2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

උසාවියේ නඩු භාණ්ඩ පැන්නූ කම්බා හොරු

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

''නඩු භාණ්ඩ කාමරයේ තිබුණ භාණ්ඩ කිහිපයක්ම අතුරුදන් වෙලා තියෙනවා. මොකද වුණේ කියලා දන්නේ නෑ. තහවුරුකර ගත්ත විදියට මෙතන හෙරොයින් පැකට් සහ ගිනි අවි දෙකක් තිබිලා තියෙනවා''යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණාය.

පසුගිය ජූලි 12 වැනිදා සිදුකළ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සැකකටයුතු පුද්ගලයන් පිරිසක් පසුපස ලුහුබැඳ ගියහ. ඒ අනුව නොවැම්බර් මස 26 සහ 28 දිනවලදී මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 සහ 29 හැවිරිදි වියේ පසුවන මාතර නාවිමන සහ කැකණදුර ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනෙකි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත තවත් තැනැත්තකු සිදුවීමට සම්බන්ධ වී තිබෙන බව අනාවරණය වී ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සිද්ධියට සම්බන්ධ තුඩාව ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 27 හැවිරිදි වියේ පසුවන මාතර අධිකරණයේ සේවයේ නිරත බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකි. මොවුන් තිදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර සැකකරුවන් විසින් නඩු භාණ්ඩ කාමරයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් හා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් මෙන්ම හෙරොයින් පාර්සල සොරකම් කර තිබෙන බව අනාවරණය වී ඇත. රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය රුපියල් 280,000ක මුදලකටත් ටී 56 අවිය රුපියල් 250,000ක මුදලකටත් මොවුන් විසින් අලෙවි කොට ඇති බව හෙළිවී ඇත.

ඉකුත් අගෝස්තු මස 08 වැනිදා දික්වැල්ල පොලිස් වසමේ බෝදරකන්ද ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබිණ. එහිදී උයන්වන්ත දකුණ පදිංචිව සිටි 45 හැවිරිදි මූදුගමුව ආරච්චිගේ සංජීව යන අය ඝාතනයට ලක් විය. පසු දිනක සැකකටයුතු ගිනි අවියක් දික්වැල්ල මූදුගමුව ප්‍රදේශයේ කැලයක තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගනු ලැබිණ. ගිනි අවිය පිළිබඳව දීර්ඝ විමර්ශනවලදී එය මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තිබී අතුරුදන්වූ පී.ආර්. 152/9 දරන ටී 56 ගිනි අවිය බවට අනාවරණය කරගෙන ඇත. ඉන්පසුව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ එම ඝාතනයට නඩු භාණ්ඩ කාමරයේ තිබියදී අතුරුදන්වූ ගිනි අවිය යොදාගන තිබූ බවකි. ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව කියන අයකු සහ නඩු භාණ්ඩ කාමරයෙන් සොරාගත් රිවෝල්වරය මිලදී ගත් ධීවර බෝට්ටු හිමිකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව එම රිවෝල්වරයද පොලිස් භාරයට ගෙන තිබේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් හා ගිනි අවි අස්ථාන ගතවී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික සහ උප පොලිස් පරීක්ෂක සංජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදුකරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්  දින 07ක රුඳවුම් නියෝග යටතේ රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කරන බව වාර්තා වේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර