පළාත් පාලන ආයතන 341ක නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනිදායින් අවසන් වීමෙන් සියලුම මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන් යටතට පත්විය. රජය ගනු ලබන තීන්දු තීරණ සහ ජනතා සේවා සාමාන්‍ය පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් ඒ ඒ පළාත් පාලන ආයතනවලට අදාළ නාගරික කොමසාරිස්වරුන් හා පළාත් පාලන ආයතන ලේකම්වරුන් යටතේ පැවැත්වෙයි. ජනතාවගෙන් නැගෙන චෝදනාව වනුයේ පළාත් පාලන ආයතන රාජ්‍ය නිලධාරීන් පාලනය කිරීම හේතුවෙන් මහජන නියෝජිතයන්ගෙන් සිදු වූ සේවාව ඒ තරමට සිදු නොවන බවයි.
සිරිමාවෝ මැතිනිය බලයට පත්වූ පසු පළාත් පාලන ආයතනවල බලය පැවතියේ එක්සත් ජාතික පක්ෂයටය. රජයේ ඉදිරි වැඩවලට බාධා වීම වළක්වාගැනීමේ අරමුණින් සිරිමාවෝ මැතිණිය පළාත් පාලන ආයතන විසුරුවා හැර විශේෂ කොමසාරිස්වරුන් යටතට බලය පැවරුවාය. ප්‍රාදේශීය සභා ක්‍රමයට පෙරාතුව පැවති ගම් සභාවල ගමේ මැම්බර්ලා පත්වූයේ ගම්වල සිටි ප්‍රභූන්ය. ගම් සභා, සුළු නගරසභා, නගර සභා සහ මහනගර සභා ලෙස පළාත් පාලන ආයතන පැවති අතර මේවා ක්‍රමික විකාශනයකට ලක් වූයේ කාලයත් සමඟය.
එදා මෙදාතුර පුංචි සභාවල සභාපතිවරුන් සහ මන්ත්‍රීලා මහජන ඡන්දයෙන් පත්වන්නවුන්ය. එසේ මහජන ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ට වගකීමෙන් සහ වගවීමෙන් කිසිසේත් බැහැර විය නොහැකිය. එසේම පොදු ගැටලුවලදී කරහැරිය නොහැකිය. විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්වන සභා ලේකම් සහ නාගරික කොමසාරිස් යනු රාජ්‍ය සේවකයන්ය. ජනතා මුදලින් වැටුප් ලබන ඔවුන්ටද ඉහත කී වගකීමෙන් සහ වගවීමෙන් බැහැර විය නොහැකිය. එහෙත් බොහොමයක් පවසනුයේ මහජන නියෝජිතයන් නොමැතිවීමෙන් පුංචි සභාවල වැඩ අවුල් සහගත වී ඇති බවයි. ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු සේවා මගහැරී ඇති බවටද ඔවුහු චෝදනා කරති. මහජන නියෝජිතයන් නොමැතිවීම හේතුවෙන් සිදුවූ කනගාටුදායක සිදුවීමකට ආසන්නතම උදාහරණයක් ලෙස ඉකුත් ඔක්තෝබර් මාසයේදී කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය අසල සිදුවූ බස් අනතුර පෙන්වා දිය හැකිය. කොළඹ සිට දෙනියාය බලා ගමන් කරමින් තිබූ ලංගම බසයක් මතට රෑස්ස ගහක් කඩා වැටීමෙන් මගීහු පස්දෙනෙක් මියගියහ. මෙම අනතුර අවස්ථාවේදී නගරවාසීන් පැවසූයේ තමන් මෙම අනාරක්ෂිත ගස් පිළිබඳව අදාළ ආයතනවලට දැනුම් දී තිබුණද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නොතිබූ බවයි. ජනතාව නගන චෝදනාව වනුයේ ඡන්දයක් නොමැතිව රජයේ නිලධාරීන් යටතේ පළාත් පාලන ආයතන පැවැත්වීම හේතුවෙන් ඒවායෙන් සිදුවන කාර්යයන් දෛනික ක්‍රියාවලිය අකර්මණ්‍ය වී ඇති බවයි. හදිසි අවස්ථාවලදී ගනු ලබන තීරණ ගැනීමේදී මහජන නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දෙයාකාර බවත් මහජන නියෝජිතයන්ට ක්ෂණික තීරණ ගැනීමට ඇති හැකියාව රජයේ නිලධාරීන්ට නොමැති බවත් එයින් එවන් අවස්ථාවලදී මහජන නියෝජිතයන්ගේ අවශ්‍යතාව තදින් දැනෙනු ඇත.
