2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

උද්ධමනය ඔලුවෙන් සිටුවීම

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 127

මේ දිනවල බොහෝදෙනා උද්ධමනය පිළිබඳ කතා කිරීමට පෙළඹී ඇත්තේ මාස දෙකකට පෙර ඍණ අගයක පැවැති උද්ධමනය දැන් ටිකෙන් ටික ඉහළ නගින්නට පටන් ගෙන ඇති නිසාය. මේ නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නැගීම තවත් වේගවත් වනු ඇතැයි ඔවුහු බිය වී සිටිති.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම දත්ත පරිදි කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර්වල සියයට 1.5ක්ව තිබූ සාමාන්‍ය උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 3.4කට ඉහළ නැඟ තිබේ. එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ ඍණ -5.2ක්ව පැවැතියද නොවැම්බර් වනවිට ඍණ -3.6 දක්වා ඉහළ ගොස් තිබුණි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් සිට නොවැම්බර් වනවිට සියයට 4.9 සිට 6.8 දක්වා වැඩි වී ඇති බව අනාවරණය වෙයි.

2023 වසරේ මැද භාගය වනවිට සියයට 70 ඉක්මවා ඉහළ ගොස් තිබූ උද්ධමනය මෙලෙස මාස කිහිපයක් තුළ ඍණ බවට පත්වූයේ භාණ්ඩ රුසකට ආනයන සීමා පැනවීමද රුපියලේ විදේශ අගය ස්වල්ප වශයෙන් හෝ වැඩිවීමද හේතුවෙනි. එහෙත් මේ වනවිට ආනයන සීමා විශාල වශයෙන් ලිහිල් කර ඇති අතර, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ ප්‍රගතියක් දක්නට නොලැබේ. එසේම පාලකයන් විසින් අවිචාරවත් ලෙස විවිධ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පටන්ගෙන ඇත. රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම කළමනාකරණය කළ යුතුව තිබියදී එසේ නොකර එකවරම ආනයනය කිරීමට යාම නිසා විදේශ විනිමය නිකරුණේ නාස්තිවීමේ අනතුරක්ද උද්ගතව ඇත. මෙම තත්ත්වය උද්ධමනය ඉහළ නැගීම ආරම්භ වීමට හේතු වී තිබේ.

උද්ධමන දර්ශකය නිකුත් කරනු ලබන්නේ ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව පදනම් කරගෙනය. ලොව උද්ධමනය වැඩිම රට ලෙස සියයට 261ක අගයක් වාර්තා කරන ලෙබනනයද, දෙවැනි ස්ථානය ලබාගත් සිම්බාබ්වේ රටද තෙවැනි තැනට ආර්ජන්ටිනාවද පත්ව ඇත. පිළිවෙළින් සිම්බාබ්වේ උද්ධමන ප්‍රතිශතය 128ක්ද ආර්ජන්ටිනාවේ 107ක්ද වෙයි. ඒ අතින් ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වනවිට විශාල ලෙස අඩුවීමක් වාර්තාගත වී තිබේ.

මෙලෙස උද්ධමනය පහළ යාම නිසා 2022 වනවිට සියයට 7.8කට හැකිලී තිබූ ආර්ථිකය 2022 වසර මැද වනවිට සියයට 1.4 දක්වා පහළ වැටුණි. එසේ වුවද මෙරට භාණ්ට හා සේවා මිල ඉහළ යාම තවමත් නැවතී නැත. මේ වනවිට විශාල වශයෙන් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමෙන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල හා වේතන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිරෝෂා දිසානායක දේශය පුවත්පත කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ මේ වනවිට භාණ්ඩ හා සේවා මිල උපරිමයෙන් වැඩිවී ඇති අතර තවත් වැඩිවීමට දෙයක් ඉතිරි වී නැති බවය. ඒ නිසා උද්ධමනය ඉහළ නොයන බව ඇය පැවසුවාය. උද්ධමනය ඍණ වී ඇත්තේ මේ හේතුවෙනි. භාණ්ඩ හා සේවා මිල උපරිමයට ඉහළ ගොස් ඇති අතර තවත් වැඩි වුවහොත් ජනතාවට එය දරාගත නොහැකිවීමෙන් මිලදී ගැනීම අඩුවන බව ඇය කියයි. උද්ධමනය මනිනු ලබන්නේ පෙර මාසයට සාපේක්ෂව වන අතර එය උච්ඡාවචනය වන්නේ ඒ හේතුවෙනි.

