2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

තව මාසෙකින් එන වැට් මිශ්‍ර පෙට්‍රල්

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 100

ඕස්ට්‍රේලියානු බලධාරීහු එරට රථවාහන සංවිධානයකට ඇමරිකානු ඩොලර් මිලියන දහ හතරක ප‍්‍රදානයක් කළහ. මෙම මුදල වසර හතරක් තුළ ප‍්‍රයෝජනයට ගත යුතුවේ. රථවාහන නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර නිපදවන වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළම තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කර ඇත. පසුගිය කාලය තුළ අහඹු ලෙස කරන ලද පරීක්ෂණවල ප‍්‍රතිඵල අනුව ඉන්ධන දහන කාර්යක්ෂමතාව ගැන සෑහීමකට පත්විය නොහැකි බව හඳුනාගත් නිලධාරීන් පුරවැසියන්ගේ යහපත අරමුණු කරගෙන නැවත වටයකින් ඉන්ධන කාර්යක්ෂමතාව ගැන පරීක්ෂණ පවත්වන්නට තීරණය කර තිබේ. තීරණය කිරීම පමණක් නොව එම පරීක්ෂණ සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමද විශේෂයෙන් අවධානයට ගත යුතු කරුණකි.

ශ‍්‍රී ලංකාවේද රථවාහන බලපත‍්‍ර අලුත් කිරීමේදී වායු විමෝචනය ගැන සලකා බැලේ. පරීක්ෂණයේදී දුම් සහතිකයක් නිකුත් කරන අතර එය වෙනුවෙන් බද්දක් අය කෙරේ. පරිසරයට හෝ සිදුවන විනාශය ගැන, වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කෙසේ වෙතත් ඉන්ධන පරිහරණය ආණ්ඩුවේ තවත් ආදායම් මාර්ගයක් බව පෙනේ. අනෙක් රටවල් පරිසරය යහපත් කරන, ආදායම සොයාගන්නා සුදුසු ප‍්‍රතිපත්ති සහිත විකල්ප ක‍්‍රම අත්හදා බලන අතරතුර, ශ‍්‍රී ලංකාවේ පිළිවෙළ පෙට‍්‍රල්වලට වැට් කවලම් කිරීම බව අනාවරණය වේ. පෙට‍්‍රල් යනු පොසිල ඉන්ධන වර්ගයකි. සියයට දහ අටක ප‍්‍රතිශතයක් දක්වා 2024 වසරේ සිට වැඩිකරන වැට් බද්ද එකතු කිරීමෙන් පසු ඉන්ධන සංයෝගයෙහි වෙනසක් නොවේ. වැට් එකතු කිරීමෙන් පසු පෙට‍්‍රල් වියදම සාමාන්‍ය පාරිභෝගිකයන්ට දරාගත හැකි ද යන්න ප‍්‍රශ්න කළ යුතුය.

• සරු ආදායම් මාර්ග හා නිසරු ප‍්‍රතිපත්ති

ජාතික ආදායම වැඩිකර ගැනීමේ උපාය වශයෙන් වසර හතරක් තුළ වැට් බද්ද සියයට දහයක ප‍්‍රතිශතයකින් ඉහළ නංවා තිබේ. 2019දී වැට් ප‍්‍රතිශතය සියයට අටකි. ලබන වසරේ සිට සියයට දහ අටකි. බද්ද ආවරණය කරන අංශද ප‍්‍රසාරණය කර තිබේ. පෙට‍්‍රල් එම කාණ්ඩ අතරින් එකක් බව අනාවරණය වේ. ඩීසල් සහ භූමිතෙල් වැට් බද්දෙන් ඉවත්කරන බව දක්වන ආණ්ඩුව පෙට‍්‍රල්වලට වැට් බද්ද පනවන බව සෘජුව සඳහන් කරන්නේද නැත. දැනට නිකුත් කර ඇති වාර්තා අනුව පෙට‍්‍රල් වැට් බද්දට යටත්වනු ඇති අතර සියයට දහඅටක ගාස්තු සංශෝධනයක් තීන්දු වී තිබේ.

ආර්ථික අර්බුදයකට පත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ස්ථාවර කරන පියවර ගණනාවක් හඳුන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදායම වහාම නංවන උපාය ගණනාවක් සඳහා බලකරයි. ආණ්ඩුව එයට එකඟවන අතර එම සහයෝගීතාව හේතු කොටගෙන රටට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදල් ප‍්‍රමාණයක් ලබාගත හැකි වී ඇත. ශ‍්‍රී ලංකාවේ වාතාවරණය සමාලෝචනය කරන මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අය වැය ආවරණය කරන ක‍්‍රමවේදයක් සඳහා වහාම පියවර ගන්නා ලෙස බලකර තිබේ. පෙට‍්‍රල් ඇතුළු ජන ජීවිතයට බලපාන භාණ්ඩ, සේවා විශාල ප‍්‍රමාණයකට වැට් බද්ද පැනවීම එහි ප‍්‍රතිපලයකි. බදු ආවරණයට යටත් කිරීම පමණක් නොව සියයට දහ අටක ප‍්‍රතිශතයක් දක්වා නැංවීම බරපතළ හිරිහැරයක් වනු ඇත.
ආදායම් මාර්ග බිඳ වැටී දුෂ්කර තත්ත්වයක පසුවන ජන කොටස් ආණ්ඩුවේ සරු ආදායම් මාර්ග බවට හරවා ගැනීම පහසුය. ප‍්‍රතිපත්ති සම්පාදකයන් තීරණ ගැනීමේදී වඩාත් තීක්ෂණ විය යුතු අතර ජනජීවිතය තවත් අපහසුවට ලක්කරන නිසරු ප‍්‍රතිපත්තිවලින් ඉවත්විය යුතුය.

• ඉහළ සිට පහළම තලය දක්වා තියුණු බලපෑමක්

යතුරුපැදියක් භාවිතා කරන රජයේ සේවකයකුගේ වියදමට සිදුවන බලපෑම සුදුසු තත්ත්වයක් නොවේ. දිනපතා සේවය සඳහා මාසයකට ලීටර් විස්සක් භාවිතා කළහොත් මාසයකට රු.1,280ක මුදලක් අතිරේකව වැය කරන්නට සිදුවේ. මාසික දීමනාව රුපියල් දස දහසකින් වැඩිකරන ආණ්ඩුව වහාම දහයෙන් එකක් අය කරගැනීම තුළ ආර්ථික ක‍්‍රමය ඉදිරියේ වහා විසඳා ගත යුතු ප‍්‍රශ්නයක් ඇති බව පැහැදිලිය. ආණ්ඩුවේ රුකියාවක් නොකරන, එදිනෙදා ගමන් බිමන් වලට යතුරු පැදියක්, ත‍්‍රීවිලර් එකක් භාවිතා කරන සාමාන්‍ය ජන කොටස් මෙහිදී සැලකිය යුතු අර්බුදයකට පත්වන බවද අමතක කළ යුතු නැත. 

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 වසර වනවිට යතුරුපැදි හතලිස් රට ලක්ෂ තිස් හය දහසක් රට තුළ ලියාපදිංචි කොට තිබේ. ත‍්‍රීවිලර් ප‍්‍රමාණය එකොළොස් ලක්ෂ අසූ හත් දහස ඉක්මවයි. මේවායේ දිනපතා පරිහරණය කරන පෙට‍්‍රල් ප‍්‍රමාණයට සියයට දහ අටක බද්දක් අලුතින් ගෙවන පසු සේවා අංශයේ සංකීර්ණ තත්ත්ව ඇතිවිය හැක. ත‍්‍රීවිලර් ගාස්තු සංශෝධනය විය හැකි අතර එදිනෙදා ගමන් බිමන්වලදී පීඩාව සාමාන්‍ය ජනතාවට බව මතක් කළ යුතුය. බදු රහිත වාහන හිමි ප‍්‍රභූ පැලැන්තියට පෙට‍්‍රල්වලට වැට් එකතු කිරීම ප‍්‍රශ්නයක් නොවේ. මැති ඇමැතිවරු, නිලධාරීන් හා ඉහළ තලයේ සියලුම දෙනාට වැඩිකරන ගාස්තු හා සමානව ඉන්ධන දීමනාව සංශෝධනය කරන්නට ඉඩ තිබේ. එම සංශෝධන ප‍්‍රසිද්ධියේ කෙරෙන්නේ නැත. මහජනතාවගෙන් අයකරන බදු නැවත වටයකින් රජයේ ඉහළ තලයේ පිරිස වරප‍්‍රසාද ලබන පසු ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය පත්වන අයහපත් ස්ථානය විද්වතුන්ගේ අවධානයට පත්වීම අවශ්‍යය.

