ජාතික කෞතුකාගාරයේ ඇති රනින් සහ රිදියෙන් වැඩ දැමූ අලංකාර ලෙව්කේ කාලතුවක්කුව සහිත මැදිරිය ඉදිරිපිට සිට සෙල්පි පින්තුර ගන්නන් නිසා එය අසලට ළංවීමත් අපහසුය. පසුගිය මාසය දක්වා නෙදර්ලන්තයේ රිජික්ස් කෞතුකාගාරයේ ඉතා ජනප්‍රිය පුරාවස්තු බවට පත්ව තිබුණු මෙය ඇතුළු කෞතුක භාණ්ඩ පහක් පසුගියදා නැවත අප රටට ලබාදුන්නේ උත්සවාකාරයෙනි. එම පුරාවස්තු ශ්‍රී ලංකාවට රැගෙන පැමිණීමෙන් පසු මුල්වරට මහජන ප්‍රදර්ශනය ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මස 05 සහ 06 දෙදින තුළ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දේශන ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වුණි. පාසල් සිසුන් මෙන්ම ඉතිහාසයට පෙම්බැඳි විශාල පිරිසක් එම පුරාවස්තු නැරඹීමට පැමිණ සිටින අන්දම ලියුම්කරුට දැකගැනීමට ලැබුණි. එහිදී හමුවූ ජාතික කෞතුකාගාර අධීකාරි රංජිත් හේවගේ පැවසුවේ විශේෂ මැදිරියක ආරම්භ කළ මෙම පුරාවස්තු දැකගැනීමට ශ්‍රී ලාංකිකයන්ගේ ලොකු උනන්දුවක් පවතින බවයි. විදේශිකයෝ රාශියක් ද ඒවා නැරඹීමට පැමිණ සිටියහ.
මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ ඉතිහාසය පිළිබඳ දේශන මාලාවක් පැවැත්වුණූ අතර, මඟපෙන්වන්නන්ගේ සහාය සහිත කෞතුගාර චාරිකා සහ සංවාදමය වැඩසටහන් පෙළක් ද පැවැත්වුණි.
ලන්දේසින් විසින් රැගෙන ගිය මේ පුරාවස්තු අතර මහනුවර රජවාසලේ තිබුණු රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක් ද තිබේ. මෙම පුරාවස්තු ලංකාවට භාරදීම සිදුකළේ නෙදර්ලන්තය වෙනුවෙන් එරට ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතා තානාපති ලෙස කටයුතු කරන Dewi van de Weerd මහත්මියගේ මෙහෙයවීම යටතේය.
ලංකාවේ සිටි පෘතුගීසින් එළවා දමා 1658 දී ලංකාවේ මුහුදුබඩ පළාත්වල බලය තහවුරු කරගන්නා ලන්දේසීහු 1796 දී ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගන්නා තෙක් වසර 156ක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළහ. ලන්දේසීහු 1765 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ දී උඩරට ආක්‍රමණය කර මහනුවර නගරය වටකළහ. ආක්‍රමණික හමුදා එන විට රජු ඇතුළු පිරිස අගනුවරින් පලාගිය අතර ලන්දේසින් විසින් රජමාලිගාව සහ දළදා මාලිගය වටලා වටිනා භාණ්ඩ රාශියක් කොල්ලකන ලදී. මෙම පුරාවස්තු එම අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් ලබාගෙන නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති බව තහවුරු වී තිබේ.
නෙදර්ලන්ත රජය මෑතකදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ 17, 18 සියවස්වලදී යටත්විජිත රටවල්වලින් කොල්ලකා ගන්නා ලද පුරාවස්තුවලින් කොටසක් ආපසු බාරදීමටය. එම ප්‍රතිපත්තිමය තීරණයට අනුව භාණ්ඩ කිහිපයක් නැවත ශ්‍රී ලංකාවට බාර දෙන බවට 2023 ජූලි මස 6 වැනිදා දින ගැසට් නිවේදනයක් මගින් නෙදර්ලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මෙම කෞතුක භාණ්ඩ අතර ආකර්ශනීයම වන්නේ රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද, ලෙව්කේ දිසාවගේයැයි සැලකෙන කාලතුවක්කුවයි. ලෙව්කේ එකල හතර කෝරළේ දිසාව ලෙස කටයුතු කළේය. ලෝකඩවලින් නිමකළ කාලතුවක්කුව ගෙන යන රථය දැවයෙන් නිමාකර තිබේ. ලියවැල්, කල්ප වෘක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් බඳ අලංකෘත කර ඇති එහි කොටා ඇති සටහනකින් ශතවර්ෂ එක්දහස් හයසිය හැටහතරේ දී (ක්‍රි.ව. 1742) ලෙව්කේ දිසාව විසින් ශ්‍රී විජය රාජසිංහ රජුට තෑගි කරන ලද්දක් බවට පැහැදිලි වේ. කාලතුවක්කුවේ බඳේ මුල් කොටසේ ඉර, හඳ සහ සිංහ රුව සහිත මහනුවර රජුගේ ලාංඡනය ද කැටයම් කර තිබේ. කාලතුවක්කුවට වෙඩිබෙහෙත් පුරවන උපකරණයද මේ සමඟ දැකගත හැකිය.
