පවතින ජීවන බර දරාගත නොහැකි බැවින් 2024 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩිකරන ලෙසට ඉල්ලා වෘත්තීය සමිති විරෝධතා දක්වන්නට වූයේ අයවැයට පෙර සිටය. ඒ අනුව පසුගිය අයවැයෙන් රජයේ සේවකයන් සඳහා 2024 අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් වෘත්තීය සමිති එයට එකඟ නොවූ අතර තවදුරටත් රුපියල් 20,000 තම වැටුප වැඩිකරන ලෙසට ආණ්ඩුවට බලකරමින් ඔවුහු උද්ඝෝෂණවල නිරත වෙති. ජනවාරි මාසයේ සිටම වැටුප රුපියල් 20,000කින් වැඩි කිරීම, වැඩිකරන දීමනා සහ වැටුප් ජනවාරියේ සිට ලබාදීම, 2015 සිට අහිමිකර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක රාජ්‍ය සේවකයන් නොවැම්බර් 27දා විවිධ ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතන ඉදිරිපිටදී විරෝධතාවල නිරත වූ අතර එහි ප්‍රධානතම විරෝධතාව පැවැත්වුණේ බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදීය.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි තම උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙලෙස සඳහන් කළේය.
''රුපියල් 20,000ක පඩි වැඩිවීමක් වෙනුවට රුපියල් 10,000ක පඩි වැඩි කිරීමේ යෝජනාවක් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙනවා. එය ලබාදෙන්නේ 2024 අප්‍රේල් මාසයේ සිටයි. විදුලි බිල, ජල බිල, දුරකතන බිල ගෙවලා, ගෑස් ටැංකියක් සහ දරුවන්ගේ පාසල් වෑන් එකට ගෙව්වට පස්සේ අපේ පඩියෙන් සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ජනවාරියේ සිට වැට් බද්ද 18% දක්වා ඉහළ දමන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. අලුතින් තවත් භාණ්ඩ හා සේවා 150කට විතර වැට් එකතු කරන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 8%ක් සෘජුවම මාසිකව කපාගන්න අයවැයෙන් යෝජනා කර තිබෙනවා. අපි මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළේ ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න. දෙසැම්බර් 13 වැනිදා අයවැය ස්ථිර කර ගැනීමට පෙර වැඩකරන ජනතාවගේ ඉල්ලීම්වලට පිළිගත හැකි සාධාරණ විසඳුමක් නොලැබුණොත් අනිවාර්යයෙන්ම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව අපි ආණ්ඩුවට කියා සිටිනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප අන්තිම වරට වැඩිවුණේ 2015දී. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා වැඩි කළ හැකිනම් මේ රටේ සොච්චම් වැටුපක් ලැබෙන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න බැරි.'' යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවකයන් ලක්ෂ 14 කට අධික පිරිසක් සිටිති. අවසන් වරට ඔවුන්ගේ වැටුප වැඩි වූයේ 2015 වසරේය. එවක පැවැති යහපාලන ආණ්ඩුව 107% කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට පියවර ගත්තේය. 2016දී 117 ට පැවැති පෙට්‍රල් ලීටරය මේ වනවිට රුපියල් 361 කි. රුපියල් 92ක්ව පැවැති ඩීසල් ලීටරය අද 341 කි.. රුපියල් 68 තිබූ සහල් කිලෝව 220ට වඩා වැඩිය. රුපියල් 9ක් වූ අවම බස් ගාස්තුව දැන් රුපියල් 30කි. විදුලි බිල 4 ගුණයකින් ඉහළ ගොසිනි. ජලබිල, ගෑස් දෙතුන් තුන්ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව රටේ වැඩකරන සියලුම ජනතාවගේ වැටුප අවම වශයෙන් තුන්ගුණයකින් පමණ වැඩි විය යුතුය. මේ වනවිට රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා, ගමන් දීමනා කපාහැර ඇති අතර, ලක්ෂයට වැඩි වැටුප් ලබන පිරිසට බදු පනවා තිබේ. මේ හේතුවෙන් රටේ බොහෝ අර්බුද නිර්මාණය වූ අතර ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් රට හැර යාමටද පෙළඹුණි. මේ අතර හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරියන් නඩත්තු කිරීම සඳහා ඔවුන්ගේ වරප්‍රසාද ලබාදීම සඳහා ආණ්ඩුව 2024 වසරට රුපියල් ලක්ෂ 1100ක් වෙන් කිරීමට නියමිතය. එය 2023 වසරට සාපේක්ෂව 45%ක වැඩිවීමකි. මේ සියල්ල සඳහා වැයවන්නේ මෙරට ජනතාව අඩක් කුසගින්නේ සිට ආණ්ඩුවට ගෙවන බදු මුදලිනි.
