2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

නගරයේ ගෙවල් පවරන වැඩේ අවුලක් වේද?

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

නාගරික නිවාස අයිතිකරුවන්ට පවරන යෝජනාවක් 2024 අය වැය මගින් ඉදිරිපත් කර ඇත. ශ‍්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව, නිවසක් ඉදිකර ගැනීමේදී, සාමාන්‍ය ජනතාවට මතු වී ඇති අභියෝග සලකා බලන විට මෙහි අරමුණ කාලෝචිතය. අනෙක් අතට අය වැය තුළ තවත් දරුණු යෝජනාවක් තිබේ. නිවෙසක් ඉදිකරන අරමුණ ඇති සියලුම පුරවැසියන් බදු ලිපිගොනුවක් ආරම්භ කළ යුතුවේ. ආණ්ඩුවේ ආදායම දුර්වල වූ පසු මුදල් සොයාගැනීම සඳහා උපාය සකස් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් දක්වා වැඩිකරගන්නා ලෙස බලකරයි. අලුත් බදු එහි ප‍්‍රතිඵලයකි. නිවාස සැලැස්මක් අනුමත කරගැනීමට පළාත්පාලන ආයතනයට ඉදිරිපත් කරන ජන කොටස්වලට බදු ගෙවන අංකයද ඉදිරිපත් කිරීම ලබන වසරේ සිට අනිවාර්ය කර තිබේ.

ආණ්ඩුවේ වියදමෙන් නිවාස තනා ඒවා නාගරික නිවාස වශයෙන් බෙදා දී ඇත. ඒවායේ කුලියක් අය කෙරේ. ආර්ථික හා සමාජයීය අවශ්‍යතා සලකා නගරයට එන ජනී ජනයා එහි වාසස්ථානයට නැඹුරුවන අතර අධි ජනගහනය නාගරික ප‍්‍රදේශවල සැලකිය යුතු ගැටලුවකි. ඉඩම් මිල ඉහළ යන අතර මිල කෙසේ වෙතත් ඉඩම් හිඟය නගරයට එන පිරිස මුහුණ දෙන තවත් සැලකිය යුතු කරුණකි. නිවසක් තනා නාගරික වැසියන්ට කුලියට පවරන ලද අතීතය වෙනුවට එම නිවාස වල අයිතිය සඳහා අලුත් පියවරක් සඳහා අවස්ථාවක් නිර්මාණය වන බව පෙනේ. අය වැය යෝජනාව ක‍්‍රියාවට නංවන අතරතුර පැන නැගිය හැකි ගැටලු පුළුල්ව සාකච්ඡා කිරීම කාලෝචිත බව පෙනේ.

• පළමුව නිවාස පනස් දහසක අයිතිය

ඉතිහාසයට අනුව 1973 වසරේදී මහල් නිවාස ඉදිකරන සැලැස්මක් සහිතව පොදු නිවාස පහසුකම් මණ්ඩලය ස්ථාපිත කර ඇත. රජයේ සේවය කරන පිරිස හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය නිවාස තනා දී පොදු පහසුකම් දියුණු කිරීම එහි අරමුණ වී තිබුණි. 
1977 වසරේදී නිවාස හා නාගරික සංවර්ධන ඇමැති වශයෙන් පත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ගම්උදාව වශයෙන් ග‍්‍රාමීය නිවාස ඉදිකරන සැලැස්මක ආරම්භ කළේය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය සම්බන්ධ උද් යෝගයක් ඇති වූ බව සඳහන් කළ යුතුය. අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා 37 වැනි එක්සත් ජාතීන්ගේ සමුළු සැසිවාරයට සහභාගී වෙමින් ලෝකයේ නිවාස අවශ්‍යතාවය සලකා නිවාස වසරක්  නම් කරන සේ ඉල්ලා සිටියේය.  අගමැතිවරයාගේ ඉල්ලීම සලකා බලන ලද  එක්සත් ජාතීන් ජාත්‍යන්තර නිවාස වසර 1987 නම් කළේය.  ගම් උදාව, නාගරික නිවාස, වතු වැඩිදියුණු කිරීම් හා මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණ වශයෙන් මේවා විවිධ පැතිවලට විහිදී පැතිරිණ. නිවෙසක් ලබාගැනීමේ සිහිනයක පසු වූ සෑහෙන කොටසක් රජයේ නිවාස වැඩසටහන තුළින් ප‍්‍රතිලාභ අපේක්ෂා කළ අතර ආණ්ඩුවට පමණක් ධනය යොදවා කළ නොහැකි පසුබිම තුළ නිවාස සංවර්ධන අරමුදලක් ඇති කර එයින් ණය ලබා දී දිරිගන්වන්නටද පියවර ගැණින.

මෙලෙස ඉදිකරන ලද නිවාසවල අයිතිය ලැබෙන විවිධ කාණ්ඩ ආවරණය කර තිබෙන බව අධ්‍යයන වාර්තා දක්වයි. ඇතැම් නිවාස නොමිලේ සැපයුණු අතර තවත් කොටසක් මුදලක් ගෙවා කුලී පදනමකින් පවරා දී තිබුණි. මේවා සහාධිපත්‍ය නිවාස වශයෙන් සැලකේ. ආණ්ඩුවට හා නිවාස මිල දී ගත් පුද්ගලයන්ට එහි අයිතිය ඇත. පොදු පහසුකම් පළාත් පාලන ආයතන සම්බන්ධීකරණයෙන් සිදුවන අතර ඒවායේ පිරිවැය හා කුලි ගෙවීම අයිතිකරුවන්ගේ වගකීමකි. මෙම නිවාස අතරින් අනූ දහසක පමණ ඔප්පු සකස් කර ඇති බව නිල නොවන වාර්තා දක්වයි. අය වැය යෝජනාව අනුව මෙයින් දේපොල පනස්දහසක් පමණ ගෙවන කුලිය අතහැර අයිතිකරුවන්ට පවරන්නට නියමිතය.

• නිවාසවල තත්ත්වය හා නඩත්තුව

රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ ගොඩනගන ලද සංකීර්ණවල තත්ත්වය ගැන විවේචන ඇත. රජයේ නිලධාරීන්ගේ පරීක්ෂාවලින් පසු රත්මලාන කම්කරු නිවාස, වෑකන්ද නිවාස ඉදිකිරීම, මාලිගාකන්ද නිවාස සහ මිහිඳු මාවතේ මහල් නිවාස සැලකිය යුතු දුර්වල තත්ත්වයක පවතී. මේවායේ ශක්තිය සම්බන්ධ ප‍්‍රශ්න ඇති බව දැක්වේ. නඩත්තුව පවා නිසි පරිදි සිදුනොවේ. අනාගතයේදී මෙම නිවාස කඩා ඉවත්කර අලුත් නිවාස සංකීර්ණ ඉදිකරන බවට ප‍්‍රකාශ වන නමුත් එම ආයෝජන සඳහා රජයට වත්කමක් නැත. සුගතදාස ක‍්‍රීඩාංගණය අසල ඇති වේල්ස් කුමාර මාවතේ තුන් මහල් නිවාස යෝජනා ක‍්‍රමයද වෙනස්කම් කළ යුතු තැනක් වශයෙන් හඳුනාගෙන ඇත. එම වටිනා භූමියෙන් වඩා ප‍්‍රයෝජන ලබාගත හැකි පරිදි සංවර්ධනය කළ යුතු අතර පවතින පැරණි නිවාස ඉවත්කළ යුතු බව සඳහන් කරති. කෙසේ නමුත් මෙම වැඩිදියුණු කරන කාලය තුළ පදිංචිකරුවන්ට අත්වන ඉරණම කුමක්ද? ඉදිකරන අලුත් නිවාස සංකීර්ණවල අයිතිය මෙම සාමාන්‍ය ජනතාවට ලබාගත හැකිද? ආණ්ඩුවක් පැටලී ඇති කරුණු අතර මෙම සංකීර්ණ තත්ත්වය එක පැත්තක් බව සඳහන් කළ හැක.

