය කාලයේ පූජා භුමියට නොගැලපෙන ගොඩනැගිලි ක්‍රමයෙන් ඉවත් කිරීම සිදුවුණා. අස්ගිරි මල්වතු මහානාහිමියන් වහන්සේලාගේද ඉල්ලීමක් මතයි රිමාන්ඩ් බන්ධනාගාරය එතැනින් ඉවත් කරලා එම ඓතිහාසික ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණට කළේ. ඒක පූජා භුමියට ගැලපෙන කටයුත්තකට යොදාගත යුතු බවයි අප පවසන්නේ. මේ ගොඩනැගිල්ල දළදා මාලිගයට ලබාදුන්නොත් ආරක්ෂා වේවි. වෙනත් ආයෝජනයකට යොදාගත්තොත් විනාශ වීමට ඉඩ තිබෙනවා. මහනුවර මඟුල් මඩුවත් දැන් තිබෙන්නේ අබලන් තත්ත්වයේ. ඒකත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ අලුත්වැඩියා කළ යුතුයි.
මල්වතු අස්ගිරි මහානාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ඉල්ලීම් කර තිබෙන්නේ මෙවැනි පොදු ස්ථාන ආරක්ෂා කරගත යුතු බවයි. ඇහැලේපොළ වලව්ව ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයකට අයත් ඓතිහාසික ස්මාරකයක්. සංචාරක ව්‍යාපාරය තුළට සියල්ලම ඇතුළත් කිරීම වැරදියි.''
මේ පිළිබඳව දියවඩන නිලමේ ප්‍රදීප් දෑල බණ්ඩාර දේශයට සඳහන් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ගොඩනැගිල්ල දළදා මාලිගයට පවරා දීමේ මූලික කටයුතු සූදානම් කළ බවත් වර්තමාන ජනාධිපතිවරයා එම කටයුතු ඉදිරියට ගෙන ගොස් ඇති බවයි. ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායකගේ අත්සනින් යුක්තව 2023 සැප්තැම්බර් 8 දින දරන ලිපියෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ඇහැලේපොළ වලව්ව පූජා සන්නසක් මගින් ශ්‍රී දළදා මාලිගය වෙත පවරාදීමට ජනාධිපතිතුමාගේ නියමය පරිදි කටයුතු සිදුකරන මෙනි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දියවඩන නිලමේ වෙත 2021.08.11 දිනැතිව යොමුකරන ලද ලිපිය මගින් නිත්‍යනුකූලව පැවරීමේ කටයුතු සිදුකරන තෙක් ඇහැලේපොළ වලව්වේ කායික භුක්තිය 2021.08.14 දින දා සිට මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත භාර දී ඇත. 2023.08.29 දින ගරු ජනාධිපතිතුමා මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකින ලද අවස්ථාවේ උන්වහන්සේලා විසින් මෙම ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාලිගය වෙත පවරාදෙන මෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ජනාධිපති ලේකම්වරයා යවන ලද ලිපියේ සඳහන්ය.
ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාසල රණමුක මුදියන්සේ නොහොත් කවුරුත් දන්නා බසින් නම් ඇහැලේපොළ මහ නිලමේ සහ පවුලේ උදවිය වාසය කළ අගනුවර නිවස වූයේ මේ වලව්වයි. එය රජවාසල සිට මීටර දෙසීයක් පමණ දුරින් ස්වර්ණ කළ්‍යාණ නොහොත් වර්තමාන රජ වීදියට මුහුණලා පිහිටියේය. ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය මහනුවර නගරයේ දැනට ඉතිරිව පවතින හානියට පත් නොවූ නවීකරණය නොවූ එකම පැරණි වලව්වයි.
වර්ෂ 1844දී ඉංග්‍රීසිහු මෙම ගොඩනැගිල්ල අසල තවත් ගොඩනැගිලි ඉදිකර එය හමුදා බැරුක්කයක් බවට පත් කළහ. 2005 වසරේදී ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස මෙම ගොඩනැගිල්ල නම් කෙරුණි. මෙය මෑතක් දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත්ව පැවති අතර එය භාවිත කළේ රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙසයි. එහි වලව් ගොඩනැගිල්ලද වෙනම පිහිටා තිබුණි. මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගනු ලැබුණි. පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2014දී භාරදෙනු ලැබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් හා මෙහෙයවීම් මත නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදලින් මෙහි ප්‍රතිසංස්කරණය සිදුකෙරිණි.
ගඩොල්වලින් බිත්ති ඉදිකොට සිංහල උළු සෙවිලි කර සෑදූ ඇහැලේපොළ වලව්ව ඉපැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන ගොඩනැගිල්ලකි. මැද මිදුල, වලව්වේ ඇති උස කුලුනු සහ ආරක්කු, වලව්වේ ලී තරප්පු පෙළ, සොල්දර ඉහළ මහල, වලව් කාමර සහ ලී උළුවහු පැරණි තත්ත්වයෙන් අදටත් පවති. ඇතුළත දොර පියන් සහ උළුවහු තනා ඇත්තේ උඩරට ගෘහ නිර්මාණ ලක්ෂණ අනුවය.
රජු විසින් සබරගමුවේ දිසාව පදවියට පත්කරන ලද ඇහැලේපොළ දිසාව එහිදී කැරුලි ඇතිකර රජකම ගන්නට කුමන්ත්‍රණය කළ බවට තොරතුරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කේලාම් මගින් දැනගන්න ලැබුණි. රජුට කේලම් කියා ඇත්තේ මොල්ලිගොඩ ප්‍රමුඛ රදල නිලමේවරු විසිනි. ඇහැලේපොළ ඉංග්‍රිසින් වෙතට පලාගිය අතර මේ නිසා කෝපයට පත් රජු ඇහැලේපොළ කුමාරිහාමිත් දරුවන් තිදෙනාත් 1814 මැයි 17 වැනිදා අධික වද බන්ධනයට පමුණුවා මරාදැමූ බව පැවසේ. ඉංග්‍රීසින්ට උඩරට රාජධානිය හිමිකර ගැනීමට උදව් කරන ඇහැලේපොළ උඩරට රජු බවට පත්වීමේ සිහිනයක සිටියත් ඔහුට සිදුවන්නේ තම මන්දිරයේම සිරකරුවෙක් වීමටය.
මහනුවර පිළිමතලව්වේ වලව්ව දැන් ජනාධිපති මන්දිරය බවට පත්ව ඇති අතර එහි පෞරාණික බව පසුකාලීන වෙනස්කම් නිසා අහෝසිවී ගොසිනි. දුල්ලෑව වලව්ව තිබූ ස්ථානයේ අද ඇත්තේ ක්වීන්ස් හෝටලයයි. පෞද්ගලික අයිතිය යටතේ ඇති ගිරාගම වලව්ව පසුකාලීනව වෙනස්කම්වලට ලක්වූවත් සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කර ඇති අතර එහි වෙළෙඳ ස්ථානයක් පවත්වාගෙන යයි. කපුවත්ත වලව්ව තිබූ බිමේ අද දැකගත හැක්කේ ස්විස් හෝටලයයි.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : අන්තර්ජාලයෙනි