2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

බඩු මිලයි වෙළෙන්දොයි ජනතාව එක්ක හොරා පොලිස් සෙල්ලමේ

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

මේ දිනවල රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසීමාන්තික ලෙස ඉහළ යාමේ අනතුරක් උද්ගත වී තිබේ. කිසිදු පාලනයකින් තොරව වෙළෙන්දෝ බඩු මිල ඉහළ නැංවීමේ තරගයකට අවතීර්ණ වී සිටිති. පසුගිය සති දෙක තුළ වෙළෙඳපොළ නිරීක්ෂණය කරනවිට ඊයේ මිල අද වැඩිවී තිබෙන අතර හෙට වනවිට එම මිලද ඉහළ යාමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතී. මිල ඉහළ යාම පිළිබඳ වෙළෙන්දෝ විවිධ හේතු ඉදිරිපත් කරති. කෙසේ වුවද මෙම අධික මිල නිසා පාරිභෝගිකයාට සිදුව ඇති අසාධාරණය වළක්වාලීමට කිසිදු බලධරයකු ඉදිරිපත් නොවන සෙයක් පෙනී යයි. පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙන්ම කෘෂිකර්ම සහ වෙළෙඳ ආදී රාජ්‍ය ආයතන ස්ථාපිතව ඇති නමුත් ඉහළ යන භාණ්ඩ හා සේවා මිල මර්දනය කිරීමට සාර්ථක ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ.

සහල්, සීනි, පිටි, ලුණු, පරිප්පු, එළවළු, කරවල ආදී ජනතාවගේ කුසගින්න නිවීමට අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය යම් පමණකට හෝ මිලට ගැනීමට ජනතාවගේ අතේ මුදල් නොමැති නිසා ඔවුන්ට කුසගින්නේ සිටීමට සිදුව ඇත. ආහාර ඉල්ලා හඬන දරුවන් ඉදිරියේ නිරුත්තරවීමට මාපියන්ට සිදුව තිබේ. මාසික ස්ථාවර වැටුපක් ලබන රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකර ඔවුන්ට යම් සහනයක් සැලසීමට රජයට හැකි වුවද ලක්ෂ 16ක් පමණ වන එම ජනතාව හැර එදිනෙදා කුලියක් මලියක් කර ජීවත්වන, යම් විදියක හෝ ස්වයං රැකියාවක නිරත වෙමින් ජීවත් වෙන්නට උත්සාහ කරන විශාල ජනතාවක් පිළිබඳ කිසිදු වගකිවයුත්තකු කතා කරන බවක් ඇසෙන්නේ නැත.

බඩු මිල බැස්සවීම සඳහා රජයට ඇති එකම ක්‍රියාමාර්ගය වන මිල පාලනය කිරීම මේ වනවිට අසාර්ථක බවට පත්ව ඇති බව සක්සුදක් සේ පැහැදිලි වෙයි. විවිධ අවස්ථාවල සහල්, සීනි, පරිප්පු, බිත්තර ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පැනවූ මිල පාලනය රිවස් කර ගැනීමට රජයට සිදුවූයේ එබැවිනි. මේ වනවිට වෙළෙන්දෝ රජයේ මිල පාලනයට කොකා පෙන්වමින් මිල තීරණය කිරීම සියතට ගෙන සිටිති. මිල සීමාකළ විට එම භාණ්ඩවල හිඟයක් නිර්මාණය වේ. එවිට පැනවූ මිල ඉවත් කිරීමට රජයට සිදුවෙයි. රට තුළ මිල කළමනාකරණය කිරීමට උත්සාහ නොගන්නා බලධරයන්ගේ කෝකටත් තෛලය වී ඇත්තේ හිඟවන භාණ්ඩ ආනයනය කරන බව පැවසීමයි. මෙලෙස රට තුළ භාණ්ඩ සඟවා තිබියදී ඒවා එළියට නොගෙන ආනයනය කිරීම ප්‍රායෝගික නොවන බව සනාථ වෙයි.

දැනට රට තුළ උද්ගතව ඇති කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස කීරි සම්බා සහල්වලට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා පවසන්නේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයන් කීරි සම්බා තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීම මගින් ඉදිරි උත්සව දිනවල කීරි සම්බා සහ සම්බා සහල්වල හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවය. ඔවුන් සහල් තොග සඟවා ඇති බව විශ්වාස කරන අතර, තවදුරටත් තත්ත්වය එලෙස පවතී නම් ඉතා ඉක්මණින් කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කර දැනට ඇති සහල් හිඟය නැති කිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසුවේය. කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමුකර ඔවුන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් සැලසුම් කරන බවද ඇමැතිවරයා කියයි.

රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් විසින් කීරි සම්බා සහ සහල් තොග සඟවා තබාගෙන උත්සව සමයේ කෘත්‍රිම හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පසුගියදා පැවැති වෙළෙඳ හා වාණිජ ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදීද හෙළි වී තිබේ.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සීනි සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසු වෙළෙඳුන් සීනි තොග සඟවා තබා ගැනීම නිසා දේශීය වෙළෙඳපොළ තුළ සීනි හිඟයක් නිර්මාණය වූ අතර, වෙළෙඳපොළේ තොග බෙදාහැරීමට නොහැකිවීම නිසා ආනයනකරුවන් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බවය. ඒ නිසා ඉදිරියේදී සීනි හිඟවීමේ අවදානමක් මතුව ඇති නිසා සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කළ බවද ඔහු කීය. උපරිම මිල ඉවත් කිරීම නිසා ඉදිරියේදී වෙළෙඳපොළේ සීනි බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවද ඇමැතිවරයා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවැති අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වූයේ වසරකට මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් පමණ වන අතර රට තුළ නිෂ්පාදනය කරනුයේ ඉන් සියයට 10ක් හෙවත් මෙට්‍රික් ටොන් 60,000 පමණක් වන බවය. ඉතිරි සීනි තොග ආනයනය කිරීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි. මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ මිල අනුව මෙරට සීනි මිල නියම කිරීමට සිදුවෙයි. ඒ නිසා දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

කෙසේ වුවද සීනි බද්ද රුපියල් 50ක් කිරීම ප්‍රයෝජනයට ගෙන එයට පෙර ගෙන්වූ තොගද ඉහළ මිලට අලෙවි කිරීම නැවැත්වීම සඳහා මිල පාලනයක් කර සඟවා තිබූ සීනි වැටලීමටද කටයුතු කර තිබුණි.

එහෙත් පාරිභෝගික සේවා අධිකාරිය කරන වැටලීම්වලින් අත්‍යවශ්‍ය ආහාර සඟවා තබා ගැනීම් සහ අධික මිලට අලෙවි කිරීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට නොහැකි වී ඇත. දැනට ඔවුන් කරනුයේ නියැදි වැටලීම් පමණකි. මුළු වෙළෙඳ කලාපයම ආවරණය කිරීමට නොහැකි වී ඇත. එයට හේතුව අවශ්‍ය නිලධාරීන් සහ යටිතල පහසුකම් හිඟය වාහන සහ අවශ්‍ය තරම් ඉන්ධන ලබා ගැනීමට අපහසුවීම ආදියයි. විශේෂයෙන් ප්‍රාදේශීය කාර්යාලවලට මෙම තත්ත්වය දැඩිව බලපා තිබේ. එසේම ඇතැම් නිලධාරීන් කූඨ වෙළෙඳුන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන්ගෙන් යම් යම් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට පුරුදු වීම නිසා වැටලීම් සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගැනීම උගහට වී ඇති බවද පැවසේ.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පසුගිය කාලයේ එවැනි කටයුතුවල නිරත නිලධාරීන් සහ එම වෙළෙඳසල් ආදිය නම් ගම් සහිතව අදාළ බලධරයන්ට ඉදිරිපත් කළද කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැති බව කියයි. විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන සුළු ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීම ආදියෙන් වංචා සිදුකරන අවස්ථා රුසක් බව ඔහු අනාවරණය කරයි. පාරිභෝගික සේවා අධිකාරියේ සිදුවන මෙම වංචා දූෂණ මැඩ පැවැත්වන්නේ නම් එයින් පාරිභෝගිකයාට විශාල සේවයක් සැලසිය හැකිය යන්න ඔහුගේ අදහසය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය වීරසිංහ වැටලීම් කිරීමසඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබේ. මහා පරිමාණ වෙළෙඳසල් වැටලීම් කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නගරයෙන් බැහැරව කෙරෙන වැටලීම් සඳහා අදාළ පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ සහය ලබාදෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන ලෙස වෙළෙඳ ඇමැති නලීන් බණ්ඩාර පොලිස්පතිගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේ මේ කන්නයේ වැඩිපුරම ගොවීන් කීරි සම්බා වගාකළ නමුත් හිඟයක් ඇතැයි පවසා හරියටම අස්වනු නෙලීමට ආසන්න වනවිට රජය ආනයනය කරන්න සූදානම් වන බවයි.

''මේක ආණ්ඩුව මහා පරිමාණ මෝල් හිමියන් සමඟ එකතුවෙලා කරන කුමන්ත්‍රණයක්. දැන් ආනයනය කළවිට සිදුවෙන්නේ වී මිල බහින එකයි. එවිට මහා පරිමාණ මෝල් හිමියන්ට අඩු මිලට වී අරගෙන ගොවියා සූරා කන්න පුළුවන් වෙනවා. මේක මංකොල්ලයක්. අපට පිටරටින් හාල් ගේන්න අවශ්‍ය නැහැ. ලැබෙන නිෂ්පාදනය හරිහැටි කළමනාකරණය කරනවා නම් කීරි සම්බා කිලෝ 64 වී මලු රුපියල් 10100 ගණනේ මේ වනවිට ගොවියන්ගෙන් මිලට ගන්නට මෝල් හිමියන් පටන් අරන්. රටට වසරකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් තමා අවශ්‍ය. මේ වසරේ ටොන් ලක්ෂ 45ක අස්වැන්නක් ලැබුවා. දැන් තියෙන්නේ සහල් අතිරික්තයක්. මෙයට පෙර ගෙනා පොන්නි සම්බා සහ බාස්මතී සහල් තවම කඩවල තිබෙනවා. මේ උත්සාහය වන්නේ වී සහ සහල් හිඟයක් නිර්මාණය කරලා වී මිල බස්සලා ගොවියා සූරා කෑමටයි.''

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ අර්තාපල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවය. 2022 හා 2023 වර්ෂවල රටේ කිරි අල හා මඤ්ඤොක්කා අල වගාකර මෙට්‍රික් ටොන් 70,000කට අධික අස්වැන්නක් ලබාගෙන ඇති බව අනාවරණය වන්නේ යැයි අමාත්‍යංශය කියයි.

මෙම වසරේ යල් කන්නයේදී මඤ්ඤොක්කා හෙක්ටයාර 2261ක් වගාකර මෙට්‍රික් ටොන් 35,477ක අස්වැන්නක් ලබාගෙන ඇත. එසේම 2022 වර්ෂයේදී කිරි අල හෙක්ටයාර 3645ක වගාකර මෙට්‍රික් ටොන් 35433ක අස්වැන්න උපයා ගැනීමට සමත් වී ඇති බවද වාර්තාවේ සඳහන්ය. යල් කන්නයේ බිම් හෙක්ටයාර 630ක බතල වගාකර තිබේ. එයින් ලැබූ බතල අස්වැන්න ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7641ක් වේ.

රටේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වන අතර අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය නොකරන නිසා ආනයනය කිරීමට සිදුව තිබෙන බවද වාර්තාව කියයි. මෙවර යල් කන්නයේදී බිම් හෙක්ටයාර 1899ක අර්තාපල් වගාකර මෙට්‍රික් ටොන් 31,484ක අස්වැන්නක් ලබාගෙන තිබේ. වගාකරන බිම් ප්‍රමාණය ඉහළ නංවා නිෂ්පාදනය වැඩි කරන්නේ නම් ආනයනය කිරීමට අවශ්‍ය නොවන අතර, දේශීය ගොවියා දිරි ගැන්වීමක්ද වන බව වාර්තාව අවධාරණය කරයි.

මේ අතර දැනට ඇති ලූනු හිඟයට පිළියමක් ලෙස ලබන වසරේ සිට ලොකු ලූනු ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බව වෙළෙඳ අමාත්‍යංශ ආරංචි මාර්ග මගින් දැක්වේ. දිවයිනේ මධ්‍යම, වයඹ, උතුර, නැගෙනහිර හා ඌව යන පළාත්වල ලොකු ලූනු වගා කිරීම සිදුවුවද මේ වනවිට ලූනු වගාවෙන් ගොවීහු සම්පූර්ණයෙන් ඉවත්ව සිටිති. වාර්ෂික පාරිභෝජනයෙන් සියයට 40ක් රට තුළ වගා කෙරිණි. එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂයකි. ගොවීන් වගාවෙන් ඈත් වී ඇත්තේ ලූනු නිෂ්පාදනය මිලදී ගැනීමට රජය කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති නිසා බව ගොවිජන සම්මේලනය චෝදනා කරයි. ආනයනය කරන ලූනුවලට වඩා ප්‍රමිතියෙන් උසස් ලූනු මෙරට තුළ නිෂ්පාදනය කළ හැකිව තිබියදී රජය ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ලූනු හිඟයක් ඇතැයි ආනයනය කිරීමට කටයුතු කිරීම කනගාටුදායකය වේ.

බීජ මිලදී ගැනීමට හෝ බීජ වගාව ව්‍යාප්ත කිරීමට කිසිදු වැඩ පිළිවෙළක් මෙතෙක් බලධාරීන් ක්‍රියාත්මක කර නැත. ඒ නිසා බීජ ලූනු මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත. 2015 වසරේදී මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර 4500ක ලූනු වගාකර මෙට්‍රික් ටොන් 95,000ක් ලබා ගැනීමට හැකි විය. එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට 80ක් වේ. එම තත්ත්වය ක්‍රමයෙන් පහළ බැස 2023 වසර වනවිට ලූනු වගාකර ඇත්තේ අක්කර 200ක පමණි. 2024 වනවිට කිසිදු වගාවක් නැති නිසා මුළු පාරිභෝජන ප්‍රමාණයම ආනයනය කිරීමට සිදුවී තිබේ.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02