අද උද්ධමනය ඍණ වී ඇත්තේ භාණ්ඩ හා සේවා මිල උපරිමයට ළඟාවීම නිසාය. උද්ධමනය ඍණ වී ඇත්තේ මනින ක්‍රමයේ වරදක් නිසා නොවන බව ඇය පෙන්වා දෙයි.

එසේ වුවද ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය වසන්ත අතුකෝරාළ කියන්නේ අද උද්ධමනය මනින සූත්‍රය නිවැරදි නමුත් මනින ක්‍රමයේ වරදක් ඇති බවය. අද උද්ධමනය මනිනුයේ 2019 වර්ෂය පාදක කරගෙන වන අතර එම වර්ෂයේ භාණ්ඩ වර්ග 426ක් යුතු භාණ්ඩ පැසක මිල මත බර තැබීමෙන් උද්ධමනය මැනීම සිදුකරයි. 2019 සිට 2023 දක්වා වසර 14ක් පුරාවට භාණ්ඩ පාරිභෝජන රටාව වෙනස් වී ඇති අතර එම කාලයේ පාරිභෝගිකයා හැසුරුණු විලාසයට වෙනස් ආකාරයට අද වනවිට පාරිභෝගිකයා හැසිරෙයි. ඒ නිසා 2019 පදනම් වර්ෂය ලෙස ගෙන උද්ධමනය මැනීමෙන් සත්‍ය තත්ත්වය නිරෑපණය නොවන බව ඔහුගේ තර්කය වෙයි. මේතාක් කල් වගකිවයුත්තන්ට දැනට පවතින ක්‍රමය යාවත්කාලීන කිරීමට නොහැකිව ඇත්තේ ඇයිදැයි යන්න ප්‍රශ්නයක් වී ඇත. මේ නිසා මේ අනුව ගණන් බලන උද්ධමනය රටේ ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීමේදී යොදා ගැනීම සත්‍ය තත්ත්වය විකෘති කිරීමක් වෙයි. අද උද්ධමනය අඩුවී ඇත්තේ මේ නිසාය යන්න ඔහුගේ අදහස වේ.
මේ අතර පසුගියදා සම්මත කළ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 28 වැනි වගන්තියට අනුව රටේ උද්ධමන ප්‍රතිශතය හා ඉලක්ක පිළිබඳ තීරණ ගැනීම අමාත්‍ය මණ්ඩලයට පවරා ඇත. මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හෝ ආර්ථික විද්වතුන් උද්ධමනය පිළිබඳ කුමන තීන්දු තීරණ ගත්තද ඒවා පිළිබඳ අවසාන නිගමනය සිදුවන්නේ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදිය. රටේ ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සිදුකරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුවය. මෙය එක්තරා අතකින් උද්ධමනය මැනීම දේශපාලනීකරණය කිරීමක් බවට ආර්ථික විශ්ලේෂකයෝ චෝදනා කරති. අද අපේ රටේ දේශපාලනඥයන්ගේ හැසිරීම සලකා බලන විට ඉදිරියේදී මෙම බලය පැවරීම ප්‍රඥාගෝචර නොවන බව බොහෝ දෙනාගේ අදහසය.
උද්ධමනය ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ මේ දිනවල එළවළු මිල විශාල ලෙස ඉහළ යාමය. දිවයිනේ මෑත ඉතිහාසයේ මේ තරම් එළවළු මිල ඉහළ ගිය වකවානුවක් නොමැති බව වෙළෙඳුන්ගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ මතයයි.