දැනට පවතින තත්ත්වය අනුව යතුරු පැදියක්, සාමාන්‍ය වාහනයක් නඩත්තු කිරීම පවා පහසු නැත. ගමන් බිමන් සඳහා තමන්ගේම වාහනයක් මිලදී ගැනීමේදී විශාල පිරිවැයක් දරන්නට ජනතාවට සිදුවී ඇත. වාහන සඳහා අය කරන බදු වටිනාකම අනුව දෙතුන් ගුණයකි. වාර්ෂික බලපත‍්‍ර ගාස්තුවක් ගෙවන්නට සිදුවේ. ලබන වසරේ සිට බලපත‍්‍ර ගාස්තුව ගෙවන අතර බදු ගෙවන්නකු ලෙස ලියාපදිංචි වෙන්නටද සිදුවේ. මැදි ආදායම් තැනක සිට පහතටම වැටුණ ජන ජීවිතය මානසිකව ශක්තිමත් කරනු වෙනුවට බදු අංක හඳුන්වා දී, පෙට‍්‍රල්වලට වැට් අයකර ඉහළ පැලැන්තියට තල්ලු කිරීමට උත්සාහ කිරීම විශාල හානි ඇති කරන බව අවධාරණය කළ යුතුය. 

• පොසිල ඉන්ධන භාවිතය අඩු කළහොත්

ශ‍්‍රී ලංකාවේ පොසිල ඉන්ධන භාවිතය අනුව සතියකට පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් හතළිස් පන්දහසක් පමණ අවශ්‍ය කෙරේ. දළ වශයෙන් ලීටර් හතළිස් පන් ලක්ෂයකි. විනිමය වැයකර රටට ගෙන්වන ඉන්ධන රුපියල්වලින් විකුණා රජයේ ඛනිජ තෙල් වෙළඳාම සමබර කරගත නොහැක. දියුණුවන රටක් වශයෙන් අලුත් පැතිවලට අවතීර්ණ විය යුතුවේ. පසුගිය කාලයේ තෙල් නැවක් ගෙන්වන්නට විනිමය නැති සහ ඉන්දියාවෙන් රටට අවශ්‍ය ඛනිජතෙල් ණයට ලබාගත් රටක් වශයෙන් වෙනස් පැති වලින් කල්පනා කළ යුතුවේ. අයවැය හිඟය වැඩි කරන තෙල් වෙළඳාම වෙනුවට මහජන යහපත වෙනුවෙන් විදුලි වාහන හඳුන්වා නොදෙන්නේ ඇයි?

ඉන්දියාව, බංගලාදේශය, නේපාලය හා භූතානය විදුලිය ත‍්‍රීවලර් හා යතුරුපැදි සඳහා වෙළෙඳපොළ සකස් කරමින් පසුවේ. දැනට භාවිත කරන පෙට‍්‍රල් යතුරුපැදිය හෝ ත‍්‍රීවිලර් භාවිතා කළ හැකි නිල කාලසීමාවක් නිවේදනය කර ඇති අතර අලුත් මිල දී ගැනීමේදී විදුලිය වාහන සඳහා සැලකිය යුතු වට්ටම් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙම රාමුව තුළ පෙට‍්‍රල් ආනයනය අඩුවන අතර පාරිසරික හිතකර තත්ත්වයක් ඇතිවේ. ගෝලීය උණුසුම ඉහළයෑමට බලපාන හේතු අවම කරන ප‍්‍රතිපත්තිවලට එකඟවන බවට අත්සන් තබා ඇති රටවල් ආකල්ප වෙනස් කරන අලුත් ආකෘතිවලට ඇතුළුවන අතර එයින් පසු ලෝකය යහපත් තැනක් බවට හරවන්නට දායකවෙමින් සිටී.

ජනතාව පෙළන තීරණ ගන්නා ආණ්ඩුව පෙට‍්‍රල්වලට වැට් පනවන අතර භාවිතය අඩු කරන තීන්දුවක් වශයෙන් ජාත්‍යන්තරයට පෙන්වන්නට උත්සාහ නොකළොත් පුදුමයකි. මහජනතාවව පමණක් නොව ජාත්‍යන්තර මතවාද ද නොසලකා කි‍්‍රයාකිරීමේ අවසාන ප‍්‍රතිපලය දරුණු විය හැකිය. මෙරට අනාගතය මෙම තීරණවලට වන්දි ගෙවන්නන් බවට පත්වනු ඇත. තාවකාලික වාසි සලකා පෙට‍්‍රල්වලට බදු පැනැවීමෙන් පසු ආදායම ලැබී රට දියුණු කළ හැකි යැයි උපකල්පනය කරන්නේ නම් බරපතල වරදකි. ලෝකයේ නොදන්නා තැන්වලින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉරණම නොසලකා නියම කරන තීරණවලට අවනතව කටයුතු කරන ආණ්ඩුවලට අත් වූ ඛේදවාචකය අනාගතයේදී ඉතිහාසයට එකතු ඇත.

I සාරා කන්දෙගොඩ