ප්‍රභාකරන්ගේ දියණිය යැයි කියාගන්නා කාන්තාවකගේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධියක් ලබා ගත්තේය. ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, මෙම කාන්තාව තමන් ද්වාරකා ප්‍රභාකරන් ලෙස හඳුන්වා දී ඇති අතර, මේ වීඩියෝව මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමේ දිනයක් වන නොවැම්බර් 27දා එළිදුටුවේය. ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවත් වනවාද? නැද්ද? යන ආන්දෝලනාත්මක සැක සංකාව මේ සමඟ නැවතත් පැතිර ගියේය.
දමිළ වෙබ් අඩවියක විකාශය වූ මේ වීඩියෝවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිදහස සඳහා වන සටන දිගටම කරගෙන යාමට ඇති සිය කැමැත්ත ප්‍රකාශ කරමින් දෙමළ භාෂාවෙන් කතා කළ කාන්තාව, තමාට ශ්‍රී ලංකාවට පැමිණ තම ජනතාවට සේවය කිරීමට අවශ්‍ය බවද පැවසුවාය. සිය අරගලය සිංහල ජනතාවට එරෙහිව නොවන බවත් ඔවුන්ට එරෙහිව අහිංසකයන් හසුරුවන රජයට සහ දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව බවත් එම කාන්තාව සිය විනාඩි 12ක් පමණ වූ කතාවේදී පැහැදිලි කළාය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී මියගිය බව කියන ප්‍රභාකරන්ගේ දියණියගේ කතාවක් සජීවීව විකාශය කරමින් ලන්ඩන් සහ ග්ලාස්ගෝහි සැමරීමේඋත්සව සංවිධානය කරන බව එක්සත් රාජධානියේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව කලින් නිවේදනය කර තිබුණි.
ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවතුන් අතර සිටින බව පෙන්වීමට කෘත්‍රිම බුද්ධිය යොදාගෙන සාදන ලද වීඩියෝ පටයක් නොවැම්බර් 27 වැනිදා ලොවපුරා බෙදා හරින්නට යන බවට විදේශ බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති බව මාධ්‍ය මගින් එළිදරව් වූයේ මේ අතරය. මෙම වීඩියෝව ගැන විමර්ශන තවදුරටත් පැවැත්වෙන බව වාර්තාවේ.
1986 වසරේ යාපනයේ උපත ලද ද්වාරකාට එම නම තබා ඇත්තේ ප්‍රභාකරන්ගේ ප්‍රියතම ආරක්ෂකයා වූ මයුරන්ගේ නමින්ය. ඔහුගේ සැබෑ නම ද්වාරකන්ය. චාල්ස් ඇන්තනි සහ බාලචන්ද්‍රන් යන පුතුන් දෙදෙනා අතර උපන් ඇය ප්‍රභාකරන් සහ මතිවතනීගේ දෙවැනි දරුවා විය. ප්‍රභාකරන් තම වැඩිමහල් පුතාට නම් තැබුවේ චාවකච්චේරියේදී මියගිය ඔහුගේ හොඳම මිතුරා සහ ''හමුදාපති'' චාල්ස් ඇන්තනි හෙවත් සීමන් නමිනි. හමුදා සටනකදී මියගිය මතිවතනීගේ සහෝදරයාගේ නමින් බාලචන්ද්‍රන් නම් කරන ලදී.
ද්වාරකා හැදී වැඩුණේ ඩෙන්මාර්කයේ ඇගේ මවගේ පවුලේ උදවිය සමගිනි. පසුව, IPKF ශ්‍රී ලංකාවෙන් පිටව ගිය වහාම ඇය සිය මව මතිවතනී සමඟ නැවත යාපනයට පැමිණියාය. ඇය යාපනයේ ජෝන් බොස්කෝහි ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරෑ අතර පසුව කිලිනොච්චි වෙත ගොස් පසුව වන්නියට ගියාය. යුද්ධයේ අවසන් අදියරේදී වාර්තාවන්ට අනුව ද්වාරකා සිටියේ තම පවුලේ සාමාජිකයන් සමඟ ගැටුම් කලාපයේය. ඉහළ පෙළේ මූලාශ්‍රවලට අනුව, ගැටුමේ අවසන් අදියරේදී ද්වාරකා සිටියේ මුල්ලිවයික්කාල්හි ආරක්ෂිත බංකරයක හෝ කන්ටේනරයක හෝ සැඟවීය. පසුව ගුවන් බෝම්බ ප්‍රහාරයකින් ඇය මියගිය බව වාර්තා විය.
