2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ලංකාවේ දරුවන් පිටරට විකුණන මැලේසියානු කොම්පැණිය

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ශ්‍රී ලංකාවේ බිලිඳුන් ඇතුළු බාලවයස්කාර දරුවන් විදේශිකයන්ට විකිණීමේ කූඨ ජාවාරමක් හෙළිවී තිබේ. මෙකී මහා පරිමාණ ජාවාරම පසුපස මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් සිටින බවත් ජාවාරම මහනුවර ප්‍රදේශයේ සිට මෙහෙයවා ඇති බවටත් තොරතුරු සනාථ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාකර ඇත්තේ ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේ පුරවැසි කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත්තේ බිළිඳුන් සහ බාලවයස්කාර දරුවන් දරුකමට හදාගැනීම සඳහා විදෙස් ජාතිකයන් වෙත විකිණීමේ ජාවාරම පිළිබඳ සෙවීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බවය. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම් හා ජාවාරම් විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වාර්තා වන ආකාරයට පැමිණිලිකාරිය නෝර්වේ රටෙහි ජීවත්වන කාන්තාවකි. ඇය කලකට පෙර මේ ජාවාරමට ගොදුරු වූ කාන්තාවකි. ඈ 1992 වසරේ උපන් තැනැත්තියකි. ඇයට වයස මාසයක් පමණ වෙද්දී මව විසින් දැරිය නෝර්වේජියානු යුවළක් වෙත බාරදී ඇත. මැයගේ මාපියන් ශ්‍රී ලාංකිකයන් බවට තහවුරු කරගැනීමෙන් පසු ඔවුන් සොයා ඇය ලංකාවට පැමිණියාය. පසුව තම මව සොයාගැනීමට සමත් වූ ඇය එම කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට තිබුණාය. ආර්ථික අපහසුතා නිසා තමා මෙන්ම සිය සහෝදරයාත් මහනුවර ප්‍රදේශයේ පිරිසකට ලබාදී තිබෙන බව ඇගේ මවගෙන් අනාවරණය වූ බවද ඔවුන් ව්‍යාජ ලේඛන සකසා දරුවන් විදේශිකයන්ට විකුණා තිබෙන බවද එහිදී හෙළිකර ගෙන ඇත.

