2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මේක අඳබාල මෝඩ වැඩක් - ඕමල්පේ සෝභිත හිමි

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 146

 මේක අඳබාල මෝඩ වැඩක් - ඕමල්පේ සෝභිත හිමි 
 පැමිණිලි දෙකක් ගොනු කරලා - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් 

''සියවස් ගණනක් අව්වැසි විඳමින් හෙළුවෙන් සිටියා කියලා
අවුකන පිළිමෙට සිවුරක් පටලා බුදුබව පැතුවද ඔහෙලා
සමාධි පිළිමේ සැතපෙන පිළිමේ නිරුවත තව නැහැ දැකලා
ඒ හැමටම අපි සිවුරු අන්දවා හෙළුවෙන් ඉමු අපි සැමදා''
 
අනුර බී. සෙනෙවිරත්න කවියා මුහුණු පොතේ පළකර තිබූ අපුරු කවියකි ඒ. පසුගිය සතිය පුරාම සමාජ මාධ්‍යවල ප්‍රධාන කතිකාවක් වී තිබුණේ ඉල් පුන් පෝදා අනුරාධපුර ඓතිහාසික අවුකන පිළිමයට කඨින පූජාවක මුවාවෙන් සිවුරක් පොරවා අවලස්සන කිරීම ගැනයි.

වත්තල ප්‍රදේශයේ කණ්ඩායමක් පැමිණ අවුකන භාරකාර ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත සහ ආශීර්වාදය සහිතව මෙම පූජාව කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ. මේ දිනවල රුල්ලක් ලෙස පැතිරෙන ''සුගත චීවර පූජා'' නම් ක්‍රමය ඔස්සේ යමින් ඓතිහාසික ශෛලමය ප්‍රතිමා වහන්සේලාට මේ ආකාර චීවරයක් පැළඳවීමට විශාල වියදමක් දරා තිබේ. පිළිමයට පූජා කිරීමට විශාල පාවහන් යුවලක්ද ඔවුන් විහාරයට ලබාදී ඇත. මෙම පූජාවෙන් පසු චීවරය සහිතව බුදු පිළිමය අස්වාභාවික අවලස්සන ආකාරයට පෙන්නුම් කිරීම බෞද්ධයන්ගේ මතු නොව පුරාවිද්‍යාවට සහ සංස්කෘතික උරුමයට කැමති කාගේත් විරෝධතාවට හේතු වී තිබේ.

මෙසේ රටපුරා විරෝධයක් මතුවීමෙන් පසුව මේ ගැන සොයා බැලීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත “පූර්ණ පරීක්ෂණයක්” ආරම්භ කෙරුණි. එය බොහෝවිට සිදුවන පරිදි අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමකි. “වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. අපි බලනවා මෙතැනදී පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කරලා තියෙනවාද කියලා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කමිටුවේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දිය යුතුයි කියන අදහසේ මමත් ඉන්නවා,” අමාත්‍යවරයා පවසා සිටී.

වැඩබලන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ සඳහන් කරන්නේ මෙම කටයුත්තට එරෙහිව පසුගිය නොවැම්බර් 27දා සහ 28දා අවුකන අයත් පොලිස් බල ප්‍රදේශය වන ගල්නෑව පොලිස් ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් පැමිණිලි දෙකක් ගොනුකළ බවයි. ඒ අනුව, 27දා 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ 15 (ආ) වගන්තිය යටතේ  අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමිනමට එරෙහිවද 28දා 1940 අංක 9 දරන පුරාවස්තු පනතේ 31 වගන්තිය යටතේද අදාළ පැමිණිල්ල තවදුරටත් ශක්තිමත් කිරීමට පොලීසිය හමුවේ පැමිණිලි ගොනුකර ඇති බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

“යම් පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන, විරෑපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන, නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින්ම පළුදු කරන යම් තැනැත්තකු පුරාවිද්‍යා ආඥා පනත යටතේ වරදකට වරදකරු වන,” බව 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ සඳහන්ය. ඒ අනුව පුරාවස්තුවට හානියක් සිදුනොවුණද එහි ස්වරෑපය වෙනස් කිරිම හෝ විකෘති අයුරින් ප්‍රදර්ශනය කිරීමද වරදකි. පනතට අනුව “මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් 50,000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 2කට නොඅඩු සහ අවුරුදු 5කට නොවැඩි බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය හෝ සිර දඬුවම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු,” බව ද එහි සඳහන් වේ.

දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති අවුකන බුදුපිළිමය ලාංකික ප්‍රතිමා කලාවේ විශිෂ්ට නිර්මාණයකි. එය පුරාවිද්‍යා පනත යටතේ ආරක්ෂිත ස්මාරකයකි.