එළවළු මිල ඉහළ යාමට හේතු පිළිබඳ අදහස් දක්වන නුවරඑළිය Qria Road Holias සංගමයේ සභාපති සහ නුවරඑළිය ලොරි හිමියන්ගේ සංගමයේ සභාපති හේමප්‍රියන්ත අත්තනායක පවසන්නේ වර්තමානයේ එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව පවතින අධික වර්ෂාව බවයි.

''මාස තුනක් මෙම ප්‍රදේශවලට එක දිගටම වැස්සා. තවමත් වහිනවා. වගාකරන භූමියේ එළවළු ගැලවූවාට පසු යළි රෝපණය කරන්න බැහැ. ඒ භූමිය හිස්වයි තියන්න වෙලා ඇත්තේ. වගා කළත් වර්ෂාවට හසුවීම නිසා හැදෙන්නේ නැහැ. රසායන පොහොර දමන්න බැහැ. කෘෂි රසායන යොදන්න අපහසුයි. ඒ නිසා තියෙන බෝගයෙත් පලදාව අඩුයි. නුවරඑළිය සහ දඹුල්ල ආදී ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා තොග මිල වැඩිවෙනවා. එතැන්වලින් අරගෙන තමා සිල්ලරට විකුණන්න වෙන්නේ. එවිට මිල ඉහළයි. අනිත් අතට වර්ෂාවට තෙමීම නිසා නරක් වන ප්‍රමාණය වැඩියි. එළවළු හෝදලා ගත්තාම වැඩි කල් තියාගන්න බැහැ. අර්තාපල් වගා කරන්න බැහැ. දේශගුණ විපර්යාසය නිසා. අර්තාපල්වලට දවල්ට පායලා රාත්‍රියට සීතල වැඩිවිය යුතුයි. ඒ නිසා අර්තාපල් නිෂ්පාදන අඩුවෙලා මිල ඉහළ ගිහින්.

වෙනදා පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට දිනකට එළවළු ලොරි 6-7ක් පමණ එනවා. මේ වනවිට එන්නේ බාගෙට බඩු දමපු ලොරි දෙක තුනක් පමණයි. සාමාන්‍යයෙන් ලොරියක එළවළු කිලෝ 10,000-12,000 පමණ ගෙන යන නමුත් දැන් එන ලොරිවල කිලෝ 5000-6000 තමා එන්නේ.

මේ වනවිට එළවළු තොග මිල සීඝ්‍රයෙන් ඉහළ ගිහිං. මේ මිලට අරගෙන පාරිභෝගිකයාට කොහොම විකුණන්නද? අර්තාපල් තොග මිල කිලෝව 300 – 320යි. ගෝවා 340යි, කැරට් 320යි, බීට් 240, කොළ කැපූ ඒවා රුපියල් 380යි. නෝකෝල් 270යි. රාබු 150 වැඩිපුරම මිල වැඩි බෝංචියි. කැප්පෙටිපොළ ඉඳලා එන බෝංචි කිලෝව 650ක් පමණ වෙනවා.''

ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ සංගමයේ සභාපති අනිල් බණ්ඩාර:

''නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට වෙනදා එළවළු කිලෝ ලක්ෂ 1 ½ක් විතර එනවා. දැන් කිලෝ ලක්ෂ 1ක්වත් එන්නේ නැහැ. අනිකුත් ආර්ථික මධ්‍යස්ථානවලත් තත්ත්වය එහෙමයි. බාගයක් පමණයි ලැබෙන්නේ. එහෙම ආවත් අලෙවි කරගන්න අමාරුයි. මිල වැඩි නිසා වෙළෙඳුන් මිලට ගන්නා ප්‍රමාණය අඩුයි. ගොවියන් වගා කරන ඒවයින් බාගයක් විතර අපතේ යනවා. ගන්න අස්වැන්නන් වැස්සට අසුවෙලා කුණු වෙනවා. වැස්සට තෙමුණු එළවළු තියාගන්න බැහැ. වගා කරන ප්‍රමාණයත් අඩුයි. එන එළවළුවල ප්‍රමිතියද බාලයි. ලබන කන්නයට වගා කරන්න බීජ ගන්නවත් ගොවියන්ට වත්කමක් නැහැ. ණයවෙලා එළවළු හිටවූ අයට ණය ගෙවාගන්න බැරුව අමාරුවේ වැටිලා.

අද දේශගුණික තත්ත්වය හොඳ වෙලා වගා කළත් තව මාස දෙකක් යනතුරු අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද පවතින තොග හිඟය ඉදිරියට මාස දෙක තුනක් පමණ බලපානවා.

ජ්‍යෙෂ්ඨ පර් යේෂණ නිලධාරි සහ කෘෂි ආර්ථික විශ්ලේෂක, අධ්‍යක්ෂ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර් යේෂණ ආයතනයේ, දුමින්ද ප්‍රියදර්ශන:

''යල සහ මහ යන කාල සීමා දෙකේදීම එළවළු වගා කරනවා. එළවළු ඉල්ලුම අවුරුද්ද පුරාම තිබෙනවා. අප්‍රේල් හා දෙසැම්බර් උත්සව කාලවල ඉල්ලුම ඉහළ යනවා. එළවළු මිල චක්‍රය ''W'' අකුරේ හැඩයට තමා පවතින්නේ. මිල වැඩිවෙනවා. අඩුවෙනවා. මෙවර උඩරටට සහ පහතරටටද එක සමාන අධික වර්ෂාවක් පැවතුණා. නොවැම්බර් දෙසැම්බර් මාසවල උඩරටට වගේ පහත රටටත් තද වැස්සක් ආවා. පහතරට ප්‍රදේශවල ගංවතුර පවා ඇතිවුණා. ඒ නිසා මුළු රටේම එළවළු හිඟ වුණා. මෙය අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඒත් වෙන කාලවලට වඩා වෙනස්. උත්සව සමයේ ඉල්ලුම වැඩිවීම කවදත් සිදුවන දෙයක්. අධික වර්ෂාව නිසා වගාව ආරම්භ කිරීම ප්‍රමාද වීමද බලපෑවා.

වෙන රටවල වගේ ලංකාවේ ශීතාගාර හදලා එළවළු ආරක්ෂා කරන්නට බැහැ. ඒ වුණත් වසරේ මාස 12 තුළම රටේ කොහේ හරි වගා කරන්න පුළුවන්. ඒ නිසා එළවළු කවදත් හිඟවෙන්නේ නැහැ. මහ කන්නයේදී උඩරට පහත රට අස්වැන්න වැඩිවෙනවා. කොහොම වුණත් මිල පවතින්නේ ඉල්ලුම සැපයුමට සමාන්තරවයි. මේ මාසසයේ 25 වැනිදා පසුවූ පසු මිල අඩුවෙනවා. එය අපේ සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. බොහෝ කාලවලට ගොවියන්ට තම නිෂ්පාදනවලට ලැබෙන්නේ පහළ මිලක්. මිල වැඩිවුණොත් ඒ කලාතුරකින්. අතරමැදියො නැති කරන්න බැහැ. ඒ අය මිල තීරණය කිරීමට බලපානවා. ගොවිපළේ සිට කෙළින්ම වෙළෙඳපොළට එන්නේ නැහැ.
එළවළු හිඟ කාලවලට එළවළුවලට ආදේශක වන පරිප්පු, අල, සෝයා ආදිය සුලබ කළ යුතුයි. ඒත් අද විවිධ බදු නිසා ඒවායේ මිලද ඉහළයි.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02