මේ අතර මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරමින් ශ්‍රී ලාංකික දරුවකු යුරෝපයට අලෙවි කිරීමට ගිය මැලේසියානු අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමත්වී තිබේ. ඒ ඉකුත් අප්‍රේල් මාසයේදීය. ක්වාලාලාම්පුර් අගනුවර පිහිටි මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉකුත් අප්‍රේල් 12 වැනිදා දරුවකුගේ ගුවන්ගමන් බලපත්‍රයක් සාදාගැනීම සඳහා යැයි කියමින් යුවළක් ගොස් තිබිණ. ගුවන් ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී ඇඟිලි සලකුණු හා ඡායාරෑප ගැනීමට අවශ්‍ය බැවින් එම යුවළ අදාළ ස්ථානයට ගොස් තිබුණේ දරුවා සමගිනි. මෙහිදී එම දරුවාගේ ගුවන් ගමන් බලපත්‍ර අයැදුම්පතේ තිබූ අඩුපාඩුවක් නිසා සැකයක් ඇතිවී තිබිණ. පසුව ඒ බව අනාවරණය කරගැනීමට ආගමන විගමන නිලධාරියා දරුවාගේ භාෂාව හැසිරවීම දැනගැනීමට දරුවා සමග කථා කිරීමට උත්සාහ කර ඇත. එහිදී  සැකකටයුතු දරුවාට මැලේසියානු භාෂාව කථා කිරීමට නොහැකි වී ඇත. ඊටත් වඩා දරුවාගේ මව්පියන් ලෙස පැමිණි දෙදෙනාගේ හා දරුවාගේ මුහුණුවර ස්වභාවයේ බොහෝ සෙයින් වෙනස්කම් ඇතැයි නිරීක්ෂණය වී ඇත. මේ නිසා  දරුවා නිලධාරීන් භාරයට ගෙන සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර අඹු සැමි යුවළ වයස අවුරුදු 26 සහ 37 පසුවන්නන් බව කියැවිණි. මොවුන් විසින්  බාල වයසේ පසුවන දරුවන් සිටින මැලේසියාවේ අඩු ආදායම්ලාභී දෙමව්පියන් රවටා දරුවන්ගේ තොරතුරු රුස්කරන බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි එරට පොලිසිය වාර්තා කොට තිබිණ. මේ සඳහා 'Bahnu Internationals' නමින්  ආයතනයක් පවත්වා ගෙන යන බවද ඒ හරහා මැලේසියානු දරුවන්ගේ දත්ත ගබඩාවක් පවත්වාගෙන යන අතර අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට විදේශ ගමන් බලපත්‍ර සාදාදෙන බව කියා තොරතුරු ලබාගෙන ඇති බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දාටුර් රුස්ලින් ජූසෝ විසින් දන්වා තිබිණ. එසේ ලබාගත් දත්ත හා තොරතුරු භාවිත කරමින් එම වයස්වල පසුවන වෙනත් දරුවන්ගේ ඡායාරෑප සහ ඇඟිලි සලකුණු යොදාගෙන ව්‍යාජ ලෙස මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා මොවුන් එම  බලපත්‍ර මගින් දරුවන් යුරෝපා රටවලට යැවීමේ ජාවාරම් සිදුකර තිබෙන බවට මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දාටුර් රැස්ලින් ජූසෝ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මාස හයක පමණ කාලයක් විදේශගතව සිට ළමයින් පිළිබඳ පුළුල් විමර්ශනයක් කොට ඇත. එහිදී සැකකටයුතු දරුවන් 13 දෙනකු ගැන දැඩි අවධානයක පසු වී අවසානයේ ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ. එහිදී විමර්ශන ඇරඹූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වයස අවුරුදු 18ට අඩු ළමයින් මැලේසියාව හරහා යුරෝපීය රටවලට අලෙවි කිරීමේ ජාවාරම අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ඊට සම්බන්ධ  අතරමැදි ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවට පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. දැනටමත් මෙරටින් දරුවන් 13 දෙනකු මැලේසියාවට යවා තිබෙන බවත් ඒ සඳහා මෙම ජාවාරම්කරුවා සම්බන්ධ වී ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ලංකාවේ නීත්‍යනුකූල ලියැවිලි හරහා මැලේසියාවට යවන දරුවන් එරටදී වෙනත් විදේශ ගමන් බලපත්‍රයක් මගින් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලට යවන බව කියැවේ. මෙහිදී විදේශ ගමන් බලපත්‍ර සඳහා සකසන ව්‍යාජ උප්පැන්න සහතික උපයෝගී කරගෙන ඇති බවත් ඒ සඳහා දායක වූවන්ට ඩොලර්වලින් මුදල් ගෙවා ඇති බවත් වාර්තා වේ. 

උප්පැන්න සහතික සෑදීම සඳහා මවුපියන් ලෙස ඉදිරිපත් වූ අයට යුරෝ හා ඩොලර්වලින් මුදල් ගෙවා ඇත. පසුව විවිධ ගණන්වලට මෙම දරුවන් විදේශ රටවලට අලෙවි කර තිබෙන බව අනාවරණය වී තිබේ. මේ ආකාරයට විදේශ ගතකළ දරුවන් උතුරු නැ‌ෙඟනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් තම මවුපියන් හෝ ඥාතීන් සමඟ නීත්‍යනුකූලව මැලේසියාවට ගොස් ඇති නමුත් ඉන්පසුව මැලේසියාවෙන් ගිය වෙනත් රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ නමුත් මේ දරුවන් නැවත ලංකාවට පැමිණ නැති බව තහවුරුව ඇත. ඒ නිසා විමර්ශන නිලධාරීන් සැකකරන්නේ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත්කොට ඔවුන් මැලේසියාවෙන් වෙනත් රටකට යවා ඇති බවකි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම් හා ජාවාරම් විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මේ ආකාරයට ව්‍යාජ දත්ත සහිත ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන මෙවර ඔවුන් විදේශයකට අලෙවි කිරීමට සූදානම් කර ඇත්තේ 12 හැවිරිදි ලාංකික දරුවෙක් බවට හෙළිකරගෙන ඇත. මැලේසියාවේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් තවත් ශ්‍රී ලාංකික දරුවන් යුරෝපීය රටවලට අලෙවි කර ඇති බව හෙළිකර ඇත. මෙලෙස දරුවකු යුරෝපයට යැවීම සඳහා යුරෝ 30,000 සිට 50,000 දක්වා මුදලක් ලබාගෙන ඇති බවද වාර්තා වී තිබේ. එය මෙරට මුදලින් රුපියල් කෝටියකට වැඩි නමුත් එය කාගෙන් ලබාගත්තේදැයි  අනාවරණ වී නැත. මෙසේ බාල වයස්කාර දරුවන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ කූඨ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාට එරටින් තොරතුරු ලැබී ඇත.

I  සමන්ත ප්‍රදීප් විල්තෙර