2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ලබන අවුරුද්දෙ වහින්නේ අඩුවෙන්

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 215

මේ දිනවල රටපුරා පවතින ධාරානිපාත වර්ෂාපතනය ඉදිරි සති කිහිපය තුළද පැවතිය හැකි බවත් එහෙත් ලබන වසරේදී ශ්‍රී ලංකාවට දැඩි නියඟයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් සමහරු අදහස් පළ කරති. මේ අතර ඇතැමුන්ගේ මතය වනුයේ ''වස් වසන කාලයේදී'' මුළු රටපුරා වර්ෂාව පැවැතීම සාමාන්‍ය තත්ත්වයක් බවය. මෙය යම් ලෙසකින් ආගමික මතවාදයකි.

බුදුන් වහන්සේ ඉන්දියාවේ වැඩ විසූ සමයේදී දැඩි ලෙසින් නිරිත දිග මෝසම් තත්ත්වය බලපා තිබේ. එය වැඩි වශයෙන් බලපා ඇත්තේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලයේදීය. මේ නිසාම එම කාලයේදී විශේෂයෙන් ජෛන ආගමිකයෝ එළිපෙහෙළියට බැසීමට අකමැති වූහ. ඒ වර්ෂාවත් සමඟ පොළොවේ සිටිනා සතුන් පෑගී මැරී පව් සිදුවන බවට ඔවුන් තුළ තිබූ විශ්වාසය නිසාය. මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සමඟ ඇතැම් භික්ෂූන් වහන්සේලා අදහස් හුවමාරු කරගත්හ. බෞද්ධ සංස්කෘතියේදී අනෙකුත් ආගම්වලට ගරු කිරීමක් ලෙසින් මේ වස් සිටින කාලයේදී ආරමවලට වී සිටීමට උන්වහන්සේගේ අවසරය ලබා දුන්හ. මේ අනුව ඒ කාලයේදී පවතින වර්ෂාව හේතුවෙන් සෑම වසරකම මෙම පිංකම තීරණය විය. ඉන්දියාවේ ඒ කාලය වුවද ලංකාවත් සමඟ සැසඳීමේදී මෙය ගැලපුණේ නැත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් වර්ෂාව පවතිනු ලබන්නේ දෙසැම්බර් මාසයේදීය.

''වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ රිද්මයේ යම්කිසි වෙනසක් සිදුවී තිබෙනවා. ලංකාවට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන වර්ෂන ක්‍රම කිහිපයක් පවතිනවා. එනම් කලාපීය වැසි ප්‍රදේශීය වැසි සහ සමස්ත ලංකාවට ඇදහැලෙන වැසි ලෙසිනි. මෙහිදී කලාපීය වැසි වනුයේ ඊසාන දිග සහ නිරිත දිග මෝසම්වලින් ලංකාවේ තෙත් සහ වියලි කලාපවලට වැසි ලැබෙන කාලයයි. මෝසම යනු වැස්සක් නොවේ. මෝසම තියෙන කාලයේදී වසින වැසි ''මෝසම් වැසියි'' සාමාන්‍යයෙන් මෙම වැසි ලැබෙන්නේ අන්තර් මෝසම් කාලයේදී මෝසම් සුළං ක්‍රියාත්මක නැති කාලයේදී විශේෂයෙන් කඳු මුදුන් සහිත ප්‍රදේශවලට වැඩි වශයෙන් මේ වැසි වසිනවා. අරාබි මුහුදේ හෝ බෙංගාල බොක්කේ ඇතිවන වායු අධිපීඩන හෝ අවපීඩන තත්ත්වයකදී මුළු ලංකාවම එක දිගට දවස් ගණනාවක් වර්ෂාව ඇතිවෙනවා. මේ වැසි වර්ග කිහිපය ලංකාවේ ඇතිවීම සිදුවනවා.''

යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

සාමාන්‍යයෙන් වසර ආරම්භයේ සිට පෙබරවාරි මාසය වනතුරු (නොවැම්බර් සිට) වැඩිම වර්ෂාපතනයක් ඊසාන දිග මෝසමෙන් ලැබේ.  එය ලංකාවේ වියලි කලාපයට ඇතිවේ. එම කාලයේදී ''වියලි කලාපයට මහ කන්නය'' ලෙසින් හැඳින්වේ. ඒ කාලයේදී ලංකාවට බොහෝ ඈතින් ඉර පිහිටා තිබීම හේතුවෙන් ලංකාවට දහවල් කාලය අඩුවේ. ඒ අනුවම ලංකාවට අස්වනු ලබාගන්නා කාලය වැඩිවේ. ''කන්න'' යනු කාලයයි. ඒ හේතුවෙන් කාලය දිගුවේ. එය මහ කන්නය ලෙසින් හැඳින්වේ. පෙබරවාරි අවසානයේ සිට අප්‍රේල් පළමු සති දෙක ''අන්තර් මෝසම්'' ලෙසින් හැඳින්වේ. ඒ කාලයේදී ඉර ලංකාවට ඉහළින් දිස්වේ. අප්‍රේල් මාසයේදී ලංකාවට මුදුන් වේ. මේ පෘථිවියේ උෂ්ණත්වය වැඩිම තීරයයි. ඒ හේතුවෙන් සුළං කිසිදු දිශාවකට හමන්නේ නැත. පෘථිවිය මතුපිට සුළඟ සහ ඉහළ වායු ගෝලයේ සුළඟ අතර උෂ්ණත්වය පවතී. පොළොවේ ඇති ජලවාෂ්ප අවශෝෂණය කරමින් වායුගෝලය ඉහළ නැග වළාකුළු නිර්මාණය වී අකුණු කුණාටු නිර්මාණය වේ. වළාකුළු කිලෝමීටර් ගණනාවක් උසට නිර්මාණය වේ. මුදුනේ සමහරවිට අයිස්ද නිර්මාණය වේ. ඇතැම් විට මාර්තු අප්‍රේල් මාසවලදී අකුණු ගසද්දී අයිස් වැසිද ඇද හැලීමට ඉඩ ඇත.

මේ කාලයේදී අස්වනු නෙලීමෙන් සූර්ය මංගල්‍යයද උදාවේ. ඉන්පසුව සුළඟේ මාරුවක් සිදුවේ. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම හේතුවෙන් අන්තර් නිවර්තන අභිසාරි කලාපය හිමාලය පෙදෙසට තල්ලු වේ. එහි අඩු පීඩනය පවතිද්දී දක්ෂිණ අර්ධ ගෝලයේ සුළඟ ඒ පෙදෙසට හමා යයි. එය ''නිරිත දිග මෝසම'' වේ. මැයි මාසයේ මැද කාලයේ සිට ආරම්භ වන නිරිත දිග මෝසම අගෝස්තු මාසය තෙක් පවතී. අගෝස්තු මාසයේ අග සතිවල සිට ඔක්තෝබර් මුල් සති දෙක දක්වා නැවතත් ඉර මුදුන් වේ.

''මෙම රිද්මය දේශගුණික විපර්යාසයන් නිසා වෙනස් වෙලා තිබෙනවා. උතුරු ඉන්දියාවේ පසුගිය කාලයේදී විශාල ධාරානිපාත වර්ෂා හේතුවෙන් නගර බොහෝමයක් යටවී විනාශ විනාශයක් සිදුවුණා. ඒ වගේම චීනයේත් ඇතැම් ප්‍රාන්තවල මෙවැනි තත්ත්වයන් ඇතිවුණා. එපමණක් නොව හොංකොං, කොරියාව, කැනඩාව වැනි රටවල්වලදී විශේෂයෙන් සීත කාලගුණයේදී මේ තත්ත්වය ඇතිවුණා. ඔවුන්ට වැහි ආකාරයන් තුනකින් ඇතිවෙනවා. හිමකැට, තුහීන සහ වැසි ජලය ලෙසයි. ඒ ඒ කාලවලදී ඒ අදාළ වර්ෂාවන් රටට ඇදහැලීම සාමාන්‍යයයි. නමුත් පසුගිය කාලයේදී තුහින (Snow) ලෙසින් ඇද හැලිය යුතු වර්ෂාව ජලය ලෙසින් ඇදහැලීමත් සිදුවුණා. තුහින වැටීමෙන් එය ගලා හැලීමක් සිදුවන්නේ නැහැ. ශීත ඍතුවේදී ඒවා එකතු වී වසන්ත ඍතුවේදී ටිකින් ටික දිය වී ගිම්හාන ඍතුවේදී අඩුවී යනවා. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් තුහින වෙනුවට ඇදහැලුණ වර්ෂාවත් ගංගාවල්වලට එකතුවුණා. එය එක්වරම දරාගන්න අමාරු වුණා.'' යැයි මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මහාචාර්යවරයා පවසන පරිදි මේ කාලයේදී ජලවාෂ්ප වායුවට එකතුවේ. එය ඝනීභවනය වේ. ඝනීභවනයත් සමඟ ලංකාව හරහා ක්‍රියාත්මක වන තිරස් සුළං පද්ධති සක්‍රීය වී ඇත්නම් ලංකාවට ඉහළින් ගොඩනැගෙනා මෙම ජලවාෂ්ප අනෙකුත් ප්‍රදේශවලට තල්ලු කරගෙන යයි. අධික ලෙස ජලවාෂ්ප එක්වන අවස්ථාවලදී තිරස් සුළං පද්ධතිය යම් දේශගුණික තත්ත්වයන් හේතුවෙන් අඩපණ වී ඇත්නම් වායු අවපාත තත්ත්වයන් ඇතිවේ. ඊසාන දිග සුළඟ සක්‍රීයභාවය අඩුවීමෙන් වළාකුළු  ගොඩ තල්ලු කිරීමක් නොවන නිසා එය පහළට කඩාගෙන වැටේ. මේ කාලයේදී සිදුවෙමින් පවතින්නේ එයයි. එක තැනකට කෙටි වෙලාවකට විශාල වර්ෂාපතනයක් ඇතිවේ. මේ වර්ෂාපතනය භූමි දර්ශනයටවත් ගංගාවල ජල ධාරිතාවයන්ටත් දරා ගැනීමට නොහැකිය. මධ්‍යම කඳුකරයට මෙවැනි ධාරානිපාත වර්ෂාව ඇද හැලෙද්දී එය පොළවට දරාගැනීමට නොහැකිව එසේ බර වැඩිවී පොළොව පලාගෙන නාය යයි. වැව්වලට මේ ජල දරා ගැනීමට නොහැකිව පිටාරය ගලයි. මේ ඇතිවූ විපර්යාසය නිසාම එක්වරම තෙත් කලාපයටත්, වියලි කලාපයටත් වර්ෂාව ඇදහැලේ. තෙත් කලාපයට වැටුණ වර්ෂාවත්, වියලි කලාපවලට ඇදහැලුණ වර්ෂාවත් ගංගාවලට යාමෙන් ගංගා පිටාර ගලයි.

''සාමාන්‍යයෙන් මාස දොළහේ රටාව අනුව ලබන වසරේ වායු සංචලනය (රටාව) වෙනස් වන්නට පුළුවන්. බොහෝවිට ලබන වසරේදී පැසිපික් සාගරයේ ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ලෙස වැඩිවේ. ඒ නිසාම ලංකාවට ඉහළින් කලාපයේ හමන සුළංවල ආක්‍රමණයක් නැගෙනහිර දෙසට සිදුවේ. ඒ නිසා ලංකාවට එන්න තිබෙන ජල වාෂ්ප අඩුවීමක් සිදුවිය හැකිය. ඒ නිසා ලබන වසරේදී ලැබෙන වර්ෂාපතනය අඩු වීමක් ඇතිවිය හැකියි. එය වෙනස් වෙන්නත් පුළුවන්. වසර ගණනාවක පවතින දත්ත විශ්ලේෂණය කරල බලද්දී එවැනි දෙයක් ලබන වසරේදී ඇතිවීමට ඇති සම්භාවිතාව වැඩියි.''

යැයිද මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා සඳහන් කරයි.

මේ අනුව ලබන වසරේදී සුළං රටාව වෙනස්වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයකුත් ඇතැම් ප්‍රදේශවලට අඩු වර්ෂාපතනයකුත් ලැබිය හැකිය. අපගේ ජල පරිභෝජනයට අවශ්‍ය ජලය නොමැතිව ගියොත් එය නියඟයක් දක්වා ඇදී යා හැකිය.

I දිශානි ජයමාලි කරුණාරත්න