2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ණයෙන් ගොඩඑන්න හදමින් ණය ගන්න රට!

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

2024 අයවැය ලේඛනය අනුව ණය ගැනීම් සීමාව රුපියල් බිලියන 3900 සිට බිලියන 7350 දක්වා බිලියන 3450කින් ඉහළ නංවා ඇති බව ප්‍රකාශ වෙයි. රට ණය ගත නොහැකි හා ණය ගෙවිය නොහැකි බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කර තිබියදී අපට තවදුරටත් ණය දෙන්නේ කවුරුන්ද යන ගැටලුවක් පැන නගී. එවැනි පසුබිමක යළිත් මේ සා විශාල ණය කන්දරාවක් ලබාගැනීම ඉතාම දුෂ්කර ක්‍රියාවක් වනවා ඇත. රජය මෙම ණය ලබාගැනීමට අපේක්ෂා කරන්නේ අයවැය පරතරය පියවා ගැනීම සඳහාය. අයවැය පරතරය සියයට 5ක මට්ටමේ තබාගත යුතු වුවද 2024 අයවැය ලේඛනයේ පරතරය සියයට 10 දක්වා ඉහළ නංවා ඇත. එම තත්ත්වය නිසා මෙම අයවැය නීති විරෝධී බවටද ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ මත පළකරමින් සිටිති.

සාමාන්‍යයෙන් මෙතෙක් ඉදිරිපත් වූ බොහෝ අයවැයවල ආදායම හා වියදම නොගැලපුණු අතර ආදායමට වඩා වියදම ඉහළ යාම පියවා ගැනීම සඳහා දේශීය සහ විදේශීය ණය ලබා ගැනීමට යෝජනා කර ඇත. එහෙත් එලෙස බලාපොරොත්තු වන ණය ලබා ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටලුවකි. කෙසේ නමුත් අද රටේ තත්ත්වය අනුව මෙලෙස ණය ලබාගෙන අයවැය හිඟය ගලපා ගැනීම ප්‍රායෝගික වන්නේ නැත. දේශීයව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ඇති නිසා තවදුරටත් රාජ්‍ය බැංකුවලින් හැරුණු විට රජයට පෞද්ගලික අංශයෙන් ණය ලබාගැනීම දුෂ්කර වනවා ඇත. එසේම නව මහ බැංකු පනත අනුව මුදල් මුද්‍රණය කළ නොහැකි බැවින් වෙනදා මෙන් භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් ලබාගත නොහැකි වේ.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවමත් අවසන් වී නැත. රජය මුලදී පැවසුවේ මුලින් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙවනුව විදේශීය ණය සඳහා යොමුවන බවකි. එහෙත් සිදුවූයේ එහි අනික් පැත්තය. චීනය හා ඉන්දියාව වැනි විශාල වශයෙන් ණය ලබාගත් රටවල් පිළිබඳ මෙතෙක් තීරණයක් ගැනීමට අපොහොසත් වී ඇති පසුබිමක විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කවදා අවසන් වේදැයි කිව නොහැකි තත්ත්වයක පවතී.

අපේ ආදායම වසරින් වසර පහළ යන පසුබිමක අයවැය පරතරය තවදුරටත් ඉහළ නැගීමට ඉඩ තිබේ. එවිට තවත් ණය ලබාගැනීමට සිදුවීම නොවැළැක්විය හැකිය. 2023 වසරේදී 2022ට වඩා ආදායම සියයට 65කින් වැඩිපුර ලැබේ යැයි බලාපොරොත්තු වුවද 2023 වසර අවසන්වීමට ඇත්තේ තවත් මාසයක කාලයකි. එහෙත් වැඩිපුර තබා 2022 ලැබූ ආදායම හෝ ලබාගැනීමට අපොහොසත් වී තිබේ. ජාත්‍යන්තර ''ෆිච් රේටින්ස්* ආයතනයේ අලුත්ම වාර්තාව අනුව කියැවෙන්නේ 2024දී 2023ට වඩා ආදායම සියයට 45කින් වැඩිකරන බවට අයවැය ලේඛනවලින් පැවසුවද 2023 මුල් මාස 9 තුළ ලැබූ ආදායම අපේක්ෂිත ආදායමට වඩා සියයට 29කින් පහළ බැස ඇති බවයි. තත්ත්වය එසේ නම් 2024දී වැඩිපුර ආදායමක් ලබාගැනීම සිහිනයක් පමණක් වනවා ඇත. එසේම ආදායම ඉහළ නැංවීමේ කිසිදු සාර්ථක ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව පෙනේ. ආදායම ලබාගන්නා ප්‍රධානතම, දෙපාර්තමේන්තු තුන වන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුනේ කාර්යක්ෂමතාව ඉහළ නංවාගෙන නොමැත. තවමත් ඔවුන් ගමන් කරන්නේ සුපුරුදු ඉබි ගමනේය. මේවායේ ආදායම් ඉපයීම පහළ ගියහොත් ණය ලබාගැනීමට සිදුවනවා ඇත.

එහෙත් රජයෙන් රජයට විදේශ ණය ලබාගැනීම දුෂ්කර වූ විට ආණ්ඩුවට සිදුවන්නේ විදේශ රාජ්‍ය ආයතනවලින් වාණිජ පොලියට ණය ගැනීමටය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසාන යුගයේදී විශාල වශයෙන් මෙලෙස ඉහළ පොලියට ණය ගැනීම නිසා ණය අර්බුදය ඔඩු දිවූ බව කිවයුතුය. එදාට වඩා රටේ අද තත්ත්වය අයහපත් නිසා ණය ගැනීම විශාල ගැටලුවක් වනවා ඇත.

පසුගිය වසරේ අප්‍රේල් වනවිට මෙරට සම්පූර්ණ විදේශ ණයගැති භාවය රුපියල් බිලියන 51ක් බව අනාවරණය වේ. මේ හැර ඉන්දියාව මෙයට අතිරේකව අමෙරිකානු ඩොලර් බිලියන 1ක ණය සහ ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 750ක් සපයා තිබේ. රටවල් සමඟ කරන ලද ණයවල එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 39කි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වෙයි. මෙය විදේශිකයන්ට ගෙවිය යුතු ණයයි. මේ ණයවලින් සියයට 40ක් ඉදිරි වසර 10 තුළ පියවිය යුතුව ඇති බව භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් සනාථ වෙයි. මෙම ඇතැම් ණය සියයට 7ක පොලියට ගත් වාණිජ ණය වේ. මෙම ණය ගෙවීම සඳහාද තවත් ණය ගැනීම රජයට සිදුව ඇති අතර ඉදිරියේදීද මේ අනුව දිගින් දිගටම ණය ගැනීමට සිදුවනවා ඇත.

එයට අතිරේක වශයෙන් විදේශ විනිමය ලැබීමේ අඩුව නිසා අත්‍යවශ්‍ය ආනයන සහ සේවා වියදම් සඳහාද විදේශ ණය ලබාගැනීම සිදුවෙයි. දිගටම එය කරනු ඇත. අදද සිදුවෙනුයේ පිටරටින් ණය ගෙන ජනතාව සතුටින් තබන ක්‍රමයකි. ණය ලැබුණු පසු ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කරනුයේ ණය ලබාගැනීම ජයග්‍රහණයක් බවට වූ විකෘති මානසිකත්වයකට ඔවුන් තල්ලු කර ඇති නිසාය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී රජයන්වලින් ගත් ණයවලට යම් සහනයක් ලබාගත හැකිවුවද පෞද්ගලික මූල්‍ය ආයතන සහ වාණිජ බැංකුවලින් ඉහළ ප්‍රතිශතයකට ලබාගෙන ඇති පොලිය සහ ණයවාරික අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. ඒ නිසා යම් ලෙසකින් ණය ගෙවීම කල් දැමීමට රටවල් එකඟ කරගත හැකි වුවද සෙසු පෞද්ගලික ණය ගෙවිය යුතු නිසා විදේශ ණය ගෙවීම සම්පූර්ණයෙන් නවතින්නේ නැත. මෙම තත්ත්වය තුළ මෙවර අයවැයද ණය මත යැපෙන තත්ත්වයකට පත්කර තිබීම විමතියට කරුණකි. එපමණක් නොවන ණය ගැනීම් 2023 වසරට වඩා ඉහළ මට්ටමකට පත්කර තිබේ. එහෙත් සිදුවිය යුත්තේ වියදම් කප්පාදු කර ණය ගැනීම අඩු කිරීමකි. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට අපනයන වර්ධනය කළයුතු අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩිකර ගතයුතුව ඇත. රුපියල අවප්‍රමාණ වීම නිසා විදේශ බැංකුවල රඳවා ඇති විශාල ඩොලර් ප්‍රමාණය මෙරටට ලබාගැනීමට පියවර ගත යුතුය. එහෙත් එවැන්නක් සිදුව නැත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ණය ලබාගැනීමේ ප්‍රවණතාව පිළිබඳ අපූරු අනාවරණයක් කරයි. ඔහු පවසන්නේ පසුගියදා ණය ප්‍රතිව්‍යුහගත කරණයට සාකච්ඡා පවත්වමින් සිටින විට පවා යළිත් විදේශ ණය ලබාගෙන ඇති බවය.