2024 ජනතාව දැනටත් වඩා බදු බරින් පීඩාවට පත්වීමට නියමිතය. 2024 වසරේදී රටේ ජනතාවට 2023 වසරට වඩා රුපියල් කෝටි 88100ක (බිලියන 881) වක්‍ර බදු සහ රුපියල් කෝටි 34,200ක (බිලියන 342) ඍජු බදු ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙයි. 2024 අයවැය ලේඛනය අනුව රුපියල් කෝටි 122,400ක (බිලියන 1224) අතිරේක ආදායමක් බලාපොරොත්තු වන අතර එයින් 72,%ක් වක්‍ර බදු සහ 28%ක් ඍජු බදු වනු ඇත.. 2023 වසරේදී රජය බලාපොරොත්තු වූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2851ක් වූ අතර 2024 වසර සඳහා බිලියන 4075ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අයවැය ලේඛනය අනුව සනාථ වේ. මෙලෙස විශාල ලෙස බදු අය කිරීම නිසා ලබන වසරේ ජනවාරි 01දා සිට හාල්, පරිප්පු, සීනි, තිරිඟු පිටි, කරවල, අල ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 72%කින් පමණ ඉහළ යාම නොවැළැක්විය හැකි බවද මහාචාර්යවරයාගේ අදහසය. එවන් වාතාවරණයක් තුළ ජනතාව තව තවත් පීඩාවට පත්වන අතර හැකි අය රට හැර යාමටත් ජීවත් වීමට තරම් නිසි ආදායමක් නොමැති පිරිස දැඩි ලෙස පීඩාවට පත්වීමත් නොවැළැක්විය හැකිය.
රජයේ සේවකයන් ඉල්ලා සිටින පරිදි රුපියල් 20,000කින් වැටුප් වැඩිකිරීමට ආණ්ඩුවට නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි. ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ. ''මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක් රටේ ජනතාව මහපොළොවේ තිබෙන යථාර්ථය පිළි නොගැනීම ජාතියේම අවාසනාවක් ලෙසයි මා දකින්නේ. 2022 විගණනය අනුව රටේ සමස්ත බදු ආදායම බිලියන 1751යි. එයින් බිලියන 1265ක්ම වැය වෙන්නේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි. ඒ කියන්නේ රටේ ජනතාව ගෙවන බදුවලින් 72%ක්ම වැය වන්නේ මේ සඳහායි. දිළිඳු ජනතාවට සමෘද්ධි ඇතුළු සනාධාර දීමට බිලියන 506ක් වැය වෙනවා. ඒ කියන්නේ 28%ක්. එතකොට රජයට ලැබෙන සමස්ත බදු ආදායමම මේවා සඳහා වැය වෙනවා. ණය පොළිය බිලියන 1565ක් ගෙවල තියෙන්නේ ණයට අරගෙන. බිලියන 715ක් ප්‍රාග්ධන වියදම් දරා තියෙනවා ඒකත් ණයට අරන් කරල තියෙන්නේ. රජයේ සේවකයන්ට රුපියල් 20,000ක් පඩි වැඩිවීමක් ලබාදෙන්න නම් රාජ්‍ය සේවකයන් නොවන රටේ සියලු ජනතාවටම අසීමිත බද්දක් පනවන්න වෙනවා. දැනටමත් බදු බර දරාගත නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත්ව සිටිනවා. බදු නොගෙවන අය පඩි විතරක් ඉල්ලනවා. අප්‍රේල් මාසයේ ලබාදීමට පොරොන්දු වූ වැඩිකරපු දීමනාව ජනවාරි මාසයේ සිට ලබා දීමට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටිනවා. වැටුප් ගෙවන්නේ ජනාධිපතිවරයාගේ හෝ මුදල් ඇමැතිවරයාගේ පෞද්ගලික ධනයෙන්වත් ආණ්ඩුවේ සල්ලිවලිනුත් නොවෙයි මහජනයාගෙන් ගන්න බදුවලින්. ජනතාව මත තවත් බදු පීඩනයක් පනවන්න බැහැ. මෙලෙස වැටුප් වැඩි කිරීමට උද්ඝෝෂණය කරන්නේ කිසියම් දේශපාලන න්‍යයාපත්‍රයක් අනුව'' යැයි සඳහන් කළේය.
පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි.රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ ''රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්න මුදල් නෑ කියලා කියනවා. බෙහෙත්වලින්, සීනිවලින් හොරකම් කරපු මුදල්වලින් රාජ්‍ය සේවක වැටුප් ලබා දෙන්න. රාජ්‍ය සේවකයන්ට 20,000ක වැටුප් වැඩිවීම ලබාදෙන්න රජයට වියදම් වෙන්නේ බිලියන 100 ක්. රජය විධායක නිලධාරීන්ගේ වැටුපට බදු ගහලා බිලියන 140 ක ආදායමක් එකතු කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරු 1200ක්, ඉංජිනේරුවන් 600ක්, ඇතුළු විධායක නිලධාරීන් රට දාලා යන්නේ. රාජ්‍ය සේවකයන් ඉල්ලන ඉල්ලීම සාධාරණයි. බොරු නොකර රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්න. රනිල් වික්‍රමසිංහ කියනවා ඔහු ඇවිත් රට ගොඩ ගත්තා ආර්ථිකය ගොඩගත්තා කියලා. ගොඩ ගත්තා නම් රාජ්‍ය සේවක වැටුප වැඩිකරලා දෙන්න. රටේ උද්ධමනය අඩු වුණාට හාල් කිලෝ එක, සීනි කිලෝ එක තාම අඩුවෙලා නෑ. මේ දරාගැනීමට නොහැකි ආර්ථික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා තමයි රාජ්‍ය සේවකයන් අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ. රජයට අපි අවධාරණය කරලා කියනවා රාජ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. රජය බලන්නේ උද්ඝෝෂණ විරෝධතා කෙසේ හෝ මර්දනය කරන්න'' යනුවෙන් සඳහන් කළේය.
උද්ඝෝෂණ පැවැත්වෙන වාතාවරණයක් තුළ අයවැයෙන් වැඩිකළ රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 5000ක් සහ විශ්‍රාමිකයන්ට වැඩි කළ 2500 දීමනාව 2024 ජනවාරියේ සිට ගෙවීමට රජයේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා