හෙළ සිරිතට අනුව මඟුල් ගේක, ඉලව් ගේක, පින්කම් ගේක යනවිට ඒ ඒ ස්ථානයට රැගෙන යාමට සුදුසු දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් එදා සිංහලයන්ට පැවතුණි. මඟුල් ගේකට තෑග්ගක් ගෙන ගියාට මළගේකට තෑගි ගෙන යන්නේ නැත. මළගේකට සීනි, බිස්කට් පෙට්ටි ගෙනගියාට මඟුල් ගේකට සීනි බිස්කට් තබා කේක් පෙට්ටියක්වත් ගෙන යන්නේ නැත. එහෙත් හිස් අතින් යන්නේද නැත. ඒ සිංහලයාගේ සිරිතය. තුන් සිංහලයේම සිරිතය.
මළගෙයක යනවා නම් සීනි ගෙනයාම එදා මෙදාතුර දකුණු පළාතේ සිරිතය. එසේම වයඹ පළාතේ මළගෙවල්වල සීනි වගේම ලොකු බිස්කට් පෙට්ටිය සහ කෝඩියල් බෝතලය වැරදුණේ නැත. ගල්ගමුව අනුරාධපුරය ඇහැටුවැව ප්‍රදේශයේ පිරිකරවලට හඳුන්කූරු, වේදනානාශක බෙහෙත් කාඩ්, දත්බෙහෙත් ආදියද මළගෙදරට බුලත් පුවක් ආදියද රැගෙන ඒම සිරිතක්ය. වර්තමානය වනවිට මෙය අටපිරිකර දක්වා වර්ධනය වී ඇත්තේය.
අවමංගල්‍ය අවස්ථා සඳහා සීනි රැගෙන යාම කෙතරම් දුරට සිරිතක්ව පැවතියද යන වග, කහවත්ත, කොටකෙතන ඝාතනයේ මව සහ දුවගේ මරණ ගෙදර ඝාතන සැකකරු ගොස් තිබුණේද සීනි කිලෝවක් රැගෙන බවට එකල පරීක්ෂණවලින් තහවුරු වූ බව එකල මාධ්‍ය වාර්තා කළේය.
බොහෝ වෙලාවට මළගෙයකට යනවිට සීනි ගෙනයාම, දාන ගෙදරකට යනවිට කිරිහට්ටි, පිරිකර ගෙනයාම එදා සිට අද දක්වා පුරුද්දක් වී ඇත. අතීතයේ මළගෙවල්වල හත්දවසේ පින්කම වන තෙක් ගම්මුන් දිවා රෑ නොබලා නිදිවරමින් එම නිවෙසේ මිදුලේ පුටු තබාගෙන සිටීම පුරුද්දක් වී තිබුණේ මළගෙදර ඥාතීන්‌ගේ තනි රකින්නටය. කැරම් බෝඩ්වල ඉත්තන්ගේ සද්දය එළිවෙනකල් කැරම් අතක් ඇදගෙන සිටින කොල්ලො කුරුට්ටන්ගේ සද්දයට නොදෙවැනිය. ගමේ ගොඩේ නම් බුලත්විටක් නොකන අයකු නැති තරම්ය. එහෙත් සාමාන්‍යයෙන් පුරුද්දට බුලත්විටක් නොකන කෙනාද මළගේක රුයක් සිටියහොත් එම අවස්ථාව මගනොහරී.
ඇතැම් ගම්වැසියෝ මළ ගම තිබූ ගෙදර හත්දවස අනිවාර්යෙන්ම නිදා ගත්හ.. පසුව තෙමසක් වන තුරුද ගෙදර තනි රුක්කාහ. එසේ දිවා රූ පුරා තනි රකින ගම්මුන්ට තේ කෝපිවලින් සංග්‍රහ කරන්නට ඥාතීහු වගබලා ගත්හ. මළගෙවල් කාලයට වැඩිපුරම අවශ්‍ය වන සීනි, තේ කොළ වැඩිපුර ගෙනයන්නට බොහෝ දෙනා සිතුවේ ඒ නිසා විය හැකිය.
මළගෙවල් සහ පින්කම් ගෙවල්වල ලියුම් කවර තබා ඇති අතර පින්කම් ගෙවල්වලට සහභාගි වන්නන් රැගෙන එන සීනි වෙනුවට වැය කරන මුදල් එම කවරවල දමා නිවෙස් හිමියන්ට දීමේ අලුත් පුරුද්දක් අපේ රටේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වෙයි. මේ වෙන කොහේවත් නොව දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේය. මාතර අපරුක්ක බැද්දේගම්මැද්ද තුන්මාසේ දානමය පින්කම නිවෙසක මෙය මුල්වරට සිදුකර තිබේ. ගම්වැසියන් පවසන්නේ වෙළෙඳපොළේ පවතින සීනි හිඟය මෙයට හේතු වූ බවයි. පින්කම් ගෙදර නිවැසියන් පැවසූයේ වෙළෙඳපොළේ සීනි නොමැතිවීම නිසා ගම්වැසියන්ගේ ඉල්ලීම මත එසේ ලිපි කවර තැබූ බවයි. මේ වනවිට සීනි හිඟවීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තවත් අවමංගල්‍යය නිවාස ගණනාවක මෙම ක්‍රමය අනුගමනය කළ බවද අනාවරණය විය. මංගල උත්සවවල ත්‍යාග ලබාදීම සිදුවුවද වර්තමානය වනවිට අවස්ථාවෝචිත අයුරින් මුදල් කවර ලබාදීම සිදුකරයි. එහෙත් මළගෙදරක පින්කම් ගෙදරක ලියුම් කවර තබා තිබෙනවා යැයි ඇසුවේ මුල්වරටය.
දකුණු පළාතේ ජනතාවගේ පුරුද්දට සීනි හිඟය තදින්ම බලපා ඇති බව පැවසිය හැකිය. ආනයනික සීනි කිලෝවක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා පියවර ගත් අතර බදු වැඩිකිරීමත් සමග බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමීම නිසා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදුවිය. රටේ ඇති වී තිබූ සීනි අර්බුදයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් අනාගතයේදී වඩාත් බරපතළ හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අප පුවත්පතේ කතුවැකියෙන් පවා පසුගිය කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්නේය. අප කතාවට මූලික වූ තත් සිදුවීමත් එහි ප්‍රතිවිපාකයක් බවද පැවසිය යුතුමය. එහෙත් මෙම ක්‍රියාව අනුමත කිරීම හෝ නොකිරීමේ අයිතිය අපි පාඨකයන්ට බාර කරමු.
I සසංක චලන ගිම්හාන