''ණය ප්‍රතිසංස්කරණය  ආරම්භ වූ සැප්තැම්බර් 14 දිනෙන් පසුව එම මාසය අවසන් වීමට පෙර බිලියන 890ක් ණයගෙන තිබෙනවා. 15දා බිලියන 170ක්, 21දා බිලියන 220 හා 22දා බිලියන 50ක් ආදී වශයෙන් ණය අරගෙන. මෙවැනි පසුබිමක රට ආර්ථික අවපාතයකට ලක්ව තිබීම විශාල වශයෙන් සැලකිවයුතු කරුණක්. 2018 වසරේ ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය තිබුණේ අමෙරිකානු ඩොලර් බිලියන 95ක්. එය 2022 වනවිට බිලියන 77 දක්වා පහළ ගියා. 2019 වසරේ රටේ දිළිඳු අය සිටියේ සියයට 14ක්. 2022 වනවිට එය සියයට 25 දක්වා ඉහළ ගියා. දැන් තාවකාලිකව නවතා ඇති ණය ළඟදීම ගෙවීමට සිදුවෙනවා. එයට පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය කෙසේවත් සුබදායී නොවන බව පැවසිය යුතුයි. ණය ප්‍රශස්තිකරණයෙන් ගෙවීමට ඇති ණය අඩුකර ගන්න බැහැ. ඒත් ගෙවීමේ කාලය දිගුකරගත හැකිය. ඒ කාලයට පොලියද ගෙවිය යුතුවෙනවා. ඒ නිසා ප්‍රශස්තිකරණය කළා යැයි සතුටුවන්න බැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුව රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2028 වනවිට රුපියල් 44601කින් වැඩිවෙනවා. ඒ අනුව එක් අයකුගේ ණය රුපියල් 19,30,800 දක්වා ඉහළ යනවා. එවිට හතර දෙනකුගෙන් යුතු පවුලකට ලක්ෂ 80ක් දක්වා ණය වැඩිවෙයි. ඒකපුද්ගල ණය 2023 අප්‍රේල් දක්වා රුපියල් 11,81,000ක්. 2020 දී එය තිබුණේ 6,90,000 ප්‍රමාණයේ 2023 වනවිට ඒකපුද්ගල විදේශ ණය රුපියල් 4,90972ක්. මෙලෙස ණය වැඩිවීමේ හේතුව රජය විශාල ලෙස ණය ගැනීම පමණක් නොවෙයි. රුපියලේ අගය අවප්‍රමාණ වීමද තවත් හේතුවක්. 2022 අප්‍රේල් සිට 2023 අප්‍රේල් දක්වා වසර තුළ හැමකෙනාම රුපියල් 1,30,000ක ණයකරුවකු වෙලා. ඒ අනුව හතර දෙනකුගෙන් යුතු පවුලක ණය බර රුපියල් 5,20,000ක් තරමට ඉහළ ගිහිල්ලා. මෙහෙම තත්ත්වයක් තිබියදී තමා ආණ්ඩුව 2024 අයවැය ලේඛනයෙන්ද ණය ගැනීමේ සීමාව බිලියන 3450කින් ඉහළ දමා තිබෙන්නේ. හිතාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

ඔහු තවදුරටත් පවසන්නේ රජයේ ණය ගැනීම් අවශ්‍යතාව බිලියන 7350ක තරමේ ඉහළ අගයක පවතින අතර, මුළු ණය සේවාකරණ වියදම සඳහා වසර තුළ රුපියල් බිලියන 6919ක් අවශ්‍ය වන බවය. එයින් පොලී ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 2651ක් අවශ්‍ය වන බව ඔහු කියයි. අයවැය වාර්තාව අධ්‍යයනය කිරීමේදී ණය වාරික ගෙවීම සඳහා පමණක් බිලියන 4268ක් අවශ්‍ය බව හෙළිවන්නේ යැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි. 2022 වසර හා සංසන්දනය කිරීමේදී ණය පොලී ගෙවීම සඳහා අවශ්‍ය මුදල 2024දී සියයට 21කින් ඉහළ යාමක් පෙන්නුම් කරන බවද පවසයි. සමස්ත ණය ප්‍රමාණය තුළ දේශීය ණය රුපියල් බිලියන 1600ක් පමණ මේ වනවිට තිබෙන නමුත් ඉදිරි වසර තුළදී මෙම ප්‍රමාණය ට්‍රිලියන 3 දක්වා ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මුළු රටම ණය අර්බුදයකින් වෙලී තිබෙන අවස්ථාවක ණය ගැනීම් අඩුකර ගැනීමට උත්සාහ කළයුතු නමුත් 2024 අයවැය ලේඛනය පිළිබඳ සමීක්ෂණය කිරීමේදී ණය මට්ටම අඩුකරලීම පිළිබඳ උනන්දුවක් දක්වා නැති බව පැහැදිලි යැයි මහාචාර්යවරයා කියයි. මෙම අයවැය මගින් ණය ගැනීම් සීමාව ඉහළ දැමීමෙන් අදහස් වන්නේ 2023ට වඩා 2024 දී ණය ගැනීමට බලාපොරොත්තු වන බවය. මේ නිසා ණය ගැටලුව තව තවත් උග්‍රවනු ඇති බව හේ කියයි. දැනට ණය සේවාකරණය තාවකාලිකව නවතා ඇති නමුත් යළි ණය ගෙවීමට සිදු වනවිට තත්ත්වය උග්‍ර වන බව ඔහුගේ අදහසය.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02