රාජකීය කස්තානය හෙවත් මඟුල් කඩුව මහනුවර රාජකීය වැඩපළෙහි නිර්මාණය කළ ඒවාය. මුව අයා සිටින සිංහ හිස සහිත කස්තාන මිට රනින් නිමවා ඇති අතර ඊට දියමන්ති 138ක් සහ රතු මැණික් 13ක් ඔබ්බවා තිබේ. කඩුවෙහි අත්වැස්මේ ඉදිරිපස හා පසුපස ශ්‍රී ලක්ෂ්මී සහ සරස්වතී දෙවඟන මුර්තිමත් ය. මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මඟුල් කඩුව ලෙස හඳුනාගෙන ඇත. කඩු කොපුව දැවයෙන් නිමවා රෙදිවලින් ආවරණය කර ඒ මතුපිට මහනුවර කැටයම් සහිත රන් තහඩුවලින් සරසා තිබේ. දැනට හොයාගෙන තිබෙන සිංහ මිට සහිත එකම රජකීය කඩුව ලෙසත් මෙය වැදගත් වේ.
එකල උඩරට රාජකීය ඇඳුම් කට්ටලයේ එක අංගයක් ලෙස පිහිය ද වැදගත් විය. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශතවර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවන් මනාව පෙන්නුම් කරන නිර්මාණයකි.
මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කර ඇති අතර ඒවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ බව නරඹන විට පෙනේ. තවමත් ඒවායේ තාක්ෂණික කොටස් ද හොඳ තත්ත්වයේ පවතී. කිලෝග්‍රෑම් 28ක් බැගින් බරින් යුක්ත වූ මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිත කළ ජංගම බර අවි පිළිබඳව කදිම සාක්ෂි සපයයි.
යුරෝපයේ නෙදර්ලන්තය හෙවත් ඕලන්දය හැරුණුවිට බ්‍රිතාන්‍යයේද අපේ පුරාවස්තු රාශියක් මෙන්ම විශාල පුස්කොළ පොත් එකතුවක් දතිබේ. ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අපේ තාරා දෙවඟන පිළිරුව සංචාරකයන් අතර ඉතා ප්‍රකටය. එමෙන්ම ඒවා කෞතුකාගාර නරඹන්නන් අතර ඉතා ප්‍රකට කෞතුක වස්තු වේ.
ඕලන්ද ජාතිකයන් පරදවා 1796 දී අප රටේ මුහුදුබඩ ඉංග්‍රිසීහු යටත් කර ගත්හ. ඔවුහු 1815 දී උඩරට ඇතුළුව මුළු රටම උඩරට ගිවිසුම මගින් යටත් කර ගත්හ. ඉන් පසුව පුරාවස්තු කොල්ලය මහා පරිමාණයෙන් සිදුවන්නට විය. අපේ පුරාවස්තු වැඩිපුරම ප්‍රමාණයක් පිටරටට රැගෙන ගියේ ඉංග්‍රීසින් විසිනි. ඉංග්‍රීසි ජාතිකයන්ට ශාස්ත්‍රීය දේවල් කෙරෙහි ඇල්මක් පැවතුණු අතර පුරාවස්තු තමන්ගේ ගෙවල්වල තබාගැනීමට ඔවුන්ට කැමැත්තක් තිබුණි. මේ නිසා අපේ සංස්කෘතික වස්තු එංගලන්තයට නැව් මගින් රැගෙන ගියහ. පුස්කොළ පොත් වැනි පැරණි දේවල් දහස් ගණනක් ඒ අතර විය.
නෙදර්ලන්තය හා එංගලන්තය හැරුණුවිට අපේ පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් තිබෙන රට ජර්මනියයි. අපි කවදාවත් ජර්මනියට යටත්වෙලා නොහිටියත් ජර්මනිය වැදගත් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් පැවැති රටකි. ඔවුන්ට ලංකාව ඇතුළු පෙරදිග රටවල ඉතිහාසය ගැන ලොකු උනන්දුවක් පැවතුණු අතර ඔවුන් ඉංග්‍රීසින් හෝ වෙනස් ජාතීන් හරහා අපේ පුරාවස්තු තම රටට ගෙන්වාගෙන තිබේ. දැන් කළ යුත්තේ නෙදර්ලන්තයෙන් ලැබෙන පුරාවස්තු සහ මෙරට ඇති අනෙක් පුරාවස්තු සම්භාරයත් නිසි ලෙස ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීමයි.
මේවා නෙදර්ලන්තයේ කෞතුකාගාරවල තැන්පත් කර තිබුණේ ඉතා ආරක්ෂිතවය. ඒවා ලංකාවට රැගෙන ඒමට ඇසුරුම් කර ඇත්තේ ද ඉතා සැලකිල්ලෙන් බව ඒ පිළිබඳ වීඩියෝවක් නරඹන විට පැහැදිලි විය. සමහරු පවසන්නේ මෙම භාණ්ඩ නැවත මෙරටට බාරදුන් විට ඒවායේ ආරක්ෂාව බිඳවැටෙන බවයි. එම අදහසට මුල්වන සිදුවීම් රාශියක් මෑත අතීතයේ දී මෙරට සිදු වී තිබේ. ජාතික කෞතුකාගාරයේ තැන්පත් කළ කඩු ඇතුළු භාණ්ඩ කිහිපයක් හදිසියේ හොරු අරන් ගියේ සීසීටීවී අක්‍රියව පැවති දිනකය. දැලිවල කොටවෙහෙර විහාරයේ තිබූ රනින් කළ පුරාණ කරඬුව ඇතුළු පුරාවස්තු ද අතුරුදන් වූයේ කිසිදු තොරතුරකින් තොරවය. කොළඹ ජනාධිපති මන්දිරයේ සවිකර තිබූ බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් අගනා සිතුවමක් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ දී අතුරුදන් විය. එය පසුව ලන්ඩන් නුවර වෙන්දේසියකට තබා තිබියදී හමුවිය.
I කුසුම්සිරි විජයවර්ධන