මෙය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දැදුරු ඔය පිටාර ගලා ගංවතුර ගලා කොළඹ පුත්තලම මාර්ගය ජලයෙන් යටවිය. මාර්ගයේ ගමන්ගත් බස් රථ ඇතුළු වාහනද ගංවතුරට හසුවිය. එම අවස්ථාවේදී ආරච්චිකට්ටුව හිටපු ප්‍රා.සභා සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ක්ෂණික මැදිහත්වී ප්‍රාදේශීය ලේකම් සමග එක්වී ඇළවල් කපා මෝය කටෙන් වතුර බැස්සවීමෙන් ගංවතුරෙන් සිදුවීමට ගිය මහා ව්‍යසනයක් වළක්වාගැනීමට හැකි වූ බව මතකයේ තිබේ. ජනතාව පවසනුයේ මෙය රජයේ නිලධාරීන් තීරණ ගැනීම සහ වගකීම ගැනීමේ ධූරාවලියට සිදුකිරීමට ගියේ නම් එය මහජන නියෝජිතයන් තීරණ ගැනීම තරමට ඉක්මන් නොවන බවයි. මේ ආකාරයට මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් ජනතාව සමඟ ගනුදෙනු කිරීමේදී දෙයාකාර වන්නේය. තීන්දු තීරණ ගැනීමේදී මහජන නියෝජිතයන්ට තරම් නිදහසක් රජයේ නිලධාරීන්ට නැත. එසේම මහජන නියෝජිතයන්ට වඩා වැඩි වගකීමක් රජයේ නිලධාරීන්ට තිබේ. එහෙත් ජනතා අභිලාෂ මුදුන් පත්කරලීමේදී සහ ආපදා කළමනාකරණය වැනි කටයුතුවලදී මහජන නියෝජිතයන් එකී ආයතනවලට සිටීමේ අවශ්‍යතාව තදින් දැනෙයි. ගමේ ජනතාවට පාරට ලාම්පුවක් දමාගැනීම සේම නාගරිකයන්ට නිසි කලට කසළ බැහැර කරගැනීමද අත්‍යවශ්‍යය. එහෙයින් එකී ජනතා අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කිරීම ජනජීවිතය පවත්වාගෙනයාමට අවැසිය.
ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මහජන ඡන්දයෙන් කොළඹ මහනගර සභාවට තේරී පත් වූ හිටපු නගරාධිපතිවරයෙකි. ඒ වගේම පළාත් කිහිපයක ආණ්ඩුකාරවරයකු ලෙසද සේවය කර ඇත. එහෙයින් ජනතා නියෝජිතයන් නොමැතිවීම පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අපි ඔහුගෙන් විමසුවෙමු.
“මේ ගැන මට වැඩි විස්තර කරන්න බෑ. වැඩි විස්තර දැනගන්න පුළුවන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. මේක අපේ පළාතෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඡන්දයක් නැත්නම් පරිපාලනයට කොමසාරිස්වරු පත්කරනවා. ඒක සාමාන්‍යයි.''
ඔබ පවසන්නේ මහජන නියෝජිතයන් නොමැතිවීම ඒ ඒ ආයතනවලින් සපයන සේවාවලට කිසිදු ගැටලුවක් නොවන වගදැයි අපි යළි විමසුවෙමු. එහිදී ඔහු පැවසූයේ ගැටලුවක් නොවනවාම යැයි තමන් නොකියන බවත් හැකි ඉක්මනින් ඡන්දය පැවැත්වීම අත්‍යවශ්‍ය බවත්ය.
මේ සම්බන්ධයෙන් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවසූයේ මෙවන් අදහසකි.
“මේ කරන්නේ සම්පූර්ණ වැරුද්දක්. මහජන නියෝජිත ආයතන රජයේ නිලධාරීන් මගින් කරන්න හැකියාවක් නෑ. මොන මහජන නියෝජිත ආයතනයක වුණත් වාර්ෂික අයවැයක් සම්මත කළත් හදිසි ආපදා ස්වභාවික සංසිද්ධි සමග වෙනස්කම් ඇතිවෙනවා. ඒවා වෙනස් කරන්න වෙනවා. මහජන නියෝජිතයන් නොමැතිවීමෙන් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැතිවෙනවා. කවුරු කොහොම කිව්වත් මහජන නියෝජිතයා තමයි මහජනතාවට බය. නිලධාරියකුට බය වෙන්න දෙයක් නෑ. ඔහුට තැන මාරු වුණත් ප්‍රශ්නයක් නෑ වැටුපක් ලැබෙනවා. මහජන නියෝජිතයා මහජනතාවට බයයි. ඒ බය කෙනා වැඩියෙන් වැඩ කරනවා. ජනතාවට ඇහුම්කන් දෙනවා. ඒම වෙන්න වෙන්න දිගින් දිගටම ජනතාව ඔහු තෝරනවා.
මේ අවස්ථාවේ සෑම පළාත් පාලන ආයතනයකම තත්ත්වය ජනතාවගෙන් ඈත්වෙලා සිටීමයි. උදාහරණයක් විදිහට සැලසුමක් පාස් කරන්න මහජන නියෝජිතයකු කටයුතු කළ ආකාරයට නිලධාරීන් කටයුතු කරන්නේ නෑ. මේකෙන් ජනතාව ගොඩක් අපහසුතාවලට ලක්වෙලා ඉන්නවා.
මැතිවරණ කල් දැමීම අදක ඊයෙක දෙයක් නොවෙයි. ජේ.ආර්. ආණ්ඩුවේ රණසිංහ ප්‍රේමදාස අගමැති පළාත් සභා සහ පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය වී සිටින කාලයේ 1979 සිට 1983 දක්වා වු ඡන්ද කාලය 1987 දක්වා කාලය දික් කළා. 83 තියන්න තිබූ මැතිවරණය 87දී තමයි තිබ්බෙ. පහුගිය යහපාලන කාලයේත් ඒ වගේම වුණා. අතීතය, වර්තමානය, අනාගතයෙන් තොර මනුෂ්‍ය ජීවිතයකට පැවැත්මක් නෑ වගේම රටටත් පැවැත්මක් නෑ. අතීතයේ වැරුදි හදාගෙන වර්තමානයට මුහුණදෙමින් අනාගතයක් හදන්න ඕනෑ. අතීතය අමතක කරල වැඩ කරන්න බෑ. ඡන්දයක් ඉල්ලන්නෙ කාවවත් පරදන්න නෙමෙයි. ඡන්දයක් තියන්න ඕනෑ. මේ කරන්නෙ ලොකු වරදක්. මහින්ද මහත්තයාගෙ ආණ්ඩුවල ඡන්ද නිසි විදිහට පැවැත්වුවා. ඡන්දෙ කලින් තියලයි මහින්ද මහත්තයා පැරදුණෙත්. මගේ අදහස මේ අවස්ථාවේ මූලිකත්වය දෙන්න ඕනෙ මැතිවරණයක් පවත්වන එකද රට හදන එකද කියලා හිතන්න ඕනෑ. මේ වෙලාවෙ ඡන්දයක් ඉල්ල ඉල්ල කෑගහන එක හරිද කියන ප්‍රශ්නය තියෙනවා. ඔය කෑගහන අය එළියෙ ඡන්දයක් ඉල්ලුවාට ඇතුළෙදි කියන්නෙ ඡන්දයක් එපා කියලයි. මැතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මූලික ලක්ෂණයක් පමණයි. ඡන්දයක් තියනවාට අපි කැමැතියි.”
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම කොළඹ මහනගර සභාවේ අපේක්ෂකයකු වූ මුජිබුර් රහුමාන් පැවසූයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැතිවීම තුළ එකී ආයතනවලින් ජනතාවට සපයන යටිතල පහසුකම් ඇතුළු සේවාවල ලොකු ගැටලු ඇතිවී ඇති බවයි.
“මේ ප්‍රශ්නය කොළඹ විතරක් නෙමෙයි මුළු රටටම බලපා තියෙනවා. පසුගියදා කොල්ලුපිටියේදී බසයක් උඩට ගහක් වැටිලා පස්දෙනෙක් මියගියා. ඒ සිද්ධිය අවස්ථාවේදීත් ජනතාව චෝදනා කරනවා ඔවුන් මේ ගැන පැමිණිලි කළා කියලා. ඒත් එයට ක්‍රියාත්මක වන්නට මහජන නියෝජිතයන් නොමැතිවීමෙන් ඒ අනතුර වළක්වාගන්න බැරිවුණා. මේ වගේ හදිසි අවස්ථා වුවත් වළක්වාගන්නට මහජනතාවට වගකියන ජනතා නියෝජනයක් ඕනෑ. ” යැයිද රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය පවත්වා කාර්යක්ෂම ජනතා සේවයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන්නේය.
I සසංක චලන ගිම්හාන