මේ සිද්ධිය ගැන විවිධ මත පැවසෙන අතර වැඩිදෙනෙක් එම සිද්ධියට විරුද්ධව අදහස් දක්වති. අප මේ ගැන අදහස් විමසුවේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙනි.

''මේ සිද්ධියට මූලිකවම බලපාලා තියෙන්නේ විශාල ප්‍රචාරයක් ලබාගෙන වෙළෙඳ ව්‍යාපාර කරන අයුගේ ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමයි. අටපිරිකර, සිවුරු ව්‍යාපාර වගේ දේවල් අද වැහිවැහැලා. මේ ආගමික මාකට් එක වැඩිකර ගැනීමට බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව දූෂණයට ලක්කරනවා. මේවා ලොකු ජාවාරම් බවට පත්වෙලා. ව්‍යාපාරිකයන් අලුත් අංග හොයනවා. දැන් දොළොස් පිරිකර, සොළොස් පිරිකර වගේ අංගත් කප්රුක් පූජාව වගේ විකාර දේවලුත් මතුවෙලා තියෙන්නේ ඒකයි. 

අලුතින්ම පටන් අරන් තියෙන්නේ සම්භාව්‍ය ප්‍රතිමා වහන්සේලාට සිවුරු පෙරවීම. මේ ශෛලමය පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රතිමා ශිල්ප ප්‍රමාණවලට අනුවයි. අලුතින් සිවුරු පොරවන්නවත් අලුත් අංග එකතුකරන්නවත් අවශ්‍ය නෑ. මේවා කරන්නේ බෞද්ධ ජනතාවගේ මනස විකෘති කරන්න ඔවුන්ගේ සැහැදැවත්කම දඩමීමා කරගෙනයි.

අවුකන පන්සලේ හාමුදුරුවො බුද්ධාගම දන්නෙත් නෑ. පුරාවිද්‍යාව දන්නෙත් නෑ. වෙනත් සදාචාර ධර්මයක් දන්නෙත් නෑ. 1975දී අවුකන පිළිමයට ගඩොල් ආවරණයක් හැදුවා. පසුව එයට පුරාවිද්‍යාඥයන් විරුද්ධ වුණා. වල්පොල රාහුල හාමුදුරුවෝ ඒ කාලෙම එය විවේචනය කළා. පසුව එය ඉරිතැලී යන්න පටන් ගත්තා. ගඩොල් කන්ද ඉවත් කරන්න විශාල වියදමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගියා. 

බෞද්ධ පුරාවස්තු ක්‍රමානුකුලව අවතක්සේරු කර විනාශයට ලක්කිරීමත් අද දැකගත හැකියි. මේ වගේ දේවල් ආදර්ශයට අරගෙන සමාධි පිළිමයටත් සිවුරු අන්දන්න ඉඩ තිබෙනවා. මේක අඳබාල මෝඩ වැඩක්. මේවායින් සිදුවන්නේ පව්. මේවාට කියන්නේ මෝඩ ශ්‍රද්ධාව කියලයි. මේවා කරනකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් නිහඬයි. දැන් ඇමැති පරීක්ෂණ කරලා වැඩක් නෑනේ. මුලින්ම පුරාවිද්‍යා ලොක්කන්ට දඬුවම් කරන්න ඕනේ. මේ පිළිමයෙන් ලංකාවට කොපමණ නම් ඩොලර් රුගෙන ඇවිත් ඇද්ද? අද පැවිදි නායකත්වය ගිහි නායකත්වයට යටවෙලා ඉන්නේ.''

කලා වස්තුවල ''මුල් කෘති'' විකෘති කිරීම හෝ විනාශ කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම ඒකමතිකව පිළිගන්නා කරුණකි. එය පුරාවිද්‍යා නීතිවලටත් ඇතුළත් කර ඇත්තේ එහෙයිනි. දඹුලු විහාරය අවට පරිසර ස්වභාවය අලුත් ඉදිකිරීම්වලින් විකෘති කිරීම නිසා දඹුල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක්ද කලකට පෙර පැනනැගුණි.

මෙසේ පෞරාණික ස්මාරක වෙනස් කිරීම හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. නීති පනත්වල තිබුණද ලංකාවේ ඒවා ක්‍රියාත්මක වන්නේ නමට පමණි. ලංකාව නීතියක් නැති නාස්තිකාරවාදීන්ගේ රටක් බවට පත්ව තිබීම සමාජයේ බහුලය. මෙවැනි සිදුවීම්වලින්ද එය පෙන්නුම් කෙරේ.