විශේෂයෙන් දැක්විය යුතු කරුණු ගණනාවක් ද තිබේ. මෙම නාගරික නිවාස ලබාගත් මුල් පුරුක් අද මේවායේ නැත. මුල් අයිතිකරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇතැම් වාර්තා දක්වයි. නිත්‍යානුකුලව දෙවැනි අයිතිකරුවන්ට පැවැරීමේදී පවුල් ප‍්‍රශ්න පැන නැගී තිබේ. මහවැලි ඉඩම්වලද මේ හා සමාන ව්‍යාකූල තත්ත්වයක් පවතී. පවුලේ ප‍්‍රධාන දරුවා අයිතිකරු විය යුතු බව දක්වන නමුත් අනෙක් දරුවන්ද රජයෙන් ලැබුණ දේපොල අත්හරින්නට සූදානම් නැති අවස්ථා තිබේ. දෙමව්පියන්ගේ වත්කම් සමානව ලබාගැනීමේ අයිතියක් ඔවුන් සතුව ඇත. නාගරික නිවාසවල නීතිමය ගැටලු අතර එය ද බලවත්ව පවතී. නාගරික නිවාසලාභීන් විවිධ ක‍්‍රම අනුගමනය කර මෙම නිවාස තවත් පුද්ගලයන්ට පවරා ඇත. එය සාමාන්‍යයෙන් සිදුවේ. කුලී පදනමකින් ආණ්ඩුවෙන් ලබාගත් දේපොල තවත් පාර්ශවයකට කුලියට පැවැරිය නොහැකි නමුත් නීතිඥයන් පවා ඒ වෙනුවෙන් කුලී ගිවිසුම් අත්සන් කර ඉඩම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති බව හෙළිවන තවත් කරුණු අතර තිබේ. මේවා නිරාකරණය පහසු කර්තව්‍යයක් නොවේ. දේපොල පැවරීමෙන් පසු ඒවා හිමිවිය යුතු මුල් අයිතිකරුවන්ටද නැත්නම් දැනට පදිංචිය තහවුරු කරන කණ්ඩායමටද යන්න තීරණය කිරීම අවශ්‍යතාවයකි.

• විශාල නිවාස සංකීර්ණවල පොදු අයිතිය

මත්තේගොඩ, රුක්මල්ගම හා රන්පොකුණගම වැනි නිවාස ඉදිකිරීම්වල පන්සියය ඉක්මවන නිවාස ඇත. මේවායේ පුළුල් මාර්ග සහ පොදු පහසුකම් වෙන්කර තිබුණි. නිවාසවලට නියමිත සැලැස්මක් ස්ථිරව අනුමත කර තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. දශක ගණනක් මේවා භුක්තිවිඳින ලද ගෘහවාසීන් අභ්‍යන්තර හා බාහිර වෙනස්කම් කර තිබේ. පොදු පහසුකම් යටතේ ඇති හිස් කොටස් වංචනිකව යටත් කරගෙන ඇති අතර නිවාසවල කොටස් පිටතට විකාශය වන පරිදි සුළු කර්මාන්ත, ව්‍යාපාරික හා සේවා සඳහා වැඩිදියුණු කරගෙන තිබේ. රටක් දියුණුවන විට ආර්ථික අවස්ථා පැන නැගී‍මෙන් පසු මේවා සාධාරණ හා යුක්තිසහගත බව පැහැදිලිය. නමුත් නීත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලු තිබේ. අලුත් යෝජනාව අනුව නිවාස පැවරීමෙන් පසු බෙදුම් හා අනුබෙදුම්වලදී මෙතෙක් අවධානයට නොගැනී ඇති විෂම තත්ත්ව සලකා බලන්නට සිදුවිය හැකිය. නිලධාරීන් පමණක් මෙම කටයුතුවල නිරතවීම යථාර්ථවාදී විය නොහැක. සමාජයේ පිළිගත් කොටස් එකතු වී ගොඩනැගෙන සංවිධානයකින් පසු මේවායේ අභ්‍යන්තර ව්‍යුහ සලකා බලා පොදු තීරණ ගැනීම කාලෝචිත වනු ඇත.

නාගරීකරණය වන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගරවල නිවාස අවශ්‍යතාව දැවෙන ගැටලුවකි. නගරයට එන පිරිසට අලුතින් දියුණුවන කලාපයක ඉඩමක් මිල දී ගෙන නිවසක් තනාගත නොහැක. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය අනුව ඉඩම මිල දී ගන්නා විට හෝ නිවාස සැලසුම අනුමත කරගන්නා අවස්ථාවේදී බදු ගෙවන බව ඔප්පු කිරීමෙකින් හැර වාසස්ථානයක් ලබාගත නොහැකිවීම තවත් අර්බුද ඇති කරනු නිසැකය. කෙසේ වෙතත් රජයේ නිවාස පැවැරීමේ යෝජනාව අතරතුර පෞද්ගලික අංශයේ නිවාස ඉදිකරන ක‍්‍රමවේදයෙහි මතු වූ ගැටලුද සිහිපත් කිරීම වටී.

• අත්හැර දමන ලද දේපොල

පසුගිය ආණ්ඩු විවිධ ආයෝජන සඳහා රජයේ දේපොල පවරා දී ඇත. ශ‍්‍රී ලංකාවේ ඉඩම් අයිතියෙන් සියයට අසූ දෙකක් රජයට අයත් බැවින් නිවාස හා පොදු පහසුකම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට ඇති අයිතිය විශාල වපරිසයක් නොවේ. රජයෙන් ලබාගත් ඉඩම් සංවර්ධනය කර ඒවායේ ඉදිකරන මධ්‍යම හා ඉසුරුමත් නිවාස ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන අංශ මෑතකදී වර්ධනය විය. එය රට තුළ නිවසක් ලබාගත හැකි පිරිසට ලැබෙන පිටිවහලකි. මෙම ප‍්‍රතිපත්තිය අනුව මහත් ආන්දෝලනයක් ඇති කළ ක‍්‍රිෂ් නිවාස සංවර්ධන වැඩසටහන දැන් අත්හැර දමා තිබේ. ඉන්දියානු ආයෝජකයකු ලබාගත් කොළඹ වටිනා දේපොල සඳහා පිහිටුවන ලද සමාගම සැලකිය යුතු මුදලක් වැය කරන නමුත් නිවාස ඉදිකිරීම සම්පූර්ණ කර නැත. එම නිවාස මිල දී ගන්නට වෑයම් කළ පිරිසද ප‍්‍රශ්නවලට මුහුණ පා සිටී. ඩෙන්නිනි නිවාස යෝජනා ක‍්‍රමයද එවැනි තවත් ව්‍යාපෘතියක් බව වාර්තාවේ. මහල් පනහ ඉක්මවන සුඛෝපභෝගී නිවාස හදන බවට කළ ප‍්‍රචාර අවසන්ව ඇති අතර ආණ්ඩුවෙන් ලබාගත් බදු සහන පවා අනිසි ලෙස භාවිතා කර ඇත්දැයි සොයාබැලීම වැදගත්වේ.

අධ්‍ය්‍යන වාර්තා සඳහන් කරන පරිදි වාර්ෂිකව රටට අවශ්‍ය නිවාස ප‍්‍රමාණය වර්ධනය වෙමින් පවතී. සාමාන්‍ය ජනතාවට කරගත හැකි යමක් නැත. ඉඩම් මිල සහ නිවසක් ඉදිකරන්නට වැය කරන මුදල සලකා බැලූ පසු කුලී නිවාස හැර විකල්පයක්  නැත. කුලී නිවාසවල ගාස්තු මධ්‍යම පාන්තිකයකුට හෝ රජයේ සේවකයකුට ඉසිලිය නොහැක. අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු කොළඹ හා අවට නවාතැන් ගැනීමේ ප‍්‍රවණතා අඩුවූ අතර දුර බැහැර සිට නගරයට දිනපතා ගමන් කරන ප‍්‍රජාවක් නිර්මාණය වී තිබේ. එය මෙම මුලික ප‍්‍රශ්නය විසඳන ක‍්‍රමවේදයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති නිවාස ගැටලුව හා දීර්ඝ කාලයක් තිස්සේ අයිතියක් රහිතව සිටින නාගරික පුරවැසියන්ගේ අසීරුතා සලකා බැලීම අය වැයෙන් යෝජනා කළ යහපත් තීරණයකි. එහි ගැඹුර, විසඳිය හැකි ක‍්‍රම හා අභ්‍යන්තර ව්‍යාකූලතා පරෙස්සමෙන් අධ්‍යයනය කළ යුතුවේ. පනස් දහසක් දේපොල බෙදාදෙන ව්‍යාපෘතිය ලක්ෂ ගණනක් ඡන්දදායකයන් අමනාප කරගන්නා එකක් කර නොගැනීම බලධාරීන්ගේ කටයුත්තකි. 

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02