2008දී යුද්ධය උච්චතම අවස්ථාවට පැමිණ මුල්ලිවයික්කාල් නගරයට කිට්ටු වනවිට මතිවතනී සහ ද්වාරකා යුරෝපයට පලා ගිය බවටද එකල කටකතාවක් පැතිර ගියේය. ඇය යුරෝපයේ හෙළි නොකළ ස්ථානයක සිය උපාධිය හදාරමින් සිටි බව ඉන්පසුව පැවසුණි. කෙසේ වුවද ඇය සිටියේ යුද මුක්ත කලාපයේද, එසේත් නැතිනම් ඇය ගැටුම් කලාපයෙන් පලාගියේ කෙසේද යන්න අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා හමුදාව ප්‍රභාකරන්ගේ බිරිඳ මතිවතනී සහ ද්වාරකාගේ මරණය තහවුරු කළේ එවකට රජයේ ඇමැතිවරයකුව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. අණදෙන නිලධාරී කරුණා අම්මාන් හරහාය.
ද්වාරකා ජීවතුන් අතර සිටින බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් මේ වනතුරු ලැබී නැතත් ඩෙන්මාර්කයේ පදිංචි මතිවතිනීගේ වැඩිමහල් සොහොයුරිය වන අරුණා, ළඟදීම ද්වාරකා එළියට එන බවට වීඩියෝවක් නිකුත් කර තිබුණි. ඉන්පසුව නොවැම්බර් 27 වැනිදා ද්වාරකා වීඩියෝ දේශනයක් පවත්වන බව එල්.ටී.ටී.ඊ. හිතවාදී කවියකු වන කාසි අනන්තන්ද පවසා තිබුණි. නමුත් ප්‍රභාකරන්ගේ ඥාති පුත්‍රයා වන කාර්තික් මනෝහරන් යූ ටියුබ් වීඩියෝවකින් හෙළිකළේ ප්‍රභාකරන් ගැන හෝ ඔහුගේ පවුලේ උදවිය ගැන හෝ යුද්ධයෙන් පසු කිසිදු තොරතුරක් නොමැති බවයි. යුද්ධය අවසන් වීමෙන් පසු ඔහුගේ පවුල. “පසුගිය වසර 14 තුළ අපි ද්වාරකා ගැන අසා නැහැ. අපේ බාප්පයි නැන්දයි ජීවතුන් අතර ඉන්නවා කියන එක ඇත්ත නම් කතා කරන්න එළියට එන්නේ ද්වාරකා නෙවෙයි. ''ඒ ප්‍රභාකරන් හරි මතිවතනී හරි.” යැයි ඔහු කියා තිබේ. කාර්තික් මනෝහරන් ඩෙන්මාර්කයේ ජීවත්වන බව වාර්තාගතය.
කැනඩාවේ සහ ලන්ඩනයේ වෙසෙන කොටි හිතවාදීන් විසින් කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ද්වාරකාගේ වීඩියෝවක් විකාශය කිරීමට සැලසුම් කර ඇත්තේ මීට මසකට ඉහතදී බව ඉතා ඉහළ බුද්ධි අංශ ආරංචි මාර්ග මේ අතර පවසා තිබුණි. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිනවා යැයි කලින් පැතිර තිබූ කටකතාව මගින් සාර්ථක ප්‍රතිඵල අත්නොවූ නිසා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් මෙම ප්‍රභාගේ දියණිය පිළිබඳ අලුත් කටකතාව කරළියට ගෙනැවුත් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ ආරංචි මාර්ග කියා තිබේ.
I සුගත් පී. කුලතුංගආරච්චි