අවුකන බුදුරුව පිළිබඳව පළමු විද්වත් වාර්තාව ලියා ඇත්තේ ජේම්ස් එමර්සන් ටෙනන්ට් 1859දීය. ඔහු ලියූ ''Ceylon, Physical, Historical and Topographical'' Vol. II කෘතියේ අවුකන බුද්ධ ප්‍රතිමාව, විහාරය හා එහි වැඩසිටි භික්ෂුවක පිළිබඳ තොරතුරු ඇතුළත්ය. ඒ අතරම වර්ෂ 1895දී පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් පුරාවිද්‍යා පාලන වාර්තාවට අවුකන බුද්ධ ප්‍රතිමාව පිළිබඳ තොරතුරු සහ සැලසුම්ද ඇතුළත් කර තිබේ. ඉංග්‍රීසි ජාතික එස්.එම්. බරෝස් නම් පරිපාලන නිලධාරියා විසින් 1894දී  ලියන ලද ''The Buried Cities of Ceylon'' කෘතියටද අවුකන බුද්ධ ප්‍රතිමාව පිළිබඳ තොරතුරු ඇතුළත්ය.

අනුරාධපුර යුගයේ ධාතුසේන රජ දවස ඉදිකරවන ලද බව සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව, උසින් අඩි 42 අඟල් 06ක් වේ. කලාවැවට නුදුරින් විශාල ගල් කුලක පූර්ණ උන්නතව අවුක ප්‍රතිමාව නෙලා ඇත. කලාවැව තනවා ඇත්තේ ක්‍රිස්ත්‍රවර්ෂ 477 පමණ වනතුරු ශ්‍රී ලංකාවේ රජකම් කළ ධාතුසේන රජුය. මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන්නේ මේ බුද්ධ ප්‍රතිමාවද ධාතුසේන රජු කරවූ බවයි. මේ පිළිමය ඉදිරියෙන් පිළිම ගෙයක් ද තනා තිබේ. එම පිළිම ගෙය අටවන සියවසේදී තැනූ බව එහි නැගෙනහිර බිත්තියේ ඇති ශිලා ලිපිය අනුව විශ්වාස කෙරේ.

කැණීම්වලදී බුදු පිළිමයේ පද්මාසනයට යට ගර්භ 25කින් යුත් ගර්භ පාත්‍රයක් හමු වී තිබේ. මෙහි ඒ ඒ ගර්භයන්ට අධිපති දේව රෑප නිධන් කොට තිබී ඇත. ඉන් අදහස් කොට ඇත්තේ බුදුන් වහන්සේ දෙවි බඹුන් ඉක්මවා සිටින බවයි. සමාජය මුලා කරමින් තම වාසිය උදෙසා ආගමික මත වපුරන පිරිස් සුලබය. ඒ ගැන සඳහන් කරන මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර,

''සැබෑ බුදු දහම ලෙස හඟවමින් සමාජය තමන් කෙරෙහි යොමුකර ගන්නා මෙම ජනකාන්ත භික්ෂු ප්‍රජාව වර්තමානය තුළ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වෙමින් ඉන්නවා. පොදු සමාජය තුළ අති මහත් විස්මයක් දනවන ඉගැන්වීම් සහ මහා පරිමාණ පුද පූජා සංවිධානය කරන්නෝ ද ඔව්හුම යි. එහෙත් මේවා හුදෙක් එම භික්ෂුන්ගේ හුදු කේවල ක්‍රියාකාරකම්වලට වඩා ඔවුන් දෙස් විදෙස් ගිහියන් ගේ ආධාර උපකාර සහ අනුග්‍රහයන් මත සංවිධානාත්මකව සිදු කරන ඒවා බවට පිළිගත හැකි සාක්ෂි මේ වන විට ඉස්මතු වෙමින් තිබේ. ඔවුන් වටා නිරන්තරයෙන් ගොනු වන්නාවු අති මහත් ධනස්කන්ධයන් මේ සඳහා වන ද්‍රශ්‍යමාන සාක්ෂි සපයනවා.''

මේ දිනවල සමාජ මාධ්‍යවල ඉසුරුමුණි පෙම්යුවළට ඇඳුම් ඇන්දවූ සහ  සීගිරි අප්සරාවන්ට ඇඳුම් ඇන්දවූ පින්තුර සුබලව සංසරණය වේ. ඒ තරුණ පෙළ මේ සිදුවීම උපහාසාත්මකව දකින ආකාරයයි. 

 
I කුසුම්සිරි විජයවර්ධන
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02